‘අසදිසි ශාක්‍ය සුගත මහා සෑ රදුන් වහන්සේගේ” සුවඳවත් වූ ගර්භයේ නිදන් වස්තු තැන්පත් කිරීම මේ මස 16,17, 18 යන තෙදින තුළ පැවැත්වේ. 16 දින සවස 3.00ට නිල වශයෙන් නිදන් වස්තු තැන්පත් කිරීම සිදු වන අතර 18 වැනි දින සවස 3.00 දක්වා ම අඛණ්ඩව සුවඳවත් වූ සෑ ගර්භයේ සැදැහැවතුන්ට පූජා වස්තු තැන්පත් කිරීම සිදු කළ හැකි ය.
අභිමානනීය අතීතයක නටබුන් වසා දමමින් බොදුනුවන්ට නැතිවී ගිය උරුමයක් යළි ගොඩනඟන්නට (බලංගොඩ) කුරගල කඳු මුදුනේ “අසදිසි ශාක්‍ය සුගත මහා සෑ රදුන් වහන්සේ ඉදි කරන්නට මංගල ශිලා ප්‍රතිෂ්ඨාපනය සිදු වූයේ පසුගිය වසරේ මැදින් පෝදා ය.
” අන්තවාදී කොටස්වලින් අදටත් යම් යම් බලපෑම් පවතිනවා. විවිධ ප්‍රශ්න ගැටලු ඇති කරනවා. මම නුවර සිට මෙහි පැමිණියේ පුද බිම ඉදිකරන්න. ඒ නිසා මම අර ප්‍රශ්නය, මේ ප්‍රශ්නය පවතිනවා කියා මාධ්‍ය ඉදිරියේ නහයෙන් අඬන්න ලැහැස්ති නැහැ. මේ එන සෑම අභියෝගයකට ම මුහුණ දෙන්න අවශ්‍ය භික්ෂු පෞරුෂත්වය මට තියෙනවා. ”
ඒ ආරම්භයත් සමඟ අපේ වතුරකුඹුරේ ධම්මරතන හිමියන්ගේ, සුවහසක් බොදුනුවන්ගේ ශක්තියෙන් ඉදිවෙමින් පවතින මේ පින් බිම දෙනෙතින් දැක ගන්නට අපි වාසනාවන්ත වීමු. අප එහි යන විටත් මේ මහා සෑරදුන්ගේ සලපතළ මලුවට කොන්ක්‍රීට් ඇතිරීමේ මහා වැඩ කටයුත්ත සිදුවෙමින් පැවතුණි. ඒ උතුම් පුණ්‍ය කටයුත්තට තම ශ්‍රමදායකත්වය සපයන්නට එහි පැමිණ සිටි පිරිස පන්දහසකට ආසන්න ය. ශ්‍රී ලංකා යුධ හමුදාව ශ්‍රී ලංකා සිවිල් ආරක්ෂක බලකාය සහ දෙස් විදෙස් බොදු දනන් ඒ අතර වූහ.
මේ උතුම් පින් කටයුත්ත සිදු වන්නේ මෙහි නියමුවාණන් වහන්සේ අපේ වතුර කුඹුරේ ධම්මරතන ස්වාමීන්වහන්සේ ලක්වාසි දනන් වෙත කළ පෙර දැනුම් දීමකිනි. ඒ මෙදින සෑ රදුන් පිහිටි බිම සල පතළ මලුවේ කොන්ක්‍රීට් ඇතිරීම සිදුවෙන බවටයි. ඒ පුංචි දැනුම්වත් කිරීමට ඇහුම්කන් දෙමින් දහස් ගණනින් ජනතාව ශ්‍රම දායකත්වය ලබා දෙමින් පින් පුරවා ගන්නට මෙහි පැමිණ සිටියහ.
“අසදිසි ශාක්‍ය සුගත මහා සෑ රදුන් වහන්සේගේ” උස අඩි 130 කි. උන්වහන්සේ සබරගමුව පළාතේ ඉදිවන විශාලතම සෑ රදුන් වහන්සේ ය. විශේෂත්වය වන්නේ දිස්ත්‍රික්ක හයකටත්, පළාත් හතරකටත් උන්වහන්සේගේ පින්බර දසුන දිස් වීම ය.
අපේ උරුමය සුරකින මේ පින්වන්ත සුවිසල් කාර්ය භාරය පිළිබඳ අපේ නායක හාමුදුරුවන් වහන්සේ අදහස් පළ කළේ මෙලෙසිනි.
