Aboutceylon Online

පස සරු කරන කොළ පොහොර

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

කාබනික පොහොර අතර කොළ පොහොරවලට හිමි වන්නේ සුවිශේෂී ස්‌ථානයකි. වගා කරන පස නිරතුරුව පැළෑටි පෝෂකවලින් පෝෂණය නො කළ හොත් වගාවෙන් නිසි අස්‌වනු නො ලැබේ.

වියදමකින් තොර ව පසට දිගුකාලීනව ලබා ගත හැකි වන සේ පැළෑටි පෝෂක නිදහස්‌ කිරීමේ හැකියාව කාබනික පොහොර සතු ව පවතී.

රසායනික පොහොර අප අතරට පැමිණීමට පෙර ගොවීන් භාවිතයට ගත්තේ කාබනික පොහොර ය. අතීතයේ පටන් ම ගොවීන් මේ කෙරෙහි නැඹුරු වූ බව අපි දනිමු.

වගා බිම අවටින් ම සොයාගත හැකි සේ කොළ වර්ග සුලබව තිබිණි. එහෙත් බිම් එළි පෙහෙළි වීමත් සමග ම මේ තත්ත්වය වෙනස්‌ විය. ග්ලිරිසීඩියා, එරබදු, වතුපාලු, කැප්පෙටියා, වල් සූරියකාන්ත අගනා කොළ පොහොර ලෙස භාවිතයට ගත හැකි ය.

මේ වර්ග යොදා පස සරු කිරීමට යොමු ව සිටි ගොවීන් ඉක්‌මන් ක්‍රියාකාරීත්වයත් පහසුවෙන් යෙදිය හැකි වීමත් නිසා රසායනික පොහොරවලට යොමු වීමෙන් පස පිරිහීමට ලක්‌ විය.

එහි අහිතකර ප්‍රතිඵල අද වන විට බොහෝ දෙනෙක්‌ අත්විඳිති. කුඹුරෙන් ලැබෙන පිදුරු ටිකට පවා ගිනි තැබීමට ගොවීන් යොමුවීම කෙතරම් ෙ€දජනක ද? මෙහි ප්‍රතිඵලය වූයේ වී වගාවට යන වගා වියදම බෙහෙවින් ඉහළ යැම ය. එපමණක්‌ ද? පසෙහි ජීවත් වූ හිතකර ජීවීන් ගේ ගහනය ද ක්‍රමයෙන් අඩු විය.

මේ සියල්ල මූලික කරගෙන වගා බිම පිරිහීම වළක්‌වාගෙන දියුණු තත්ත්වයකට ගෙන ඒමට උනන්දු වීම කාගේත් යුතුකමක්‌ හා වගකීමක්‌ වන්නේ ය.

වටිනා කාබනික පොහොරක්‌ වන කොළ පොහොර ලෙස භාවිත කළ හැකි ශාක වර්ග වගා බිම ආශ්‍රිතව වගා කිරීමෙන් සැලසෙන වාසි කීපයකි. වී වගාවට පමණක්‌ නො ව ගොඩ බෝග වගාවට ද යෙදිය හැකි ය.

කොළ පොහොර පැළෑටි ආශ්‍රිතව වසුනක්‌ ලෙස හෝ භාවිත කිරීමෙන් පසුව එය පසට එක්‌ වී සාරවත් බවක්‌ ලබා දේ. කොළ පොහොර වසුනක්‌ ලෙස යෙදීමෙන් සෝදාපාලුව අවම වීම ද පසේ සරු බවට හේතු වේ.

සත්ත්ව පාලනය ආශ්‍රිතව කොළ වර්ග භාවිතයට යොදා ගැනීමෙන් වටිනා කාබනික පොහොරක්‌ වන සත්ත්ව අපද්‍රව්‍ය ද පසට එක්‌ කළ හැකි ය. සත්ත්ව පාලනයේ දී ඉවතට යන මළ මුත්‍රා සමග ඉතිරි වන ශාක කොටස්‌ ද මිශ්‍ර කිරීමෙන් නිපදවා ගත හැකි කොම්පෝස්‌ට්‌වල පවතින පැළෑටි පෝෂක ඉතා අගනේ ය. කොළ පොහොර යොදා නිපදවන කොම්පෝස්‌ට්‌වල ඉහළ පෝෂක අගයක්‌ ද ඇත්තේ ය.

