Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

අයියණ්ඩි, බිය නොවන්න

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

1815 මාර්තු 2 වෙනි දින ඇතිකරගත් උඩරට ගිවිසුමෙන් ලංකාව පූර්ණ යටත්විජිතයක් වූ බව අප හොඳින් දන්නා කාරණයක්. මෙසේ ඉංග්‍රීසීන්ට කන්ද උඩරට යටත් කරගැනීම පහසු කරවූ විවිධ කාරණා තිබුනා. උඩරට රදලයන්ගේ සහ සිංහලයන්ගේ සහයෝගය ලැබීම එහිදී ඉංග්‍රීසීන්ට මහත් වාසියක් වුනා.

එය එසේ වූයේ ඇයි? ඊට බලපෑ බහුවිධ කාරණා අතුරින් එකක් වන්නේ ඇහැලේපොල කුමාරිහාමි සහ දරුවන්ට ලබාදුන් කෲර දඬුවමයි. එය රජු කෙරෙහි ජනතාවගේ කලකිරීම ත්‍රීව්‍ර කිරීමට හේතු වුනා. අද ලිපියෙන් සිහිපත් කරන්නේ ලංකා ඉතිහාසය වෙනස් කිරීමට තරම් බලපෑ ඒ සිදුවීමයි.

පෙරවදන

ඒ 1798 වසරයි. රාජාධිරාජසිංහ රජු අභිරහස් ලෙස ඝාතනය වන්නේ මේ වකවානුවේය. ඒ මරණයත් සමග රජකමට නීත්‍යානුකූල උරුමකරුවා වූයේ මුත්තුසාමි නම් කුමාරයාය. නමුත් පිළිමතලව්වේ අධිකාරම විසින් තම අනියම් බිරිඳ වූ සිරියම්මාගේ පුතු 18 වියැති කන්නසාමි කුමරුට “ශ්‍රී වික්‍රම රාජසිංහ” නමින් රජකම ලබාදුන්නේය. ශ්‍රී වික්‍රම රාජසිංහ රජුට මුල් කාලයේදී ජනතා සහය හොඳින් ලැබුනි. එසේ නොවන්නට 1803 ජනවාරි 31 දා එල්ලවූ ඉංග්‍රීසි ආක්‍රමණයට සාර්ථකව මුහුනදිය නොහැකිවන්නට තිබුනි. නමුත් පසුකාලීනව ජනතාව සහ උඩරට රදලයන් රජු කෙරෙහි කලකිරුනු බව සඳහන්ය.

1812 දී දළදා මැදුර හා මල්වතු විහාරය අතර පිහිටි හෙක්ටයාර් 18ක් පමණ විශාල කුඹුරු යායක් බලෙන් පවරාගත් රජු දහස් ගණනින් මිනිසුන් බලෙන් සේවයේ යොදවා නුවර වැව තනවන ලදී. ඔවුන්ගේ ශ්‍රමය වෙනුවෙන් කිසිදු ගෙවීමක් හෝ ආහාර සැපයීමක් නොකෙරුණි. මේ අතර නිලමේවරුන් හා රජු අතර නිතර ගැ‍ටුම් ඇතිවිය. එම ගැ‍ටුම්වල ප්‍රතිඵලයක් ලෙස 1811 අගෝස්තු 26 දින, පිළිමතලව්වේ මරණ දඬුවම ලැබීය.

හිස් වූ මහ අදිකාරම් තනතුර හිමිවූයේ ඇහැලේපොලටයි. ඇහැලේපොල මහ අදිකාරමුත් වැඩි දිනක් නොගොස් රජු සමඟ ගැ‍ටුම් ඇතිකර ගත්තේය. (රජු රූමත් කුල කතක වූ ඇහැලේපොල කුමාරිහාමි පිලිබඳව ආශාවෙන් සිටි බවද කියැවේ.) මෙහි ප්‍රතිඵලයක් ලෙස, රජු විසින් ඇහැලේපොල මහ අදිකාරම බදු එකතුකිරීමේ රාජකාරි සඳහා සබරගමුවට යවන ලදී.

