විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි කණ්ඩායම් 12 අතරට එක් වීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම අද (18) සටන ආරම්භ කරයි.
‘ඒ’ කාණ්ඩයෙන් තරග වදින ශ්‍රී ලංකා පිල අද මෙරට වේලාවෙන් රාත්‍රී 7.30ට නැමීබියාවට එරෙහිව තරග වැදීමට නියමිතය.
ශ්‍රී ලංකාව සහ නැමීබියාව අන්තර්ජාතික ක්‍රිකට් තරග බිමේ හමු වන පළමු අවස්ථාව මෙය වන අතර, තරගයේ වැඩි පීඩනයක් නැමීබියාව දෙසට යොමු තිබේ.
ශ්‍රී ලංකාව, අයර්ලන්තය, නෙදර්ලන්තය සහ නැමීබියාව “A” කාණ්ඩය යටතේද බංග්ලාදේශය, ඕමානය, ස්කොට්ලන්තය සහ පැපුවා නිව්ගිනියාව “B” කාණ්ඩය යටතේද තරඟ වැදීමට නියමිතය.
ඉන් කණ්ඩායම් 4ක් මෙතෙක් සුපිරි 12 දෙනාගේ වටයට සුදුසුකම් ලබා ඇති කණ්ඩායම් 8 හා එක්වීමට නියමිතය.
ශ්‍රී ලංකා පිල පසුගිය තරග කිහිපයේදී ඉනිම ආරම්භ කිරීමට ක්‍රීඩකයන් රැසක් යොදාගත් අතර, මේ තරගාවලියේදී කුසල් ජනිත් සමඟින් පැතුම් නිශ්ශංක ඉනිම ආරම්භ කිරීමට වැඩි ඉඩක් තිබේ. අවිශ්ක ප්‍රනාන්දු අංක 4 ස්ථානයෙන් සාර්ථක වූ බැවින් ඔහු එම ස්ථානයේම ක්‍රීඩා කිරීමට වැඩි අවස්ථාවක් ඇත.
මෙවර ලෝක කුසලානය දිනා ගැනීම සඳහා ඉදිරියෙන් ම සිටින කණ්ඩායම් ලෙස එංගලන්තය, බටහිර ඉන්දීය කොදෙව් සහ ඉන්දියාව ඉදිරියෙන් සිටින බව ක්‍රීඩා විචාරකයෝ පවසති.
ලෝක කුසලානය දිනා ගන්නා කණ්ඩායමට මෙවර අමෙරිකානු ඩොලර් මිලියන 1.6 හිමිවෙයි.
අවසන් තරඟයෙන් පරාජය ලබන කණ්ඩායමට අමෙරිකානු ඩොලර් 800,000ක් හිමිවන අතර අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබන කණ්ඩායමක් වෙනුවෙන් ඩොලර් 400,000ක් බැගින් හිමිවෙයි.
ඕමානයේ පැවැත්වෙන තරඟ නැරඹීමට එන්නත්කරණය සම්පූර්ණ කළ පුද්ගලයින් 3,000කට ක්‍රීඩාංගණයට යෑමට අවසර ලැබෙන අතර එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වෙන තරඟ සඳහා ක්‍රීඩාංගණ 70%ක් දක්වා නරඹන්නන්ගෙන් පිරවීමට අවස්ථාව සලසා දී තිබේ.
ශ්‍රී ලංකාව සහ නැමීබියාව අතර තරගය අද රාත්‍රී 7.30ට සියත ටීවී ඔස්සේ සජීවීව විකාශය කෙරෙනු ඇති.