කොළ පොහොර ලෙස ඕනෑ ම ශාක කොටසක්‌ ප්‍රයෝජනයට ගත හැකි වුව ද වැඩි පැළෑටි පෝෂක ප්‍රමාණයක්‌ අඩංගු ශාක කෙරෙහි වැඩි අවධානයක්‌ යොමු කරන්නේ නම් වැඩි වාසියක්‌ අත් කරගත හැකි ය.

ග්ලිරිසීඩියා

ග්ලිරිසීඩියා අප රටේ ඉතා බහුලව යොදාගනු ලබන කොළ පොහොරකි. මෙය එක්‌ එක්‌ ප්‍රදේශවල විවිධ නම්වලින් හඳුන්වයි. ලාඩප්පා, මකුලන, වැටහිර ආදී නම් භාවිත කෙරෙයි.

උද්භිද විද්‍යාත්මක නාමය Gliricidia sepium (ග්ලිරිසීඩියා සෙපියුම්) වේ. ලංකාවේ බොහෝ ප්‍රදේශවල සාර්ථකව වර්ධනය වන ශාකයකි. අධික ශීත දේශගුණයක්‌ පවතින උඩරට තෙත් කලාපයේ සාර්ථකව වර්ධනය නො වේ. රනිල කුලයට අයත් මේ ශාකයට වාතයේ නයිට්‍රජන් තිර කිරීමේ හැකියාව ඇත.

බොහෝ වගාවන්වලට ආධාරක ශාකයක්‌ ලෙස ද ප්‍රයෝජනයට ගනී. ගම්මිරිස්‌ වගාවට ආධාරකයක්‌ වන අතර ම එම ශාක වරින් වර කප්පාදු කර කොළ පොහොරක්‌ ලෙස යෙදීම මගින් ගම්මිරිස්‌ වැල්වලට පැළෑටි පෝෂක එකතු කළ හැකි ය. තේ වගාවේ දී සෙවණ බෝගයක්‌ ලෙසට යොදා ගැනේ.

පොල් ඉඩම්වල කොළ සහ ඉන්ධන සරු බෝගයක්‌ ලෙසට ග්ලිරිසීඩියා වගා කිරීමට සහනාධාර මුදලක්‌ ද ලබා දෙයි. ග්ලිරිසීඩියාවල පවතින පසේ තිරසාර සංවර්ධන හැකියාව සහ ඉන් ලබා ගත හැකි ප්‍රයෝජන සැලකිල්ලට ගෙන එය ශ්‍රී ලංකාවේ හතර වැනි වැවිලි බෝගය ලෙසට නම් කර තිබීම ද විශේෂත්වයකි.

මේ ශාකයේ කොළ ඉතා ඉක්‌මනින් දිරාපත් වීම විශේෂ ලක්‍ෂණයකි. එහි සෑහෙන නයිට්‍රජන් ප්‍රමාණයක්‌ අන්තර්ගත වීම එයට හේතුව ලෙස සඳහන් වේ. කොළවල පවතින කාබන් නයිට්‍රජන් අනුපාතය 10ක්‌ පමණ වන බැවින් දිරාපත් වීම ඉක්‌මන් ය. මේ පවතින ඉක්‌මන් වර්ධන ලක්‍ෂණ වඩාත් වැදගත් වේ.

කෙටි කාලයක දී කොළ පොහොර ප්‍රමාණයක්‌ ලබා දීම මගින් වැඩි වාසියක්‌ ලබා දෙයි. අතු ළපටි අවධියේ දී කපා භාවිත කිරීම වඩාත් සුදුසු ය. ග්ලිරිසීඩියා කොළවල නයිට්‍රජන් 4.5%ක්‌, පොස්‌පරස්‌ 0.2%ක්‌ පමණ අන්තර්ගත ය. හොඳ කප්පාදුවක්‌ නිරතුරුව ම අනුගමනය කිරීමෙන් වැඩි රිකිලි සංඛ්‍යාවක්‌ ඇති කරගත හැකි ය.

