Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

ජපානයේ “The Order of the Rising Sun” සම්මානය ශ්‍රී ලාංකිකයකුට

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

ප්‍රකට කලාකරුවෙකු වන ආචාර්ය එච්. ඒ. කරුණාරත්න මහතා වෙත, කලාවේ හරය තුළින් ජපානය සහ ශ්‍රී ලංකාව අතර අන්‍යෝන්‍ය අවබෝධය සහ මිත්‍රත්වය ප්‍රවර්ධනය කිරීම උදෙසා, ජපානය විසින්, “The Order of the Rising Sun, Gold and Silver Rays” සම්මානය පිරිනමා ඇත.

වර්ෂ 1959 දී ජපන් රජයේ ශිෂ්‍යත්වයක් යටතේ ටෝකියෝ ජාතික ලලිත කලා හා සංගීත විශ්වවිද්‍යාලයට ඇතුළත්වීමත් සමග, ආචාර්ය කරුණාරත්නයන්ගේ ජපානය සමඟ වන ආත්මීය සබඳතාවය ආරම්භ විය. ජපානයේ වඩාත්ම පිළිගත් මෙම කලායතනයේදී, ලී කැපීම, කැටයම් කිරීම සහ කැටයම් මුද්‍රණ ශිල්පය ආදි ශිල්පයන් අධ්‍යයනය කරමින් සිටින අතරතුර, ආචාර්ය කරුණාරත්නයන් හට, ජපාන සුන්දරත්වයේ හදවත කැටිවූ සෙන් බුදු දහමෙහි ආභාෂය ලැබුණු අතර, ඒ ඔස්සේ වර්ණ සහ වර්ණවල සියුම් භාවිතය මගින් හැඩවූ සෞන්දර්යාත්මක නිර්මාණයන් බිහිකිරීමේ හැකියාව ප්‍රගුණ කරගත්තේය.

ආචාර්ය කරුණාරත්නයන්ගේ මනරම් නිර්මාණ ජපන් සංස්කෘතියට සහ ජනතාවට ඔහු තුළ ඇති ඉමහත් වූ ගෞරවය පිළිබිඹු කරන අතර, බුදු දහමේ පොදු ආභාශය ලත්, ජපානය සහ ශ්‍රී ලංකාව අතර අධ්‍යාත්මික සංචාරය, ඔහුගේ දීර්ඝ ආත්ම ගවේෂණයේ ගමන සංකේතවත් කරයි.

සිතුවම් මත මනරම් සුසංයෝගයන් ප්‍රකාශ කරමින්, දෙරටේ ජනතාවගේ හදවත් සමීප කරලීමට ආචාර්ය කරුණාරත්නයන් ලබාදුන් අමිල දායකත්වය ජපාන තානාපති කාර්යාලය විසින් ඉහළින්ම අගය කරනු ලබන අතර, මෙම සම්මානය ලැබීම පිළිබඳව හෘදයාංගම සුබ පැතුම් පිරිනමයි.

ලබන වසරේ ජපානය සහ ශ්‍රී ලංකාව රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ආරම්භ කර වසර 70ක් සපිරේ. ආචාර්ය කරුණාරත්නයන්ගේ වර්ණ පිරුණු ලෝකය පිළිබඳ අධ්‍යාත්මික ගවේෂණයෙන් තව තවත් පොහොසත් වූ අපගේ ද්විපාර්ශ්වික සබඳතාවල ඉතිහාසය සිහිපත් කරමින් මෙම සන්ධිස්ථානය සැමරීමට තානාපති කාර්යාලය බලාපොරොත්තු වෙයි.

“The Order of the Rising Sun” සම්මානය, ජපානයේ අධිරාජ්‍ය උතුමාණන් ගේ නාමයෙන්, ජපාන රජය විසින්, ජාත්‍යන්තර සබඳතා හා ජපාන සංස්කෘතිය ප්‍රවර්ධනයේ ලා, කැපී පෙනෙන දායකත්වයක් ලබාදුන් පුද්ගලයින් හට පිරිනමනු ලබන ඉහළම සම්මානයයි.

Scroll to Top