Aboutceylon Online

විශ්ව කුලය හා විවෘත ආර්ථිකය රන්හාමි මාමලාගේ කතාව

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

මේ ලඟ එන ආර්ථික පෙරලිය දකිද්දී අපේ සිහියට ආවේ දේශපාලන ඉතිහාසයේ ශුද්‍ර දේශපාලනයේ පාලිතයෙක්ගේ කතාවකි. එහි කතානායකයා නව නිර්මාණ කළ විශ්ව කුල වංශිකයෙක් හෙවත් නවන්දන්නා කුලයේ කෙනෙකු වූ රන්හාමි මාමා ය.

අපේ දෙවැනි උපන්ගම වී තිබුනේ ගාලු වැල්ලබඩ පත්තුවේ වේරගොඩ ග්‍රාමයයි. මේ ගමේ නමට වෙහෙරක් බැඳී තිබුනත් වර්තමානයේ වඩාත් ප්‍රකට දෙවොල් දේවාලය, දෙවොල් මඩුව හා දෙවොල් දෙවියන් විවාහයක් [මෙලොවින්] කරගෙන මේ ගමේ ජීවත්වීමේ ජනප්‍රවාදයන් ටය. අප මේ කියනා පාලිතයාගේ කතාවට පසුබිම් වන්නේ 1971 වසරේ මුල් කාර්තුවය.

මේ වන විට ‘හූ හඬක්’ තරමේ වේගයෙන් දකුණු පළාතේ ගම්නියම්ගම් හරහා පැතිරෙමින් තිබුණු “ව්‍යාපාරය” හෙවත් ජනතා විමුක්ති පෙරමූණේ දේශපාලනයට පීඩිත, රකියා විරහිත දිළිඳු තරුණයෝ වේගයෙන් ආකර්ෂණය වෙමින් සිටියහ.

ඔවුන්ගේ අරමුණ වී තිබූනේ ‘ඇමෙරිකානු ප්‍රතිවිප්ලවය’ හා බ්‍රිතාන්‍ය රැජිණගේ සියවස් දෙකක් තරම් පැරණි පාලනය හැකි ඉක්මනින් පෙරළා දැමිමය. මේ වෙනුවෙන් වේරගොඩ හා පසල් ගමක් වු මීටියාගොඩ ගම්මානවල තිබූ ‘පහේ කණ්ඩායම්’ වලට ගොනුවී සිටි තරුණයන්ට පැවරී තිබුනේ ‘විප්ලවය’ දියත් වු විට පහර දී මිටීයාගොඩ පොලිසියට අල්ලා ගැනිමය.

ප්‍රහාරයට පක්ෂයෙන් [ජවිපෙන්] ආයුධ ලැබී තිබුනේ නැත. ගම් දෙකේ තරුණයන් කිප දෙනෙකුට ඉවත දැමූ ටිං වලින් බෝම්බ නිෂ්පාදනයේ පුහුණුව පමණක් ලැබී තිබුනේ ය.

පොලිසියට ප්‍රහාරය එල්ල කිරීමට අව්ශ්‍ය තුවක්කු ලබා ගැනීමේ උපදෙස වූයේ ගමේ ඇති ලයිසන් තුවක්කු එකතු කිරීමය. එකල මේ ගම්මාන දෙකේ ලයිසන් තුවක්කු හිමියන් සිටියේ දැතේ ඇඟිලිවලටත් අඩු ප්‍රමානයකි. එම ලයිසන් තුවක්කු හිමියන් ද එසේ මෙසේ උදවිය නොවූහ.

සිරිවර්ධන පවුල් නමින් ප්‍රකට පාතරට ගොවිකුල හාමුලා ද ජයතිලක, ගුණවර්ධන, කග්ගොඩ ආරච්චි හා ගුණතිලක ගොවි කුල වාසගම් තිබූ ඉඩම්හිමි ප්‍රභූවරු වුහ. ‘කැරලිකරුවෝ වැඩි දෙනෙක් කුල පීඩතයන් හෝ දිළිඳු ගොවි කුලීනයෝ වුහ.

1971 කැරැල්ල හා තුවක්කු

“ප්‍රභූ තුවක්කු” එකතු කර පහර දී පොලීසිය යටත් කිරීම සැලසුම් කිරීම කාරණා කීපයක් නිසා ප්‍රායෝගික නොවීය. පළමු තුවක්කුව පැහැර ගැනීමටවත් තුවක්කුවක් නොතිබීම, කුලවත් හා බලවත් ප්‍රභූ නිවෙස්වලට යාමේ කිලෑටිකම හා “හෙලිදරවිවීමේ” බිය ඔවුන්ට තිබුනේ ය. මේ තත්වය ජය ගැනිමේ විසඳුම තිබුනේ ‘රන්හාමි’ මාමා ලඟය.