වල් සූරියකාන්ත

වල් සූරියකාන්ත ද බොහෝ ප්‍රදේශවල වැවෙන කොළ බෝගයකි. නිත්ත, නත්තසූරිය යන නම්වලින් ද හැඳින්වෙයි. උද්භිද විද්‍යාත්මක නාමය Tithonia diversifolia (ටයිතෝනියා ඩයිවර්සිෆොලියා) වේ. ඉතා කර්කශ නිසරු පස්‌වල පවා වර්ධනය වීමේ හැකියාව පවතී.

මීටර් 1 1/2 -2 පමණ උසට වැඩෙන මේ ශාකය පඳුරු ලෙසට වර්ධනය වේ. මධ්‍යම කඳුකරයේ උඩරට අන්තර් මධ්‍යම කලාපයේ සාර්ථකව වැඩේ. මේ ශාක කොටස්‌වල නයිට්‍රජන් 4.6%ක්‌ පමණ අන්තර්ගත වේ. පත්‍ර මෘදු ය. එහි කාබන් නයිට්‍රජන් අනුපාතය 9ක්‌ පමණ වේ. 0.4%ක පමණ පොස්‌පරස්‌ ප්‍රමාණයක්‌ ද, 3.2%ක පමණ පොටෑසියම් ප්‍රමාණයක්‌ ද අන්තර්ගත වේ.

කහ පැහැති මල් විශාල ප්‍රමාණයක්‌ අන්තර්ගත වන නිසා අලංකාරය ද ගෙන දෙයි. මේ ශාක කැපීම මගින් නැවත නැවතත් වර්ධනය වීම ස්‌වභාවධර්මයෙන් අපට ලැබෙන දායාදයක්‌ ලෙස සැලකිය හැකි ය. එම නිසා මේ ලක්‍ෂණ ප්‍රයෝජනයට ගෙන වටිනා කොළ පොහොරක්‌ ලෙස වල් සූරියකාන්ත භාවිතයට ගැනීමට අවධානය යොමු කිරීම වැදගත් ය.

එරබදු

එරබදු ශාකය ද බොහෝ ප්‍රදේශවල දැකිය හැකි ය. මෙහි හටගන්නා අලංකාර රතු පාට මල් පරිසරයට චමත්කාරයක්‌ ලබා දෙයි. වී වගාවේ දී කොළ පොහොර ලෙස භාවිතයට ගැනීමට ගොවීහු පුරුදු ව සිටිති. Erithrina variegata (එරිත්‍රිනා වේරියගේටා) ලෙස උද්භිද විද්‍යාත්මකව හඳුන්වනු ලැබේ. මේ ශාකයේ පත්‍ර ද මෘදු බවකින් යුක්‌ත ය.

පත්‍ර තරමක්‌ විශාල ය. මේ ශාකයේ තවත් විශේෂ ගුණයක්‌ ඇත. ඒ එහි පවතින ඖෂධීය ගුණය වේ. බොහෝ ප්‍රදේශවල සාර්ථකව වැඩී තිබෙනු දැකගත හැකි ය.

දේශීය වෛද්‍ය ක්‍රමයට බොහෝ විට යොදා ගැනෙයි. ශාක පත්‍රවල නයිට්‍රජන් 5%ක්‌ පමණ ද, පොස්‌පරස්‌ 0.3%ක්‌ පමණ ද, පොටෑසියම් 2%ක්‌ පමණ ද අන්තර්ගත වන බව සඳහන් වේ. කාබන් නයිට්‍රජන් අනුපාතය 8.5ක්‌ වැනි අඩු මට්‌ටමක පැවතීම ඉක්‌මන් දිරාපත් වීමකට හේතු වේ. ළපටි පත්‍ර මෙන්ම මේරූ පත්‍ර ද ඉක්‌මනින් දිරාපත් වීම විශේෂත්වයකි. අතු කපා දැමීමෙන් පසු නැවත අතු ඇති වීම ඉක්‌මන් ය.

