විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකා පිල අවසන් පූර්ව තරගයට සුදුසුකම් නොලබා ඉවතට විසි වී යන තත්ත්වයක් තුළ කණ්ඩායමේ පුහුණු කාර්ය මණ්ඩලය වෙත චෝදනා ගණනාවක් එල්ල වෙමින් පවතී.
ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනය කණ්ඩායමේ අභිවෘද්ධිය වෙනුවෙන් සියලු සම්පත්දී තිබියදී තරුණ ශ්‍රී ලංකා කණ්ඩායම නිසි මාර්ගෝපදේශ හා පූර්ව සැලසුම් සහිතව මේ තරගාවලියේ සුපිරි අට තරග වටයේ ක්‍රියා කළේද?
ඒ සඳහා පුහුණුකරුවන්ගේ කාර්යභාරය කුමක් වූයේද?
යන ප්‍රශ්නය පැන නැඟී ඇත.
එබැවින් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණු කාර්ය මණ්ඩලය පිළිබඳ සැලකිල්ලෙන් සිතා බැලීම කාලෝචිත බව බොහෝ දෙනාගේ මතය වී තිබේ.
මහේල ජයවර්ධන ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් පන්දුවට පහර දෙන ස්ථාන වෙනස් කොට ක්‍රීඩකයන් තුළ විශ්වාසයක් ගොඩ නැඟූ බවත් සුපිරි අට තරග වටයේදී එවැනි විශ්වසයකින් ක්‍රීඩා කිරීමක් දක්නට නොලැබුණු බවත් සඳහන් කළ යුතුය.
එබැවින් ශ්‍රී ලංකා පිලේ දැනට සිටින පුහුණු කාර්ය මණ්ඩලයේ වගකීම ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රශ්න කළ යුතු කාලය එළැඹ ඇත.
ශ්‍රී ලංකා ක්‍රිකට්වල පසුගිය කාලයේ ඇති වූ කල්ලිවාදය නිමාකොට විනයවත් පසුබිමක් නිර්මාණය කිරීමටත්, විනය කඩ කරමින් හැසිරුණ ක්‍රීඩකයන්ට පමණටත් වඩා ඉක්මවා යමින් දඩුවම් පැනවීමත් විනය ආරක්ෂා කිරීමට ගත් වැදගත් පියවරයන් වේ.
අර්බුද නිමා වී ඇති පසුබිමක කණ්ඩායම තුළ නිසි සැලසුමක් ගොඩනඟා ගැනීමට පුහුණුකරුවන් අසමත්වීම වර්තමානයේ ඇති බරපතලම කඩා වැටීම වේ.