ඒ වන විටත් මල්හාමි මාමා ජීවන ගමනේ වසර 70කටත් වඩා නිම කරලා ය. වේරගොඩ ගමේ කෙලවර පිහිටි නවකම් දන්නා වංශය හෙවත් ‘නවන්දන්නේ ගොඩේ’ ජීවත් වුනේ ය. නමින් ‘රන්හාමී’ වූවත් මාමා ජීවත් වූයේ වේරගොඩ ක්ෂේත්‍රාරාම පංසල නුදුරේ කම්මලේ ආදායමෙන් ය.

මාමා යකඩ හා වානේ වලින් උදලු, කැති, පොරෝ, වෑය මන්නා හා පිහි හදා දුන්නේ ය. ඉඳහිට කරත්තවල බඳින ගොනුන්ට ලාඩම් ද ගැසුවේ ය. ඔහු අවට ගමවල ප්‍රසිද්ධ වූයේ විශ්වකර්මයා හැටියට. [එකල ගැමියෝ නවන්දන්නා වංශයට විශ්ව කුලය කියන බවක් නොදැන සිටියහ] “රන්හාමිට යකඩ කෑල්ලක් දුන්නොත් ළමයෙක් හදල පන තියල දේවී.” එකල ගැමියන් මල්හාමි වර්ණනාව කලේ ඒ විදිහට ය.
පසුව “තිරස්ත්වාදීන්”, චේගුරාලා හා අසහනකාරයන් හැටියට පසුව ප්‍රකට වූ මේ ගැමි තරුණයෝ විසඳුම සිහියට නඟාගෙන හවස් අතේ කම්මලට ගොස් රන්හාමි මාමා හමු වූහ.

වෙනදා කම්මලේ පස් නොපාගන ඉලන්දාරි රැලක් ඇවිත් කම්මලේ ‘මයිනහම’ අදිමට උදව්වෙමින් එපා කියද්දීත් කුලිගෙඩියෙන් යකඩ තලන්න උදවු වෙන කොළු රංචුව ගැන රන්හාමිට මුලදී බලවත් සැකයක් ඇති විය. එහෙත් කොළු නඩයේ වැඩිදෙනෙක් මාමාගේ දරුවන් සමඟ වේරගොඩ විජබාවේ ඉගෙන ගත්තු එවුන් ය.

උන් පොල්කන්දේ ඉස්කෝලේ යද්දී කුලමළ නැතිව වතුර තිබහට වතුර බොන්න ආවේ අසල තිබූ මාමලාගේ “ගොඩ” ටය. ඒ කොටසේ තිබූ සියඹලා හා ඩොන්කා ගස්වලට පොලු ගසමින් කොල්ලො ගහමරා ගත් හ. ඒ මතකය සිහිවෙද්දී මාමා ට දැන් කරදණ්ඩ උඅස ගොස නැඩ ඉලන්දාරීන් වී කම්මලට විත් හොරගල් අහුලන ඉලන්දාරි දැක සිනා යන්නටත් ඇත.

හිතහයිය එකෙක් කෙලින්ම ආ කාරණාව කියද්දී මාමාගේ මුණ බැරැරුම් වෙන්නටත් ඇත. මාමා සිරී අඬු කැඩුණු බෝල කණ්නාඩි කුට්ට්ම යටින් ඉලන්දාරි රැල දෙස බලන්නට ඇත.
“මොකට ද ඔහේලට තුවක්කුවක් ..?”

“මේ මහවෙලේ සේරු,කරවැල් කොක්කු, වටුවො පිරිල. කුඹුරක් වපුරල බේරගන්න බෑ. උන්ට තියන්න.”

ඉලන්දාරි රංචුව කින්නේ බේගලයක් බව ගොවීන්ගේ ආවුද නිෂ්පාදකයා වූ මල්හාමි දන්නේ ය. පවු කිරිමත් තබා එවාට සම්මාදම් විමක් වත් ඔහු නොකරන්නේ ය. කුරුල්ලන් ගඟබඩ ගොවිතැන් පාළු කිරීම නවන්දන්නා කුලයටත් හොඳින්ම දැනෙනේ ය. ඔහුගේ පරම්පාරව බේල්ජියමේ තරමටම “කට පුංචා” හැදීම නොකළත් වැඩේ කෙරෙන්නට හදන්න දැන සිටියේ ය.

