Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

සඳ හිරු පායන තුරු පවතීවා – පින්බර සඳහිරු සෑය දිලේවා

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

මහා සංඝ රත්නය මුල් කරගෙන රට පාලනය කිරීම අතීත රජදරුවන් විසින් හෙළ සංස්කෘතියට එක් කළ විශේෂිතම ආදර්ශයක් වන්නේ ය. රුවන්වැලි සෑය, ජේතවනාරාමය, අභයගිරිය පමණක් නොව මිරිසවැටිය වැනි මහා දාගැබ් බිහි වූයේ ඒ ආභාසයෙන් යුක්තව ය.

මෑත ඉතිහාසයේ එවන් විශාල දාගැබක් ඉදිවූවා නම් ඒ කොත්මලේ මහවැලි මහා සෑය පමණි. එහෙත් වසර 30ක් පමණ පැවැති ත්‍රස්තවාදීන්ගේ බෙදුම්වාදී යුද්ධය නිමවීමෙන් පසුව යුද්ධයට දිවිදුන් රණවිරුවන් මෙන්ම රණක්ෂිතයට පත් රණවිරුවන් ද, අතුරුදන් රණවිරුවන් මෙන්ම දිවි පරදුවට තබා අප වෙනුවෙන් යුද වැදී රට රැක ගත් සියලු රණවිරුවන් වෙනුවෙන් කළගුණ සැලකීමට මහාසෑයක් ඉදි කිරීමට එවකට ජනාධිපතිධුරය දැරූ මහින්ද රාජපක්ෂ මැතිතුමා විසින් කටයුතු යොදන ලදී.

එවකට ආරක්ෂක ලේකම් ධුරය දැරූ වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ද ඒ වෙනුවෙන් සිය උපරිම දායකත්වය සපයන ලදී. ත්‍රිවිධ හමුදාපතිවරුන් මෙන්ම රට බේරාගත් රණවිරුවන්ට කළගුණ දැක්වීමට ඉදිරිපත් වූ දෙස් විදෙස් සියලු දෙනාම මේ සෑය වෙනුවෙන් දායකත්වය දරන්නට ඉදිරිපත් විය.

ඒ අනුව ඓතිහාසික අනුරාධපුර රාජධානියේ ම, රුවන්වැලිසෑයට නුදුරින් කළගුණ සැලකීම පිණිස මහා සෑයක් ඉදි කිරීමට යෝජනා විය. එය ‘කළගුණ සෑය‘ නමින් නම් කරන්නට ද යෝජනා විය. ඒ අනුව 2010 වසරේ නොවැම්බර් 22 වැනි දා මේ මහා සෑය ඉදිකිරීමේ ආරම්භක කටයුතු සිදුවුණු අතර, එය සඳහිරු පවතින තුරා යන්න සිහි කරමින් ‘සඳහිරුසෑය‘ යනුවෙන් එය නම් කරන ලදී.

කඩිනමින් වැඩ කටයුතු සිදු කළ එහි 2014 වසරේ නොවැම්බර් 23 වැනිදා ගර්භයේ ධාතු නිධන් කිරීම සිදුවිය. අනුරාධපුරය ශ්‍රී මහා බෝධීන් වහන්සේ අසල පිහිටි, දුටුගැමුණු රජතුමා හා එළාර රජු මුහුණට මුහුණලා සටන් කර දුටුගැමුණු රජතුමා ජයගත් ජය භූමියේ සඳහිරු සෑය ඉදිවීම ද විශේෂත්වයකි.

Scroll to Top