එක්සත් ජාතීන්ගේ සංවිධානය මගින් සෑම වසරකම දෙසැම්බර් 11 වන දින අන්තර්ජාතික කඳුකර දිනය වශයෙන් ප්රකාශයට පත්කර ඇත. පළමු වරට එක්සත් ජාතීන්ගේ සංවිධානය මගින් 2002 වසර කඳු පිලිබඳ අන්තර්ජාතික වසර ලෙස ප්රකාශයට පත්කරන ලද අතර එමගින් කඳුකරයට අන්තර්ජාතික අවධානය යොමු කරන ලදී.
2003 වසරේ සිට අන්තර්ජාතික කඳුකර දිනය සැමරීම සිදුකරනු ලබයි.
ජීවයේ පැවැත්ම සඳහා කඳුකරයේ ඇති වැදගත්කම පිළිබඳ ජනතා අවධානය ඇතිකිරීම, කඳුකර කලාප සංවර්ධනය කිරීමට ඇති අවස්ථාවන් හා ඒ සඳහා ඇති අවහිරතාවයන් හඳුනාගැනීම, ලොව පුරා කඳුකරවාසී ජනතාව හා පරිසරය අතර ධනාත්මක වෙනසක් ඇතිකරලීම සඳහා සන්ධානයක් ඇති කිරීම වැනි කරුණු අන්තර්ජාතික කඳුකර දිනයක් ප්රකාශයට පත් කිරීමට අරමුණු වී ඇත.
සෑම වසරකම කාලීන වැදගත් තේමාවක් යටතේ අන්තර්ජාතික කඳුකර දිනය සමරනු ලබන අතර 2021 වසරේ එහි තේමාව වනුයේ Sustainable Mountain Tourism යන්නයි.
සංචාරක කර්මාන්තය හා සම්බන්ධව කඳුකරයේ පවතින විභවය හා වැදගත්කම සැලකිල්ලට ගනිමින් වඩාත් තිරසාර සංචාරක කර්මාන්තයක් ලෙස එය යොදාගැනීමේ වැදගත්කම ජනතාව වෙත අවධාරණය කිරීම සඳහා මෙම තේමාව යොදාගෙන ඇත.