මාස අටක කාලයක් මුළුල්ලේ පුදබිමේ සංවර්ධන කටයුතු සිදු කරනවා. වසර පනහක් පුරා කූරගල පුද බිම සැදැහැති බෞද්ධ උවසු උවැසියන්ගෙන් සැදුම්ලත් භූමියක් බවට පත් කර ගැනීමට මේ රටේ ජනතාව අරගල කළා. ඒ අරගලයේ, ධර්ම යුද්ධයේ ප්‍රතිඵලයක් තමයි අද මේ අපි භුක්තිවිඳින්නේ. මීට කලින් කූරගල පුදබිමට සහභාගි වෙන්න අවස්ථාවක් අපට ලැබෙන්නේ නැහැ. ගිහි පැවිදි උතුමන්ගේ අරගලයන්හි ප්‍රතිඵලයක් හැටියටයි ඒ උරුමය අපට නැවත ලැබෙන්නේ .
වසර පනහක් පුරා පුදබිමක් රැක ගන්නට අරගල කළා නම් ඒ කූරගල පුදබිමයි . දැනට කූරගල පුදබිම මහා වැඩ බිමක්. වැඩ බිමක් වූවත් අපේ රටේ ජනතාව මහත් වූ අභිමානයෙන් තමන්ගේ ජාතියේ මතු උප නූපන් පරපුරට මේ පුදබිම රැක දෙන්න ඕනෑ. මේ ජාතික සම්පත, ශාසනික සම්පත, රටේ සම්පත රැක ගන්න ඕනෑ, කියන තැන සිට මේ මිනිස්සු වැඩ කරනවා. ඒ අනුව මේ කූරගල පුද බිම, යළි පිබිදෙන කූරගල ව්‍යාපෘතිය අරවුරුදු 1200 කට මෙහා ලංකාවේ ඉදිවෙන දැවැන්ත විහාරාරාම සංකීර්ණයයි.
අක්කර සියයක් පුරා පැතිරුණු මහා පුදබිමක්. මේ මහා සෑරදුන්ට අමතරව තුන්දහසකට පමණ එකවර සිල් සමාදන් වියහැකි , භාවනා කළ හැකි ධම් සභා මණ්ඩපය, සුගන්ධ කුටි, සංඝාවාස, බෝධි මණ්ඩප ඉදිවෙනවා.
ඒ වගේ ම මේ ප්‍රදේශයට අදිගෘහිත සුමන සමන් දෙවියන්ගේ ප්‍රතිමාවක් ද ඉදිවෙනවා. ඊට අමතරව උද්‍යාන, දැවැන්ත පියගැට පෙළ, කූරගල වැව ඉදිවෙනවා. මේ භූමියේ නිදහස, කූරගල පුදබිම රැකගන්න අවුරුදු පනහක් පුරා අරගල කළ උතුමන් අනුස්මරණය කරන්න විශාල සිංහ රුවක් නිර්මාණය වෙනවා. මේ වගේ ඉදිකිරීම් හතළිහකට ආසන්න ප්‍රමාණයක් එකවර නිර්මාණය වෙනවා.
මේ පුදබිම ඉලක්ක ගත කාලයකින් අවසන් කිරීමට නියමිතයි. එය පසු ගිය අවුරුද්දේ මාර්තු මස 28 දින ආරම්භ කළා. මේ අවුරුද්දේ වෙසක් පුන් පෝය දිනයෙන් ඉදිකිරීම් අවසන් වනවා. මාස 13 ක කාලයකින් මේ මහා විහාර කර්මාන්තය ගොඩනඟා අවසන් කරනවා. කෙටි කාලයක් තුළ ලංකාවේ ඉදි වන දැවැන්ත පුද බිමයි.
කූරගල පුදබිමේ විශේෂත්වය වන්නේ, කූරගල පුදබිම ඕනෑ කියා රටේ ජනතාව ඉල්ලා සිටීමයි. ඒ අය අරගල කළා. නඩු කියන්නට සිදුවුණා. කඳුළු ගෑස් පහරවලට ලක්වන්නට සිදු වුණා. උසාවි, පොලීසිවලට ගියා.. රටක් දැයක් අවුරුදු පනහක් ඉල්ලා සිටි දෙයක් මේ ඉටු වී තියෙන්නේ.
