ජේසුස් ක්‍රිස්තු වහන්සේගේ උප්පත්තිය සිහි කෙරෙන නත්තල කිතුණු ජනතාව අද(25) මහත් බැතියෙන් සමරති.
නත්තල ලොවට ගෙන එන්නේ සාමයේ හා සහජීවනයේ අසිරිමත් පණිවුඩයයි.
අදින් වසර 2021 කට පෙර දිනෙක බෙත්ලෙහෙම් අහස් කුසේ දීප්තිමත් තාරකාවක් පායා තිබුණේ ලොවට බිහිවන ගැලවුම්කරුවාණන් පිළිබඳ සුබ පෙර නිමිති පහළ කරමින් ය.
දෙවියන් වහන්සේගේ එකම පුත්‍රයාණන් ලෙස මෙලොවට ජනිත වූ උන්වහන්සේගේ උපත ලෝකයට නව බලාපොරොත්තුවක් හා ආශිර්වාදයක් දුන් බවත් ලෝකයට දුන් විශ්වීය දයාවේ, ඉවසීමේ හා අවබෝධයේ ඉගැන්වීම් මානව වර්ගයාගේ විමුක්තියට මඟ පෑදු බවත් කිතුනු බැතිමතුන්ගේ විශ්වාසයයි.
ශුද්ධෝත්තම පාප් වහන්සේගේ ප්‍රධානත්වයෙන් පවත්වන දේව මෙහෙය ඊයේ (24) මධ්‍යම රාත්‍රියේ වතිකානයේ සාන්ත පීතර බැසිලිකාවේදී පැවැත්විණි.
ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ප්‍රධාන නත්තල් දේව මෙහෙය, අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් ඊයේ (24) මධ්‍යම රාත්‍රියේ කටුවාපිටිය සාන්ත සෙබෙස්තියන් දෙව් මැඳුරේදී පැවැත්විණි.
තමන්ට විමුක්ති මග දෙසූ ඒ ශාස්තෘවරයාගේ උත්පත්තිය ලක්ෂ සංඛ්‍යාත කිතුණු බැතිමතුන් සමරන්නේ මහත් භක්තියෙන් ය.