මේ අතර බලකාමයෙන් මත්ව සිටි මොල්ලිගොඩ හා කඳපොල වැනි නිලමේවරුන් සිදු කරේ, ඇහැලේපොලට විරුද්ධව රජුට ගතු කීමයි. මේ සියල්ලේ අවසාන ප්‍රතිඵලය වූයේ, රජු තව තවත් ඇහැලේපොල මහාධිකාරම කෙරෙහි උදහස්වීමත්, මහාධිකාරම තව තවත් ඉංග්‍රීසීන්ට ලංවීමත්ය. රාජවිරෝධී චෝදනා යටතේ, ඇහැලේපොල කුමාරිහාමි, දරුවන් ඇතුලු නෑසිය පරපුර ඝාතනය වන්නේ මේ හේතුව නිසාය.

මහා ඛේදවාචකය

එදා 1814 මැයි 17 වැනිදාය. හාත්පස මහා මූසල බවක් දිස්විය. සිරභාරයේ සිටි ඇහැලේපොල පවුල, දළදා මැඳුර අබියස නාථ හා විෂ්ණු දේවාල අතර පිහිටි දේව සංහිද නමින් හැඳින්වුණ භූමියට ‍රැගෙන එන ලදී. තමාට අත්වීමට යන ඉරණම තේරුම්ගත් කුමාරිහාමි, දරුවන් අස්වසාලන්නට විය. ඇය මේ ලේ පිපාසිත කෲර රජුට සාපකරන්නට විය. තම ස්වාමියාගේ ගුණ සිහිකරන්නට විය. මේ සියල්ල දෙස රජු රජ වාසලේ සිට බලා සිටියේය.

දඬුවම් පැමිණවීමේ වාරය උදාවිය. රාජනීතියට අනුව ස්ත්‍රීන් දියේ ගිල්වා මැරීමටත්, පිරිමි දරුවන්ගේ හිස් ගසාදැමීමටත් නියෝග කෙරුණි. ඇතැම් ඉතිහාසඥයින්ගේ මතය වන්නේ මේ අණ ලබාදෙන විට රජු වයින් පානයකර බමන මතින් සිටි බවයි. මුලින්ම මරණයට කැපවූයේ එකොළොස්‌ හැවිරිදි ලොකුබණ්ඩාරය. මරණ බියෙන් තැතිගත් ඔහු, අඬා වැලපෙමින්, මවු තුරුලේ සැඟවෙන්නට විය.

එය දු‍ටු නව හැවිරිදි මද්දුම බණ්‌ඩාර, ධෛර්ය්‍යසම්පන්නව ඉදිරියට පැමිණ, “අයියණ්‌ඩි, බිය නොවන්න, මැරෙන හැටි මම පෙන්වන්නම්” යෑයි පවසමින් ගහලයාට ගෙල පෑවේය. ඉන්පසු ලොකු බණ්‌ඩාර ඇතුලු දරුවන් ඝාතනය කරන ලදී. කෝපයෙන් ගිනියම්ව සිටි රජු මීලගට නියෝග කර සිටින්නේ කුඩා දරුවාගේ(ඩිංගිරිමැණිකා) හිස වංගෙඩියට දමා කෙටීමටයි. කුමාරිහාමි එය ඉ‍ටු නොකොට ශෝකයෙන් බලාසිටින්නට විය. නියෝගය ඉටු නොකළොත් මුළු පරපුරම රොඩී රැහැට යවන බවට කෲර රජු නැවතත් තර්ජනය කලේය. එහි දී මොල්ලිගොඩ අදිකාරම් ඇයට මෙසේ කීවේය. “සහෝදරිය, තමුන්ගෙ වංශෙට නින්දා කරන්න එපා. එය පිලිපදින්න.”

ගෙලෙන් ලේ සහ මුවින් කිරි වැගිරෙන බිලිඳු හිස මත, කුමාරිහාමි එක වරක් මෝල්ගහ පතිතකල බවත්, ඉන් අනතුරුව කලාන්ත වී ඇදවැ‍ටුනු බවත් සඳහන් වේ.

