Aboutceylon Online

වප් පුර පසළොස්වක පොහොය අදයි

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

වස් සාර මාසයේ අවසාන මාසය ආරම්භ වන්නේ වප් පුර පසළොස්වක පොහොය දිනයෙනි. කඨින චීවර පොහොයෙන් ඇරඹෙන හෙයින් මේ මාසය චීවර මාසය ලෙස ද ව්‍යවහාරයට එක්ව ඇත.

කඨිනය හැර වෙනත් ඕනෑම බෞද්ධ පූජෝත්සවයක් වර්ෂයේ නියම කර ගත් අභිමත් දිනක දී හෝ, වර්ෂයේ කිහිප අවස්ථාවක දී ම හෝ සිදු කළ හැකි ය. එහෙත් කඨින චීවර පූජා පුණ්‍ය මහෝත්සවයක් සිදු කළ හැකි වන්නේ එක් වසරක් තුළ, එක් තැනෙක දී, එක් වරක් පමණෙකි.

දේවාවරෝහණය

සත් වැනි වස් කාලය තව්තිසා දිව්‍ය ලෝකයෙහි ගත කළ බුදුරජාණන් වහන්සේ සංකස්ස නගර ද්වාරයට වැඩම කළේ ද වප් පුර පසළොස්වක පොහොය දිනෙක ය.

එදා මහා පිරිසක් සංකස්ස නගර ද්වාරයට එක්රැස් වූ හ. දිව්‍ය බ්‍රහ්ම සමූහයාගේ පංචතූර්ය වාදනයන් ය. දසත පැතිරුණු සාධු නාදයන් ය. මේ අසිරිමත් සිදුවීම් මැද අප්‍රමාණ බුද්ධ ශ්‍රීයෙන් තථාගතයන් වහන්සේ සංකස්ස නගර ද්වාරයට වැඩම කළහ. ඒ අසිරිය දුටු සියල්ලෝ ම මතු බුදු වන්නට ම ප්‍රාර්ථනා කළහ.

දේවාවරෝහණ නම් වූ මෙම මහා පූජෝත්සවය දැකීමෙන් හා බුදුරදුන් හා සැරියුත් මාහිමියන් අතර වූ ප්‍රශ්න විසඳුම් සාකච්ඡාව ශ්‍රවණය කිරීමෙන් අපමණ ප්‍රසාදයට පත් මෛත්‍රෙය බෝසතාණන් වහන්සේ අප ගෞතම බුදුරජාණන් වහන්සේගේ සසුනෙහි පැවිදි බවට පත් වූයේ ද වප් පොහොය දිනෙක ය.

දූත පිරිසක් දඹදිවට

අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේගේ නියමයෙන් දේවානම් පියතිස්ස රජුගේ සංදේශයත්, තුටු පඬුරුත් රැගෙන ලක්දිව අරිට්ඨ කුමරු ප්‍රමුඛ රාජකීය දූත පිරිසක් දඹදිව පැළලුප් නුවර සිටි ධර්මාශෝක අධිරාජයා වෙත පිටත්කොට හැරියේ ත් වප් පොහොය දිනෙක ය.

එම දුත චාරිකාවෙහි අරමුණ වූයේ සංඝමිත්තා මහරහත් තෙරණිය සිරිලකට වැඩම කරවා ගෙන ලක්දිව පැවිද්ද බලාපොරොත්තුවෙන් සිටි අනුලා දේවිය ප්‍රමුඛ කුල කතුන් සසුන්ගත කරවීම යි.

ථූපාරාම විනය සංගායනාව

අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ ප්‍රමුඛ මහා අරිට්ඨ මහරහතන් වහන්සේ ඇතුලු මහ රහතන් වහන්සේලා සැට අට නමක් දහසක් භික්ෂූන් වහන්සේලා ද සමඟ ථූපාරාම විහාර මධ්‍යයට රැස්වූහ.

එහිදී වප් පුර පසළොස්වක පොහෝ දා විනය සංගායනාව ආරම්භ කළ හ. මෙම ථූපාරාම විනය සංගායනාව පැවැත්වීමට කටයුතු සූදානම් කළේ දේවානම්පියතිස්ස මහ රජු ය.

වස්සාන සමය

දඹදිව සමාජ පරිසරය තුළ ඉතා ඈත අතීතයේ පටන් ම හේමන්ත, ගිම්හාන හා වස්සාන යනුවෙන් වසරකට සෘතු තුනක් පැවතිණි. වසන්ත සෘතුවක් ද මීට එක්කොට ඇතැම් තැනෙක සෘතු සතරක් ලෙස ද දැක්වෙයි.

වස්සාන සෘතුවේ වැසි සාර මාසය අතුරෙන් මුල් මාස තුන තුළ උපසපන් භික්ෂුන් වහන්සේලා වස් සමාදන් ව වැඩ සිටිති. සෑම වසරක ම ඇසළ පොහෝ දා සිට වප් පොහෝදා දක්වා යෙදෙන වස් කාලය සැදැහැවතුන්ගේ පුණ්‍ය කාලය යි.

වස් පින්කම් මාලාව අවසන් වනුයේ කඨින චීවර පූජා පුණ්‍ය මහෝත්වසයෙනි. වප් පුර පසළොස්වක පොහෝ දා සිට ඇරඹෙන කඨින මහා පින්කම් සිදු කළ හැකි අවසාන දිනය වනුයේ ඉල් පුර පසළොස්වක පොහොය දිනය යි.

මෙම මාසය චීවර මාසය ලෙස නම් කරනු ලබන්නේ වසරකට වරක් සිදුකරන කඨින චීවරයන් පූජා කිරීමට අවස්ථාව උදාවන්නේ මෙම මාසය තුළ නිසාවෙනි.

කෙසේ වෙතත් මෙවර කඨින පූජා පිංකම් සෞඛ්‍ය මාර්ගෝපදේශ වලට යටත්ව සිදුකරන ලෙසයි සෞඛ්‍ය අංශ දන්වා ඇත.

Scroll to Top