ගම්වල පසුකලෙක ‘ගල් කටස්” යනුවෙන් හැඳින්වෙන තනි කානුවේ පතුරම් තුවක්කු හොර රහසේ හදා දීම “ගොඩේ” උදවිය නොකලාම නොවේ. මල්හාමි ද අවට ගම්වල සිටි “සරදියෙල්ලාට” මීට පෙර තුවක්කු හදා දී තිබේ. මේ ඉලන්දාරි කෙසේ වෙතත් ඒ “සරදියෙල්ලා” පොලිසියේ දී මිරිස් ගෝනිවල බැස්සුවත්, බිත්තියේ නැග්ගුවත් තුවක්කු හදා දුන්නේ කවුරුදැයි ‘කටේ කෙල බිංදුවක් හෙලා’ නැත.

පොලීසිය හා නව නිර්මාණ

මල්හාමි මාමා, තමා ඉලන්දාරීන්ට හදා දුන් තුවක්කු ගණන දැන ගන්නේ 1971 ජුනි මාසයේ අගදී මිටියාගොඩ පොලිසීයේ කකුල් දෙකෙන් එල්ලා පහර කද්දීය. අප්‍රියෙල් මාසයේ මුල පටන්ගත් “චේ ගුවේරා” කැරැල්ල අවසන් වී මාස තුනකට පසු ආණ්ඩුවට “බාර වූ” කෝල්ලන් දෙදෙනෙක් සටනට තුවක්කු සොයාගත් ආකාරය පොලිසියට වමෑරූ දේ අසමින් යළිත් පහර ලැබෙද්දීය.

කැරලිකාරයන්ට තුවක්කු හදා දිමේ වරදට මල්හාමි පුනරුත්ථාපනයට වැසු සරසවියකට හෝ හිර කඳවුරකට නොයැවුනේ ය. ඒ වනවිටත් අවුරුදු 75කට ලංවෙමින් සිටි ඔහු පොලිසිය තුවක්කු කතාව සොයා ගන්නා විට අබ්බාගාතයෙක් වී සිටියේ ය. මේ නිසා බිඳීගිය අතපය හදාගන්නට ‘කිරිනැළියේ හෝ උළුපට්ටලේ’ කැඩුම් බිඳුම් වෙදුන්ගෙන් බෙහෙත් ගැනීමට පොලිසියෙන් උපදෙස් ලැබුනේ ය. සති දෙකක “පොලිස් සංග්‍රහයෙන්” පසු මාමා පවුලේ ඥාතීන්ට බාර කෙරුණේ ය.

පංසල ලඟ කම්මල වැසුනේ ය. මල්හාමි මාමා මරණය දක්වාම ලෙඩ ඇඳට වැටී සිටියේ ය. “මෙඩින් වේරගොඩ හා මල්හාමි තුවක්කු ගැමියන්ට ද පොලිසියට ද අමතක විය. එහෙත් ‘මල්හාමි තුවක්කු’ ජනප්‍රවාදයක් වූයේ අවුරුදු ගණනක් හිරේ තැප පැමිණි ඉලන්දාරි වැඩිහියන් වී මේ තුවක්කුවල වර්ණනාව කඩපිල්වල දෙසාබාද්දීය.

දැන් එමින් තිබෙන්නේ විවෘත ආර්ථික යුගයකින් වැසු ආර්ථිකයකට හෙවත් සංවෘත ආර්ථිකයකට පෙරලා ගමන් කිරීමට බල කෙරෙමින් සිටින යුගයක් ය. මේ රන්හාමිලා ට තැනක් එන කාලයකි. ඒ අපි වටයක් කරකැවී දශක හැටකට පමන පෙර අතීත යුගයකට සේන්දු වෙමින් සිටින නිසාය.

මේ බව වඩාත් තහවුරු වූයේ ලසන්ත අලගියවන්න ඇමතිවරයා ‘ යලිත් බණ්ඩාරනායක මැතිණියගේ යුගයකට යන්න ලෑස්තිවෙන්නැ’ යි කළ ප්‍රකාශයක් දුටු හෙයිනි.

බණ්ඩාරනායක බුදලයට අයිතිව තිබූ ගම්පහ දිස්ත්‍රික්කයෙන් එන ඇමති අලගියවන්නගේ ප්‍රකාශයක් අපට ලෙහෙසියන් අමතක කළ නොහේ. මන්ද ‘අලගියවන්න’ නාමය කෝට්ටේ යුගයේ පටන් රාජ සභාවල, පාලක සභාවල ‘රාජ උපදේශක’ තනතුර සමඟ ඈඳී තිබෙන නිසාය.. ඇමති අලගියවන්න කියන මේ තෙවැනි බන්ඩාරනායක පාලනය කුමක් ද ?