ඒ නිසා මේ වසරේ රාජ්‍ය වෙසක් උත්සවය මේ මහා පුදබිමෙහි පැවැත්වීමට කටයුතු කර තිබෙනවා. ඒ අනුව මේ සෑම නිර්මාණයක් ම අපි මහජනතාව සතු, ශාසනය සතු නිර්මාණ ලෙස දායාද කරනවා. මේ වසරේ වෙසක් පුර පසළොස්වක පෝය දිනයේ දී ජනතාගත කරනවා. ඒ මහා පුණ්‍ය කටයුත්තට සුවිශේෂී ආරම්භයක් සනිටුහන් කිරීමක් මේ මස 16, 17, 18 තෙදින පුරාවට ම සිදුවෙනවා.
මේ තෙදින පුරාවට ම මේ “අසදිසි ශාක්‍ය සුගත මහා සෑ රදුන් වහන්සේ” ගේ සුවඳවත් වූ ගර්භයෙහි නිදන් වස්තු තැන්පත් කිරීමේ මහා පුණ්‍ය කටයුත්ත සිදු වනවා. මේ මස 15 වන දින මහා සංඝයා වහන්සේලා පන්සිය නමක් සෑ මලුවට වැඩම කර ආශිර්වාදාත්මක සෙත් පිරිත් දේශනාවක් සිදු වෙනවා.
ඒ කූරගල පුදබිම ගොඩනඟන්න මහන්සි වූ , උරදී කටයුතු කළ හැම කෙනෙකුට ම ආශිර්වාද පැතීමේ අරමුණෙන්. 16 වැනි දින සවස 3.00 ට නිල වශයෙන් නිදන් වස්තු තැන්පත් කිරීමේ මහා පුණ්‍ය කටයුත්ත ආරම්භවනවා. ඒ අනුව එදින සවස 3.00 සිට අඛණ්ඩව 18 වන දින සවස 3.00 දක්වා මේ සුවඳවත් වූ සෑයේ ගර්භය විවෘත කරනවා. ඒ සැදැහැවතුන්ට පූජා වස්තු තැන්පත් කිරීම උදෙසාය.
16 වන දින රාත්‍රී 8.00 සිට පසු දින උදෑසන 6.00 දක්වා අඛණ්ඩව බුදුරජාණන් වහන්සේගේ බුදුගුණ දේශිත ධර්ම දේශනාවක් සල පතළ මලුවේ සිට වල්පොල ගෝතම ස්වාමීන් වහන්සේගේ මූලිකත්වයෙන් විකාශනය සිදු කරනු ලබනවා.
මේ මහා පුණ්‍ය කටයුත්තට සමගාමීව 16 වන දින සවස 3.00 සිට 18 වන දින සවස 3.00 දක්වා ම ධර්ම දේශනා, ධර්ම සාකච්ඡා, පරිත්‍රාණ ධර්ම දේශනා ආදී විවිධ පින්කම් සිදු කරනු ලබනවා. මේ තෙදින පුරා මේ පුණ්‍ය භූමියට පැමිණෙන සැදැහැවතුන් උදෙසා පහසුකම්, දන්සැල් පවත්වනු ලබනවා.
මේ කූරගල පුද බිම කිසිදු පාර්ශ්වයකට අයිතියක් නැහැ. පසු ගිය කාලේ කූරගල දේශපාලනීකරණය කරනවා අපි දැක්කා. එක් පිරිසක් ඒ අයගේ යැයි කියනවා. තවත් පිරිසක් ඒ අයගේ යැයි කියනවා. එහෙත් කූරගල විශේෂත්වයක් තිබෙනවා. මේ පින් බිම ගොඩනඟන්නට ගෙවුණු මාස 9 ට ලක්ෂ 7000ක් වියදම් කර තියෙනවා.
ඒ හැම ශතයක් ම මේ රටේ අහිංසක මහ ජනතාවගේ මුදල්. දේශපාලනික වශයෙන් නිදහස් අධ්‍යාපනයට, නිදහස් සෞඛ්‍යයට තිබෙන සල්ලි අරන් කූරගල ගොඩනඟලා නැහැ. විපත්ති සමයක, දුර්භික්ෂ කාල විපත්තියක්, වසංගත රෝගයක් තියෙන කාලෙක මේ රටේ අහිංසක ජනතාව දෙන උපකාරයෙන් මේ කූරගල ගොඩනැඟෙන්නේ. ඒ බව නම් විශේෂයෙන් ම සිහිපත් කළ යුතුමයි.
