Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

මාළඹේ SLIIT ආයතනය නැවත රජයට පවරා ගැනීමට කටයුතු කිරීමට යයි

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ අද දින කෑගල්ල ප්‍රදේශයේ ලංකා සතොස නව අළෙවිසැලක් විවෘත කිරීමේ අවස්ථාව සඳහා එක් වෙමිනි.

යහපාලන රජය විසින් මාලඹේ තොරතුරු තාක්ෂණ ආයතනය වංචාකාරී ලෙස පෞද්ගලික අංශයට විකුණා දැමූ නමුත්, අතිගරු ජනාධිපතිතුමාගේ උපදෙස් හා නීති අංශ වල සහයෝගය ලබා ගනිමින් නැවතත් මෙම ආයතනය මහපොළ භාරකාර අරමුදල් මණ්ඩලය යටතට ලබා ගැනීමට කටයුතු කරන ආකාරය සම්බන්ධයෙන් මෙසේ අදහස් දක්වන ලදී.

“මහපොළ අරමුදල් මණ්ඩලය යටතේ පැවති SLIIT ආයතනය සම්පූර්ණයෙන්ම දේපළ අවභාවිතයක් කරලා පුද්ගලික අංශයට අළෙවි කර තිබෙනවා. ඒ තරම් විශාල හොරකමක් මහපොළ ඉතිහාසයේ කවදාකවත් සිද්ධ වී නැහැ.

කීර්තිමත් වෙළෙඳ අමාත්‍යවරයෙකු වූ දිවංගත ලලිත් ඇතුළත්මුදලි අමාත්‍යවරයා විසින් අමාරුවෙන් නිර්මාණය කළ මහපොළ අරමුදල සුරක්ෂිත කර පෝෂණය කරනවා වෙනුවට මහපොළ තිබුණ දේපළ වත්කම් සියල්ල අයථා ලෙස අපහරණය කරලා පවරලා දී තිබෙනවා.

ඒ සඳහා ජනාධිපති කොමිෂන් සභාව, පාර්ලිමේන්තුවේ රාජ්‍ය ගිණුම්කාරක සභාව ඇතුළු අනෙකුත් සියළුම පාර්ශ්වයන් අපක්ෂපාතීව පිළි අරන් තිබෙනවා ලංකා ඉතිහාසයේ මහපොළ යටතේ සිදු වූ විශාලතම වංචාව මෙය බවත් දැන් ඒ වරද නිවැරදි කිරීමට කාලය එළඹ ඇති බවත්. අපි අනාගත කාලය තුළදී නීති අංශ සමඟ සාකච්ඡා කර නැවතත් මාලඹේ SLIIT ආයතනය මහපොළ යටතට පත් කිරීමට කටයුතු කරනවා. ”

එමෙන්ම මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා ප්‍රකාශ කළේ දියුණු තාක්ෂණයක් සහිතව ලංකා සතොස අළෙවිසැල් ජාලය තවදුරටත් ව්‍යාප්ත කරමින් 2022 වසර අවසාන වන විට අළෙවිසැල් දහසක් (1000) ඇති කරමින් පාරිභෝගික ජනතාවට පහසුවෙන් ළඟා විය හැකි වන පරිදි කටයුතු කරනු ලබන බවයි.

එමෙන්ම තමා වෙළෙඳ අමාත්‍ය ධූරය දරන තාක් කල් කිසිදු වංචාවක් හෝ දූෂණයක් ලංකා සතොස තුළ ඇති වීමට ඉඩක් නොතබන බව අවධාරණය කළ අමාත්‍යවරයා, සෑම අංශයක්ම ආවරණය වන පරිදි නව ක්‍රමවේද ඔස්සේ කටයුතු කරමින් ලංකා සතොස ආයතනය දීර්ඝ කාලීනව ලාභ ලැබිය හැකි ආයතනයක් බවට පත් කරනු ලබන බව ද ප්‍රකාශ කරන ලදී.

ගුණත්වයෙන් ඉහළ භාණ්ඩ අවම මිළ ගණන් යටතේ, හිඟතාවයකින් තොරව පාරිභෝගික ජනතාවට ලබා දීමට ගත හැකි සෑම ක්‍රියාමාර්ගයක්ම ගන්නා බව ද අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කරන ලදී.

මෙම අවස්ථාව සඳහා රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මහතා, රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා, කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිකා වික්‍රමසිංහ මහතා, හිටපු පළාත් සභා මන්ත්‍රී අජිත් ශාමින්ද මහතා, කෑගල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති ජගත් ජයසිංහ මහතා, ගල්ගමුව ප්‍රාදේශීය සභාවේ සභාපති සමන් ජයසිංහ මහතා ඇතුළු පිරිසක් සහභාගී වී සිටියහ.

Scroll to Top