පෝලින් යුගය හා සමගි පෙරමුණ

“ පොලින් යුගය”, තුන් හවුල් කැඳහැලිය”, “පොදුජන සාගත යුගය” වැන් අපරනාමයන්ගෙන් හැඳින් වුනු මේ යුගය ආරම්භ වන්නේ 1970 මහා මැතිවරණයෙන් සමඟි පෙරමුන තුනෙන් දෙකක බලය ලබා රාජ්‍ය විචාරීම ඇරඹීමෙන් ය. “සිරිමාගේ පෝලින් යුගය” යනුවෙන් ඇගේ දේශපලන හතුරන් පොදුවේ හැඳින් වූ සිරිමා රත්වත්තේ ඩයස් බන්ඩාරනායක අගමැතිවරියගේ දෙවන පාලන කාලය නුතන දේශපාලන ඉතිහාසයේ සුවිශේෂ ආර්ථික හා දේශපාලන යුගයකි.

ශ්‍රිලනීප, සමසමාජ හා කමියුනිස්ට් පාක්ෂිකයන් ‘ජනරජ යුගය’ සේ උත්කර්ෂයට නඟ්වන මේ යුගය ගැන යහපත් අවබෝධයක් 1975 පසු ඉපදුණු කිසිවෙකුටත් තිබිය නොහැකිය. මෙකල රටේ අත්‍යාවශ්‍ය භාන්ඩවල බලවත් හිඟයක් පැවතුනේ ය. හාල්, සීනී, කිරිපිටි, පරිප්පු, උම්බලකඩ පමණක් නොව රෙදි පවා සලාකයට, පාලන මිලට හා හාල් පොතට ය.

පාලන මිල හා සලාකය නිසා මේවා බෙදාහැරුනේ සමුපකාර කඩසාප්පු හරහා ය. මේ සීමිත බෙදාහැරීමේ ක්‍රමයේ අනිවාර්‍ය ප්‍රතිවිපාකය වූයේ රට පුරාම පෝලින් ඇතිවීමය. එහෙත් මේ රටේ ආහාර හිඟය, පොලින් හා සමුකාර බෙදාහැරීම ආරම්භ වූයේ මේ සමඟි පෙරමුණු ආන්ඩු කාලයේ නොවේ. ඊට බෝහෝකලකට පෙරය.

ආහාර සලාකයට ලබා දිම දෙවන ලෝක යුද්ධ සමයේ [1939 -1945] බ්‍රිතාන්‍ය පාලකයෝ මේ රටට හඳුන්වාදුන්හ. මේ ආහාර සලාක ක්‍රමය යටතේ සෑම රටවැසියෙකුටම අත්‍යාවශ්‍ය ආහාර සීමිත ප්‍රමාණයක් සතියකට ලැබුණි. එනම් හාල්, සිනී, පරිප්පු, උම්බලකඩ, පාන් පමණක් නොව රෙදි පවා කුපන් ක්‍රමයකට හෝ හාල්පොත් හරහා සෑම පවුලකටම මිලදි ගැනීමට සිදුවුනේ ය. මේ වෙනුවෙන් යොදා ගැණුනේ සමුපකාර ව්‍යාපාරයයි.

උතුරු එංගලන්තයෙ සංවිධානාත්මක කම්කරුවන් 19වන සියවසේ මැද භාගයේ ආරම්භ කළ ‘කෝපරේටිව්’ ක්‍රමයේ දුර්වල කොපියක් වූ මේ සමුපකාර ව්‍යාපාරය පසුගිය සියවසේ 4 වන දශකයේ පටන් 8 වන දශකය දක්වා වසර 40 කට අධික කාලයක් ලංකාවේ ජන ජීවිතය මෙහෙයවමින් හා පාලනය කරමින් සිටියේ ය.

මේ සියල්ලේ සැබෑ හේතුව වූයේ දෙවන ල ලෝක යුද්ධයේ දී සිදුවූ අති විශාල ජීවිත හා දේපොල විනාශයයි. බ්‍රිතාන්‍ය යටත් විජිතයක් වූ ලංකාවට ද දෙවන ලෝක යුද්ධයේ පවු ගෙවීමට බල කෙරුණි. එහෙත් මේ “අඳුරු යුගයේ ද” වාසනාව උදාකරගත්තෝ වුහ. ඒ සවදේශීක නිෂ්පාදකයන් නිර්මාණකරුවන් වූ විශ්ව කුලය වැනි වංශවතුන් ය.

