Aboutceylon Online

සුද්දා හදපු පාලමට මුක්කු ගසයි

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

වසර සියයකටත් වඩා පැරණි බුලත්සිංහල කුඩලිගම උඩෝවිට ගීකියන කන්දවත්ත පාලමේ යකඩ ගරාදි දිරාපත්ව කොන්ක්‍රීට් තට්ටුව ගිලා බැස මාර්ගයේ ගමනාගමනයට බාධා පැමිණ ඇති අතර කඩිනමින් ප්‍රතිසංස්කරණය නොකළහොත් විශාල අනතුරක් සිදු වීමේ අවදානමක් ඇතැයි ප්‍රදේශවාසීහු කියති.

ගීකියන කන්දවත්ත ඇළ හරහා යටත්විජිත සමයේ වතු පාලකයන් ඉදි කර ඇති මේ පාලමේ යකඩ ගේඩර් සහ යකඩ තහඩු දිරාපත්ව මේ වන විට පාලමේ පැත්තක කොන්ක්‍රීට් තට්ටුව ගිලා බැසීමෙන් බර වාහන ගමනාගමනය නතර කර තිබේ.

පාලමේ කොටසක් ගිලා බැස තිබීම හේතුවෙන් ප්‍රදේශවාසීන් එක්ව ලී මුක්කු ගසා පාලම ඇළට කඩා වැටීම නතර කර ඇති අයුරු දැකගත හැකිය.

බුලත්සිංහල ප්‍රාදේශීය සභාවට ප්‍රදේශයේ පළාත් පාලන ආයතන නියෝජිතයන්ට මේ බව කොතෙක් දැනුම් දුන්නද පාලම ප්‍රතිසංස්කරණය නොකළ බවද ඔවුහු කියති. බස්නාහිර පළාත් මාර්ග සංවර්ධන අධිකාරිය සතු මේ මාර්ගයේ පාලම ගිලා බැසීම හේතුවෙන් හොරණ ඩිපෝවෙන් ධාවනය කෙරුණු බස් රථය ද නතර කර දමා තිබේ. මේ හේතුවෙන් ප්‍රදේශයේ ජනතාවට සැතපුම් හත අටක් පයින් යෑමට සිදුව ඇත.

මේ පිළිබඳ ප්‍රදේශවාසීහු මෙසේ අදහස් දැක් වූහ.

උඩෝවිට ජයරත්න මහතා,

“පාලම අබලන් නිසා මේ පැත්තෙ මිනිස්සු මහමඟට වැටිලා. දේශපාලනඥයන් නම් ඕනෑ තරම් ඉන්නවා. ගුවන් පාලම්, කාපට් පාරවල්, කොන්ක්‍රීට් පාරවල් හදනව කියනවා.

නමුත් ගමේ මිනිස්සුන්ට තේ දලු ටික, රබර් ටික නගරයට ගෙන යන පාර හදන්න කෙනෙක් නෑ. මේ පාලම සුද්දගෙ කාලෙන් පස්සෙ හදල නෑ. පාලමේ පැත්තක් කඩා වැටිල මාසෙකට වැඩියි. ප්‍රාදේශීය සභාව හෝ පාර්ලිමේන්තු මැති ඇමතිලට මේ ගැන දැනුම් දුන්නත් තාම එයාල පාරට බැස්සෙ නෑ.”

ටෙරන්ස් කුඩලිගම මහතා,

“මේ පාලම ගිලා බැසීමෙන් කුඩලිගම, නෑබඩ, ඉහළ කුඩලිගම, උඩෝවිට ඇතුළු ප්‍රදේශ රැසක ජනතාව අපහසුතාවට පත්වෙලා. රාජ්‍ය සහ පෞද්ගලික කර්මාන්තශාලාවලට යන විශාල පිරිසකට හැතැප්ම හය හතක් දිනපතා පයින් යන්න සිදු වෙලා.

මතුගමට, අගලවත්තට, නෑබඩට අඟුරුවාතොට, හොරණ වගේ නගරයකට යන්න පැය ගානක් පයින් යන්න වෙලා තියෙනවා. මේ පාලම හදල දෙන්න කියල වගකිවයුතු හැම දෙනාටම දන්වල තියෙනවා. නමුත් තාමත් පාලම මුක්කු උඩ.”

පී. සෝමරත්න – මීගහතැන්න සමූහ

Scroll to Top