නියෝගය ක්‍රියාත්මක කළ පලිපාලන කෝරාළ ද සිහිසුන්ව වැටුණි. මෙවැන්නකට මුහුනදීමට ශක්තියක් නැති නිලධාරියෙක් සිටීම මට අවනම්බුවකැයි පැවසූ රජු, එවෙලේම ඔහුව බලයෙන් පහ කරන ලදී. අනතුරුව ඇහැලේපොල කුමාරිහාමිත්, ඇයගේ නෑනණ්‌ඩිය වන පුස්‌සැල්ලේ කුමාරිහාමි හා සෙසු කාන්තාවනුත් බෝගම්බර වැවේ ගිල්වා මරාදමන ලදී.

ඔබ මේ සිදුවීම ගැන චිත්තරූප මවාගැනීමට වෙහෙස විය යුතු නැත. මද්දුමබණ්ඩාර චිත්‍රපටයෙන් උපටාගත් පහත දර්ශණපෙල ඊට උපකාරී කරගත හැක. සැබෑ සිදුවීමට 100%ක් සමාන නොවුනත්, සිදුවීම පිලිබඳ දල අදහසක් ලබාගැනීමට මෙය උපකාරී වේ.

මේ සිද්ධියෙන් කෝපයට හා ශෝකයට පත් රටවැසියන් දින දෙකක් පමණ යනතුරු ගිනි පත්තු කිරීම් නොකොට නිරාහාරව සිටි බව සඳහන් වේ. ඇහැලේපොල දරු පවුල මුහුණ දුන් ඛේදවාචකය 1815 උඩරට ගිවිසුමට කුරිරු දඬුවම් නැවැත්වීම පිළිබඳ වගන්තියක්‌ ඇතුලත් කිරීමටද හේතුවක්‌ විය. ඒ සිදුවීමෙන් පසු මද්දුමබණ්ඩාර කුමරු ලමා වීරයෙක් ලෙස සැලකූ අතර, දළදාමැඳුර දෙසට මුහුණලා සිටින මද්දුමබණ්ඩාර පිලිරුව අදටත් මහනුවර දළදාමාලිග පරිශ්‍රයේ දක්නට ලැබේ.

පසුවිපරම

උඩබලාගෙන කෙල ගැසීමක් බඳු මේ සිදුවීමෙන් වැඩි වාසි අත්වූයේ ඉංග්‍රීසින්ටයි. අවසානයේ රජුට සිදු වූයේ ඉංග්‍රීසීන්ගෙන් බේරීමට සැඟවී සිටීමටයි.

ඒ 1815 පෙබරවාරි 18 වන දිනයි. මේ වන විට රජු තම බිසවුන් දෙදෙනෙකු සමඟ මහනුවර බෝමුරේ පිහිටි උඩුපිටියේ ගෙදර ආරච්චිලාගේ නිවසේ සැඟවී සිටියේය. එක්‌නැලිගොඩ ප්‍රමුඛ පිරිස රජු අත් අඩංගුවට ගැනීමට පැමිනෙන්නේ මේ අතරය. රජු එකවරම යටත් වූයේ නැත. මහත් කලහයකට පසු, රජු ඇතුලු පිරිස අත් අඩංගුවට ගන්නා පිරිස, ඔවුනට හිරිහැර කරමින් කොළඹට ‍රැගෙන එන ලදී. මේජර් හුක් ප්‍රමුඛ පිරිස ඔවුන්ව හිංසනයෙන් මුදවාගත් බව සඳහන් වේ.

පසුකාලීනව මුරුසියට පි‍ටුවහල් වූ ඇහැලේපොල නිළමේ වසර 56ක් ආයු වළදා 1829 දීත්, වෙල්ලෝරයට පි‍ටුවහල් කරන රජු වසර 52ක් ආයු වලඳා 1832 ජනවාරි 30 වෙනිදාත් මියගියබව ඉතිහාසයේ සඳහන්වේ.

Scroll to Top