සිංහල විශ්ව කුලය

සිංහල විශ්ව කුලයේ ඉතිහාසය ‘බෙංගාලි විජය කුමාරගේ’ දෙවැනි විවාහය දක්වා ඈතට යන්නේ ය. කුවේණිය දරු දෙදෙනා සමඟ නෙරපු ‘විජය කුමාරගේ’ දෙවැනි මෙහෙසිය ගෙන්වා ගන්නේ දකුණු ඉංදියාවේ පාන්ඩ්‍ය දේශයෙන් ය. මහාවංශය අනුව මේ පාන්ඩ්‍ය කුමාරිකාව කැටුව පවුල් දහසක් මෙරටට සංක්‍රමණය විය. මේ පිරිවරට ශිල්පී කුල 18ක් ද ඇතුලත් විය.

අපට වාර්තාගත ඉතිහාසයේ දෙවැනි ඉංදිය ශිල්පී කුලවල සංක්‍රමණය සිදුවන්නේ දේවානම්පිය තිස්ස යුගයේ ය. සංඝමිත්තා මෙහෙණිය ශ්‍රී මහා බෝධියේ දකුණු ශාඛාවක් ගෙන මෙරටට ගොඩ බසිද්දි බෝධිය ආරක්ෂා කිරීමට ශිල්පී කුල ද රැගෙන ආවෝය. සිංහල බෝධි වංශය අනුව මේ ශිල්පී කුල අතර, ලෝකුරු, කුම්ඹුරු, හා ස්වර්ණකාරවරුන් ද විය.

සිංහල විශ්ව කුලයේ නිර්මානකරුවෝ කරනා කර්මාන්ත අනුව මෙසේ විශේෂඥභාවයන් ලබා සිටියහ. ඔවුහු නම් අචාරි [යකඩ] බඩාලුවෝ [රිදී කර්මාන්ත], වඩුවෝ [ලී වැඩ] ලියන වඩුවෝ, ගල් වඩුවෝ, හී වඩුවෝ, සිත්තර වඩුවෝ, ස්වර්ණකාරයෝ, යමන් වඩුවෝ [යකඩ උණු කරන්නෝ] ලෝකුරුවෝ [තඹ සහ පිත්තල] ගල්වඩුවෝ, හී වඩුවෝ හා අයත් වෙති.

සිංහල ජනප්‍රවාද අනුව නවන් දන්නා යනු නව නිර්මාණ නවයක් දන්නා නිසා ලැබූ ජන ගෞරව නාමයකි.විවෘත ආර්ථිකය මේ රටේ දී නිෂ්පාදන වියදම අධික නිපැයුම් වෙනුවට ලාභ විදේශිය නිෂ්පාදන සොයා යද්දී විශ්ව කුලය වැනි ප්‍රවේනියෙන් නව නිෂ්පාදනයන් යොමුවන ජන කංඩායමකට උන්හිටිතැන් අහිමිවිම අරුමයක් වේ. යටත් විජිතවාදයෙ පෙරළියෙන් ගහෙන් වැටුණු විශ්ව කුලයට විවෘත ආර්ථිකය නැමති ගොනා ඇන්නේ යලිත් නැඟිටින්න බැරි වෙන්නට ය.

එල්.ටී.ඊ.ඊ. සහ දෙමළ විශ්වකර්මයෝ

හින්දු පුරාණෝක්ති අනුව ලෝකය නිර්මානය කලේ විශ්වකර්ම දෙවියන් ය. ඔහුට දරුවෝ පස් දෙනෙකි. ඔවුහු මනු [යකඩ] මායා [ලී] ට්වස්ත්‍රා [තබ සහ පිත්තල] සිල්පී [ගල්] විස්වාජ්න [ රන, රිදී හා ස්වර්ණාභරණ] නිර්මාන කලාවන් හී ආරම්භයෝය. බොහෝවිට ආසියාවේ මේ කර්මාන්තකාර කුලය පැවතෙන්නේ එකම මුලයකින් විය යුතු ය. නූතන යුගයේ මේ විශ්වකර්මයන්ගෙන් වැඩිපුරම වැඩ ගත්තේ ඊළාම් සටන්කරුවන් ය.

මුල් යුගයේ දෙමළ කොටි සංවිධානය යුද්ධ කලේ ඉංදියානු රෝ ඔත්තු සේවය සැපයු ආයුධ හා ලංකා රජයේ හමුදාවලින් පැහැරගත් ආයුධවලින් ය.