කපා බිම හෙළුE අතුවල ද නැවත රිකිලි ඇති වීම තවත් විශේෂත්වයකි. මේ අතු පතර ඇති වී ඉක්‌මනින් සිදු වන වර්ධනය කොළ පොහොරක්‌ ලෙස භාවිතයේ දී ඉතා වැදගත් ය.

කැප්පෙටියා

කැප්පෙටියා ලංකාවේ බොහෝ ප්‍රදේශවල වැවෙන කොළ පොහොර ලෙස යොදා ගත හැකි ශාකයකි. උද්භිද විද්‍යාත්මක නාමය Croton laccifer (ක්‍රෝටන් ලේසිෆර්) වේ. කැප්පෙටියා ශාකය පඳුරු ලෙස වැවේ.

උස මීටර 1.5-2 අතර වේ. බොහෝ ප්‍රදේශවල කෙසෙල් ඉදවීම සඳහා යොදා ගනී.

විශේෂයෙන් බුලත් හා එළවළු සඳහා පොහොරක්‌ ලෙස ගොවීහු භාවිත කරති. මේ ශාකයේ පත්‍රවල නයිට්‍රජන් 3.5%ක්‌ පමණ ද, පොස්‌පරස්‌ 0.2%ක්‌ ද, පොටෑසියම් 1.5%ක්‌ පමණ ද අන්තර්ගත ය. මේ ශාක පත්‍ර කොටස්‌ පසට යෙදීමෙන් පසෙහි උෂ්ණත්වය යම් තාක්‌ දුරකට ඉහළ නඟියි. එය පාංශු ජීවීන් ගේ ක්‍රියාකාරීත්වයට හිතකර ය.

වතුපාලු

වතුපාලු වතුවල වැවෙන ඉක්‌මනින් පැතිරී යන ශාකයකි. Mikania cordata (මිකානියා කොරඩාටා) යන උද්භිද විද්‍යාත්මක නාමයෙන් හැඳින්වෙයි. ඉක්‌මනින් වැවෙන ගුණය කොළ පොහොර ලබා ගැනීමේ දී වැදගත් ය. පත්‍ර මෙන්ම කඳේ ළපටි කොටස්‌ ද ඉක්‌මනින් දිරාපත් වේ. පත්‍රවල නයිට්‍රජන් 4.3%ක්‌ පමණ ද, පොස්‌පරස්‌ 0.1%ක්‌ ද, පොටෑසියම් 2.6%ක්‌ පමණ ද අන්තර්ගත ය. පහත රට තෙත් කලාපයේ එළවළු වගාවල භාවිත වේ.

ඉහතින් සඳහන් වූ ශාක වර්ග කොළ පොහොර ලෙස බහුලව භාවිත කළ හැකි ය. මීට අමතරව සන්හෙම් වැනි ශාක වගා කර ඒවා පසට යට කර පස පෙරළීමෙන් පසට කාබනික පොහොර ලබා දිය හැකි ය.

මීට අමතරව මාශ බෝග වගා කර අස්‌වනු රැස්‌ කර ගැනීමෙන් පසු පසට යට කිරීම හා දිරාපත් වීමට සැලැස්‌වීමෙන් හොඳින් කාබනික පොහොර ලබා දිය හැකි ය.

කොළ පොහොර ලබා දීම මගින් ප්‍රධාන වශයෙන් නයිට්‍රජන් ලැබුණත් පොස්‌පරස්‌ පොටෑසියම් වැනි ශාක පෝෂක ද පසට ලැබේ. මූලික වශයෙන් ලැබෙන නයිට්‍රජන් නිසා පැළෑටියේ මූලික වර්ධනයටත් හිතකර අතර දිගුකාලීනව ඉදිරියටත් පෝෂ්‍ය පදාර්ථ ලබා ගත හැකි තත්ත්වයකට පත් වේ.

කොළ පොහොර කෙළින් ම පැළෑටියට ලබා දෙනවා මෙන්ම කොම්පෝස්‌ට්‌ පොහොර නිෂ්පාදනයට භාවිත කිරීමෙන් ද එමගින් නිෂ්පාදනය වන පොහොරවල ද ගුණාත්මය ඉහළ නැංවේ.

Scroll to Top