මේ අවස්ථාව වන විට කූරගල ඉදිකිරීම් වලින් 60% ක් නිර්මාණය කර අවසන්. තව 40% ක ප්‍රමාණයක් නිර්මාණයට පවතිනවා. අභියෝග රාශියකට මුහුණ දෙන්න සිදු වෙනවා. කූරගල පුද බිම ආරම්භයේ රට තුළ තිබූ වාතාවරණය නෙමෙයි අද පවතින්නෙ. කාලවිපත්තියක්, දැවැන්ත ලෝක වසංගතයක්, රටේ පොදු අර්බුදයක්, ඒකට අපි කාටවත් චෝදනා කර පලක් නැහැ. රට තුළ කුමන වාතාවරණයක් ගොඩනැඟුණත් එක් දිනක් හෝ කූරගල සංවර්ධනය නැවතුණේ නැහැ.
අමුද්‍රව්‍ය රටේ කොයි මුල්ලකින් හෝ අපට ලැබුණා. අන්න ඒ නිසා මේක අභියෝගත් සමඟ ජයගත් ජයග්‍රහණයක්. අවුරුදු පනහක් අරගල කරල කූරගල ගොඩනැගෙද් දී, ඒ ගොඩනඟන කාලය රටේ අභියෝගයක්. ඉතිහාසයේ අපි මුහුණ දුන් දැවැන්තම අභියෝගය මැදයි මේ කටයුත්ත සිදු වන්නේ. ඒ නිසා මේ කටයුත්තේ දී එක් පැත්තකින්වත් පහසුවක් නැහැ. ඇත්තේ දුෂ්කරතාවයයි.
‘අසදිසි ශාක්‍ය සුගත මහා සෑරදුන්’ වහන්සේගේ සුවඳවත් වූ ගර්භයේ නිදන් වස්තු තැන්පත් කිරීමේ පුණ්‍යමහෝත්සවය තෙදිනක් පුරා පැවැත්වෙන අතර මේ මහා පුණ්‍ය කටයුත්තට අස්ගිරි විහාර පාර්ශ්වයේ මහා නා හිමි, මල්වතු විහාර පාර්ශ්වයේ අනු නා හිමි, රාමඤ්ඤ මහා නිකායේ මහා නා හිමි, අමරපුර නිකායේ උත්තරීතර මහා නා හිමියන් ඇතුළු මහා සංඝයා වහන්සේගේ සහභාගි වීමට නියමිත යි.
කූරගල ගොඩනඟන්නට මහන්සි වූ , දර දිය ඇද්ද, වෙහෙසුන, ගඩොල් ඇද්ද, වැලි ඇද්ද, අහිංසක ජනතාවගේ මූලිකත්වයෙන් මේ පුණ්‍ය කටයුත්ත සිදුවන්නේ. ඒ වගේ ම අපේ යුධ හමුදාවේ විරු දරුවන්ගේ විශාල කැපවීමත් කූරගල ගොඩනඟන්න විශාල ශක්තියක් වූ යුධ හමුදාපතිතුමාගේ සහභාගිත්වය බලාපොරොත්තු වෙනවා.
විශේෂයෙන් ම මෙහි දී සිහිපත් කළ යුතුයි වත්මන් ජනාධිපතිතුමා. එතුමා ආරක්ෂක ලේකම් ව සිටි කාලයේ දී මේ බිමෙහි තිබූ අනවසර ඉදිකිරීම් රාශියක් ඉවත් කර මෙහි මූලාරම්භය තැබුවා. ඒ වගේ ම නිරතුරුව ම සොයා බලා කටයුතු සිදු කරනවා. රාජ්‍ය අනුග්‍රහයක් ලබා නොගත්තත්, රජයෙන් ඉටුවිය යුතු පහසුකම්, එනම් රජයෙන් ලබා දිය යුතු යුතුකම් කොටස ඉටුවෙනවා.
උදාහරණයක් ලෙස පෙන්වා දෙන්නේ නම් එදා අන්‍යාගමික ස්ථානයට විදුලිය තිබූ නමුත් සංඝයා වහන්සේට තිබුණේ ලන්තෑරුමක්. අන්න ඒ අවස්ථාවේ දී රජයෙන් සිදුවිය යුතු කටයුතු ටික සිදු වුණා.