තෙවන ඊළාම් යුද්ධය එනම් ඉංදියානු හමුදා 1990 වේ මාර්තුවේ මේ රටෙන් පිටවූ පසු කොටි සංවිධානය තමන්ගේම ආයුධ නිෂ්පාදනය කරන්නට පටන් ගත්තේ ය. ඊළාම් යුද්ධයේ දි පළමුව ආර්.පී.ජී. අවි භාවිතා කලේ කොටි සංවිධානය්‍යි. සොල්දාදුවෙකුගේ කරමත තබා යුද්ධ ටැංකි ඉල්ලක්ක කර යැවෙන රොකට් අවිය විදීනේ ආර්.පී.ජී තුවක්කුවකිනි.

මේ අවිය හා රොකට්ටුව යන දෙකම යාපනයේ දී කොටි සංවිධානය තනා ගත්තේ ය. ප්‍රකට ‘බබා’ මෝටාර් අවිය ද යාපනේ දී සවදේශික තාක්ෂණයෙන් නිපදවා ගැණුනි. [මේ අවි කම්හල් ලියුම්කරු යාපනයේ දී සියැසින් දැක ඇත] ඔවුන් රජයේ හමුදාවලට බලවත් හානි ගෙනදුන් බිම්බෝම්බ හා ජොනී බට්ටෝ ද සිය සමාජිකයන් ලවාම නිපද වූහ. මේ එල්.ටී.ටී. ඊ. තාක්ෂනයේ උපරිම උත්සාහය වුයේ සබ්මැරින් තැනීමය.

ඔවුහු මේ වෙනුවෙන් ප්‍රාථමික නිෂ්පාදන ගණනාවක්ම තැනු බව පුදුමාතලන් හමුදා කඳවුර ඉදිරියේ ඇති “කොටි ආයුධ කටුගේ” දැක ඇති කෙනෙකුට මේවා අලුත් විස්තර නොවේ. එහෙත් මෙහි සැඟව ඇති සැබෑව කුමක් ද?

ඊළාම් යුද්ධට මුහුණ දිමට රජයේ හමුදා තමන්ට අවශ්‍ය අවි චිනයෙන්, දකූනු අප්‍රිකාවෙන් හා පාකිස්තානයෙන් එන තුරු බලා සිටිද්දී සතුරු වූ කොටි සංවිධානය තමන්ගේම අවි නිපදවා ගැනීමේ සවාධීන්නත්වයයි. ඊලාමයේ මේ රහස රැඳී තිබුනේ දෙමළ කම්මලාර් හෙවත් විශ්වකර්ම කුලය තුලය.

යාපනයේ තිබූ කම්මල් නමින් හැඳින්වෙන ‘කම්මලාර් කුල වැඩපොලේ’ කාර්මිකයන්ට ලවා මුල් යුගයේ ‘පොඩි පොඩි ආයුධ’ තනවාගත් කොටි සංවිධානය පසුව මේ විශ්වකර්මයන් විශේෂඥ සේවාවක් ලබා ගත්තේ ය. මේ වගකීම හරියටම ‘ප්‍රාථමික් කම්මලෙන්’ පසුව නවීන අවි නිපදවන කම්හල් දක්වා ව්‍යාප්ත විය. මෙයින් පෙන්නුම් කෙරෙන්නේ විශ්වකර්ම හෙවත් නවන්දන්නා කුලය ස්වාධීන නිර්මානකරුවන් කළ විට කොතෙක් දුර ගමන් කරන්නේ ද යන කාරනයි.

මේ වෙනුවෙන් කොටි සංවිධානයට බලවත් වාසියක් ලැබී තිබුනි. භාන්ඩ තහනම හා නැව් නොතිබුනු යුගයේ අවශ්‍ය ආයුධ නිෂපාදනය කර ගැනීම හැර වෙනත් විකල්පයක් දෙමළ සටන්කරුවන් ට නොවීය. මේ තහනම යටතේ කොටි සංවිධානය සෙසු කුල ජනයා දිනා ගැනීමට කුල භේදය අනුව වෙනස් කිරීම තහනම් කලේ ය.

කෙනෙකුට තමා අයත් ‘කුල නාමයෙන්’ ඇමතීම රුපියල් 50 දඩයක් නියම කෙරෙන වරදක් විය. කුලය මත කෙරෙන එබඳු හිංසා හා වෙනස්කම් ඊළාම් උසාවිය නඩු නිමිත්තක් කෙරුනේ ය. මේ නිසා දෙමළ විශ්ව කුලය පමණක් නොව සෙසු කුල ද එල්.ටී.ටී.ඊ පාලන ප්‍රදේශය තුල නව ජවයකින් ජීවත් වූහ. එයින්ම ඔවුහු වඩාලාත් නිර්මාණශිලීන් බවට පත් කෙරුණි.

