ලෝකයේ මල් අපනයනය කරන රටවල් පිලිවෙලට ලැයිස්තු ගත කළොත් පස් වන ස්ථානයේ සිටින්නේ කෙන්යාවයි.
එරට තේ වලට පසු දෙවන අපනයන භාණ්ඩය වන්නේ කැපූ මල් වේ.
2018 යූරෝ මිලියන 524 ක් වටිනා කැපූ මල් ඉති මිලියන 840 ක් යුරෝපය වෙත අපනයනය කර ඇත.
මේ කැපූ මල් කර්මාන්තය සදහා සෘජුවම දායක වී ඇති පුද්ගලයන් ගණන 90,000 ට අධික වන අතර වක්‍රව මේ කර්මාන්තයේ යෙදෙන පිරිස 5,00000 ක් පමණ වේ.
කෙන්යාවේ මේ සදහා වඩාත්ම ප්‍රසිද්ධ නයිරෝබි අගනුවර සිට කිලෝමීටර් 90 ක් දුරින් පිහිටි Naivasha ප්රදේශයයි.
ලක්ෂ දෙකකට අධික ජනගහනයක් සිටින මේ ප්‍රදේශයේ 40 ක් පමණ වන මල් පාම් වල 30,000 ට අධික කාන්තා සහ පිරිමි කම්කරුවන් පිරිසක් සේවයේ යෙදී සිටී.
කාන්තාවකගේ මාසික වැටුප දල වශයෙන් ඩොලර් 116.50 ක් වන අතර පිරිමි අයෙකුට ඩොලර් 140 ක් වැටුපක් ලැබේ. නමුත් මෙහි ජීවන තත්වයට අනුව අපේක්ෂිත වැටුප විය යුත්තේ ඩොලර් 172 කි.
සතියකට පැය 40 ට වඩා සේවයේ නියුතු විය යුතු අතර ඕනෑම වෙලාවක සේවයෙන් පහ කල හැකි වීම ඔවූන්ට ඇති ලොකුම අභියෝගය වේ.
සෑම සතියකට වරක් මල් කපන රෝස පදුරු සදහා සල්පර් යොදන අතර ඊට පසු අවම වශයෙන් පැය 12 ක් එයින් ඈත්ව සිටිය යුතු වේ.
නමුත් ඇණවුම් මත ඊට පෙර එහි මල් කැපීමට යොදවන අතර මේ නිසා බොහෝ කාන්තාවන් ගබ්සා වීමේ අවදානමක් පැන නගී.
එමෙන්ම කාලයක් මෙයට යොදන රසායනික ද්‍රව්‍ය සමග වැඩ කිරීම නිසා ඔවුන් දරුණු රෝගාබාධයන්ට ඉක්මනින් ගොදුරු වේ.
එමෙන්ම බොහෝ කාන්තාවන් පිරිමි අධීක්ෂකයන්ගේ ලිංගික ගොදුරු බවට පත්වේ.
බොහෝ සේවකයන් අවට මඩ සහිත වගුරු බිම් වල සෑදූ කුලී නිවාසවල ජීවත් වන අතර ඒ සදහා අවම පහසුකම් යටතේ මාසික කුලිය ඩොලර් 4.85 සිට ඩොලර් 29 දක්වා ගෙවිය යුතු වේ.
නිවාස දීමනා වශයෙන් ඩොලර් 15 ක් ආයතනය විසින් ගෙවූවත් යහපත් නිවාස පහසුකම් සදහා එය ප්‍රමාණවත් නොවේ.
Luxman Perera