අන්තවාදී කොටස්වලින් අදටත් යම් යම් බලපෑම් පවතිනවා. විවිධ ප්‍රශ්න ගැටලු ඇති කරනවා. මම නුවර සිට මෙහි පැමිණියේ පුද බිම ඉදිකරන්න. ඒ නිසා මම අර ප්‍රශ්නය, මේ ප්‍රශ්නය පවතිනවා කියා මාධ්‍ය ඉදිරියේ නහයෙන් අඬන්න ලැහැස්ති නැහැ. මේ එන සෑම අභියෝගයකට ම මුහුණ දෙන්න අවශ්‍ය භික්ෂු පෞරුෂත්වය මට තියෙනවා. ඒ පැමිණෙන සියලු ප්‍රශ්න අභියෝග මැඩගෙන මේ උතුම් කටයුත්ත ඉටු කිරීමයි ඒකායන බලාපොරොත්තුව.
විශේෂයෙන් රටේ ජනතාවට කියන පණිවුඩය නම් අනුරාධපුරය, පොළොන්නරුව වන්දනා කරන්නට යනවා සේ ම කූරගලත් වන්දනා කරන්න පැමිණෙන ලෙසයි. මේ කූරගල අරගලයක් පැවති පුණ්‍ය භූමියක්. මේ ස්ථාන අපි ගොඩනැඟුවාට, බෞද්ධ ජනතාව මේ තැන් වන්දනා කරන්න වැඩි වැඩියෙන් එන්න යන්න පුරුදු විය යුතුයි. එවිටයි මේවා රැකෙන්නේ. බෞද්ධ ජනතාව එලෙස ක්‍රියා කළොත් තමයි මේ කූරගල අපි කරන කැපවීමට ප්‍රතිඵලයක් ලැබෙන්නේ.
කූරගල ලංකාවේ හැම පුරවැසියෙක් ම ජීවිතයේ එක්වතාවක් හෝ ඇවිත් යා යුතු තැනක්. අපේ කාලේ මහ දැවැන්ත නිර්මාණයක්. එදා අතීතයේ රජවරු මහ සෑය ගොඩනැඟූ හැටි අහල තියෙනවා. නමුත් අද මේ අහිංසක මිනිසුන්ගේ ශක්තියෙන් ගොඩනැඟෙන පුද බිම දරුවන්ට, මුණුපුරන්ට පෙන්විය යුතු ම තැනක්. “හරියට ළිඳක තියෙන පාසි ඈත් කරල කළයකට වතුර ගත් විට පාසිවලින් වැසෙනවා.” වගේ අපි මේ මතු කළ දෙයින් රටේ ජනතාව ප්‍රයෝජන ගත්තෙ නැතිනම්, රැක ගත්තේ නැත්නම් නැවතත් අපෙන් පසුව අන්‍යාගමිකයන්ගේ ග්‍රහණයට නතුවෙන්න පුඵවන්.
අපි මේ කූරගල පුද බිම පමණක් ගොඩනඟනවා නෙමෙයි. මේ පළාතේ ජනතාව ආර්ථික දරිද්‍රතාවයෙන් පෙළෙන පොළොවත් සමඟ ගැටෙන මිනිස්සු. කූරගල කියන්නේ භෞතික වශයෙන් පිහිටීම ගත් විට බොහෝ දුෂ්කරතා ඇතිව ගොවිතැනෙන් යැපෙන මිනිස්සු සිටින ප්‍රදේශයක්. කූරගල පුද බිමට සමගාමීව කල්තොට සහ බලංගොඩ මාර්ගය සංවර්ධනය වෙනවා.
තන්ජන්තැන්න පාසල සංවර්ධනය කරනවා. ඒ අනුව ජාතික, ශාසනික, අධ්‍යාපනික සහ ආර්ථික යන කරුණු ඔස්සේ මෙන් ම සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය වෙනවා. ඒ වගේ ම පළාතේ දුෂ්කර විහාරස්ථාන රාශියක් සංවර්ධනය වෙනවා.
පන්සල්, පාසල්, දහම් පාසල් සහ ආර්ථික මර්මස්ථාන මෙන් ම සංචාරක ස්ථාන මේ සමඟ සමාජගත කර සංවර්ධනය කර පළාතේ ම සංවර්ධනයක් ඇති කරනවා. පළාතේ ජනතාවගේ ආර්ථිකය ශක්තිමත් වූ තරමටයි මේ භූමි නඩත්තු වෙලා අනාගතයට රැකෙන්නේ.
මෙම වසරේ වෙසක් පොහොය වන විට මේ සියලු විහාරාරාම ඉදිකිරීම් අවසන් කොට රාජ්‍ය වෙසක් උත්සවය කූරගල පුදබිමේ පවත්වනවා.
– දීපා පෙරේරා
budusarana