ඇල්දෙනියේ ගල්ලද්දා අලංකාරය

විශ්ව කුලයේ හැකියාවන් ගැන ලියද්දී ඉතිහාසයේ අගනා උදාහරණයක් අපට සිහිපත් වේ. 15 වන සියවසේ ලියැවුණු ‘මුක්කර හටන’ නම් යුධ වාර්තාවක් සිංහල සාහිතයයේ ඇත්තේ ය. ශ්‍රී පරාක්‍රමබාහු රජු දවස රාජ සභාවේ වාර්තාවක් හැටියට මෙය රචනා විය. එදැවැස ‘මුක්කරු’ නම් ප්‍රචන්ඩ හමුදාවක් හලාවත ආසන්න භූමිය ආක්‍රමණය කර මුතුපර සහිත ප්‍රදේශය අල්ලා ගත්තේ ය.

මේ ‘මුක්කරු’ පරාජය කිරීමට ශ්‍රී පාරක්මබාහු රජු දකුණු ඉංදියාවේ විශාක පට්ටනම්, නාගපට්ටනම් ඇතුළු නගර කීපයකින් හමුදා කැඳවා ගත්තේ ය. මේ හමුදාවන්ට යුද්ධ කාර්‍ය පවරද්දී ඔවුහු ‘ඊයම් ගැනීමට’ මුදල් ඉල්ලා සිටිති. මේ ඊයම් ගැනිමට මුදල් ඉල්ලීම මහාචාර්‍ය ගණනාථ ඔබේසේකර වැනි උගතුන් විස්තර කරන්නේ ‘පෘතුගීසීන්ට පෙර ලංකාවේ තුවක්කු’ තිබූ බවට සාක්ෂියක් හැටියට ය. මහාචාර්‍ය ඔබේසේකරට අනුව පෘතුගීසින් ඒමට පෙර අරාබි වෙළෙන්ඳන් ලංකාවට ගෙනා යුරෝපීය තුවක්කුව මේ රටේ ශිල්පීන් ප්‍රතිනිර්මානය කරන්නට ඇත.

බෙදු ඇන්න තැනූ බොන්දිකුලා වැඩෙන් ජය ගත්තේ
සැදූ දෙසීයක් තුවක්කු තිස් දවසට දුන් වැත්තේ
එදා සිටන් පැවති නවන් දන්න සපන් අය නිත්තේ
මෙදා තමයි ඇල්දෙනියේ මිතුරගෙ වග දැන ගත්තේ
[ඇල්දෙනියේ ගල්ලද්දා අලංකාරය, 41 කවිය ]

ලංකාවේ මේ තුවක්කු නිෂ්පාදනය සිදුවූයේ විශ්ව කුල ශිල්පීන් අතින් බවට බලවත්ම සාක්ෂිය දෙන්නේ මහනුවර රජවාසලේ කවියෙක් වූ ‘කිරිමැටියාවේ’ කිවිඳුය. ලංකාවේ කුලවත් ප්‍රභූවරයෙක් නොවන කෙනෙක් වෙනුවෙන් ලියැවෙන මුල්ම් ‘අලංකාර කාව්‍ය’ රචනා කලේ කිරිමැටියාවේ කිවිඳුය. ‘ඇල්දෙනියේ ඇගල්ලද්දා අලංකාරය’ නම් වූ එම කාව්‍යයේ එකම පිටපත දැනට තිබෙන්නේ ලංඩනයේ බ්‍රිතාන්‍ය පුස්තකාලයේ ය.

කවි 58 කින් සමන්විත මේ කාව්‍ය කිරිමැටියාවේ රචන්නා කරන්නේ කීර්ති ශ්‍රී රාජසිංහ රජුගේ ඇරයුමෙන් ය. කිත්සිරි රජු රාජකීය තැගී, නම්බුනාම වැලක් මේ ඇල්දෙනියේ ගල්ලද්දාට දීමෙන් සෑහීමකට පත් නොවී රාජකීය කාවියා ලවා ‘අලංකාර කාව්‍යයක්’ ද ලියවන්නේ ය.

මේ සියළු ගරුනම්බු හා තෑගි ඇල්දෙනියේ ගල්ලද්දාට පිරිනැමෙන්නේ එතුමා රජතුමා ලන්දේසීන්ට විරුද්ධව ගෙන ගිය යුද්ධ ව්‍යාපරයට අවැසි තුවක්කු 200ක් දින තිහක් ඇතුලත නිසි වේලාවට තනා දිමේ ගෞරවය වෙනුවෙනි.

විසිවෙනි සියවසේ දී ද අපිට ඇල්දෙනියෙන් නොව ගාලු ප්‍රදේශයෙන් මේ වංශයේම උපන් ගල්ලද්දෙක් නොව මහා ඉංජිනේරුවෙක් හා අනාගත දැක්මක් තිබූ නායකයෙක් හමුවෙයි. ඒ දේවපුර ජයසේන විමලසුරෙන්ද්‍රය.

ලංකාවේ ජල විදුලියේ පියා විමලසුරේන්ද්‍රය. ඔහුගේ ජීවිත කතාව සොයන ඔබට යටත් විජිත පාලනයක් තුල මේ වංශිකයෙක් උපන් බිමට සේවය කීරීමට දැරූ උත්සාහයත් එය යටත් විජිතවාදය හරස් වූ ආකාරයත් සොයා ගැනීමට පුළුවන. අවසානවකට තෙලිඟු නායක්කර් වංශික කිත්සිරි රජු ඇල්දෙනියේ ගල්ලද්දාට දුන් නම්බුනාම දුසිමෙන් එකකවත් නිදහස් ලංකාව විමලසුරේන්ද්‍රට නුදුන්නේ ය.

විජිතවාදය හා විශ්ව කුලය

බ්‍තාන්‍ය යටත් විජිත වාදයේ ප්‍රධානම ආර්ථික ප්‍රතිපත්තියක් වූයේ ’විජිතවලින් අමුද්‍රව්‍ය ගෙන යාම හා නිමි භාන්ඩ ඒවාට අලෙවි කිරීම’ ය. විජිතවලට වෙනත් රටවල නිෂ්පාදන අලෙවි කිරීම එක්කො තහනම් විය, නැතිනම් අධික බදු ගෙවීමට නීති ඇටවුනේ ය. මෙහි එක් බලවත් බලපැමක් වූයේ යටත් විජිතයේ මැද පංතිය විදේශිය නිෂ්පාදනම මිලදී ගැනිමය.

දේශීය නිර්මාපකයන් දිළින්ඳන් වී කර්මාන්ත අත්හැර දැමූහ. නිදහස් සටනකින් නිදහස දිනූ ඉංදියාව වැනි රටක් රටේ වෙළඳ පොල වසා දේශිය කර්මාන්තවලට වැසු වෙළඳපොලක් විවර කර දුන්නේ ය. නිදහස දිනා ගැනීමේ දීත් දේශීය නිෂ්පාදකයා ආරක්ෂා කිරීමේ දීත් ලංකාවේ පාලක පංතිය සිට ගත්තේ ඊට ප්‍රතිප්ක්ෂවය. මේ ක්‍රමයෙන් විනාශ වී ගියේ මේ රටේ නව කර්මාන්තයන් හා නව නිපැයුම් කළ නවන්දන්නා වංශයයි.

රටේ පාලක ආන්ඩු සියල්ලම ඇල්පෙනෙත්තේ පටන් දුම් රිය එන්ජින් දක්වා වූ සියල්ල විදේශවලින් ආනයන කිරීමේ ප්‍රතිපත්තියක් අනුගමන කලේ ය. පශ්චාත් යටත් විජිත ලංකාව තුල යටත් විජිත යුගයටත් වඩා දුෂ්කර කාලයක් මේ නවකම් කළ කුලවලට උදා වුණේ ය.

විශේෂයෙන්ම රටේ පැවති රේගු, පොලිස් නීති 1972 පටන් ගන්නා ජනරජ යුගයෙන් පසුවවත් වෙනස් නොකරුනේ ය. නව නිර්මානකරුවන් නොවරදවාම දඩමුඩ, හිරදඬුවම් නියම වුනේ ය.

අපේ මල්හාමි මාමා ද එබඳු ප්‍රතිපත්තිවල ගොදුරක් ය. වාසනාවට මල්හාමි මාමා 1977 දී ලංකාවේ විවෘත ආර්ථිකයේ රඟ නරඹන්නට ජිවත් නොවීය. 1976 අග දී ඔහු “පොලිස් සාත්තුවේ’ බලපැම නිසා අකාලයේ මිය ගියේ ය. 1980 දශකය ආරම්භ වෙද්දී විශ්ව කුලයේ ඇත්තෝ ආර්ථික වශයෙන් රෝගීව දුර්වල වූහ.

නන්දන වීරරත්න

Scroll to Top