ලංකා ලොකු ලූනු යැයි පවසා අඩු මුදලට ගත් ලූනු බීජ ව්‍යාජ ඇසුරුම්වල දමා වැඩි මුදලට අලෙවි කිරීම හේතුවෙන් ලොකු ලූනු ගොවීන් කබලෙන් ළිපට වැටී ඇති බව පවසමින් පසුගියදා ගලෙන්බිඳුණුවැව නගරයේ ගොවීහු පිරිසක් උද්ඝෝෂණයක නිරත වූහ.
අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගලෙන්බිඳුණුවැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ දුටුවැව පෙරුට්ටුපොලගම, දුටුවැව 11 සහ 12 කොටස, ගැටලාව, හුරුලුගම, කිවුලේකඩ, ඇතුළු ගම්මාන රැසක් වී වගාවට දෙවන නොවන පරිදි පසුගිය යල කන්නයේ ලොකු ලූනු වගාව සිදු කර ඇත්තේ දැනට මාස හතරකට පමණ ඉහතදීය. ඉහත ගම්මානවල ලොකු ලූනු වගාව පිළිබඳ ඇති වසර 25ක පමණ අත්දැකීමත් සමඟ මෙවර ද ලොකු ලූනු වගාව කළ බව උද්ඝෝෂණයේ නියැළි ගොවීහු පවසා සිටියහ.
සෑම වර්ෂයකම ස්වාභාවික විපතක් හැරෙන්නට ලොකු ලූනු වගාවෙන් සාර්ථක අස්වැන්නක් නෙළන දුටුවැව, පෙරටුපොලගම ඇතුළු ගම්මාන රැසෙහිම ලොකු ලූනු ගොවීන් මේ තත්ත්වයට පත්කර ඇත්තේ ගලෙන්බිඳුණුවැව කෘෂිකර්ම උපදේශන කාර්යාලයේ නිලධාරීන් පිරිසක් බව ද ඔවුහු කියා සිටිති.
ගලෙන්බිඳුණුවැව යල කන්නයේ ලොකු ලූනු වගාවට මැදිහත් වූ නිලධාරීන්ට චෝදනා නඟමින් ගලෙන්බිඳුණුවැව නගරය මැදින් ආරම්භ කළ විරෝධතාව විනාඩි 20කට ආසන්න කාලයක් පැවතිණි. ඔවුහු විවිධ සටන් පාඨ කියමින් විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් උද්ඝෝෂණයේ නිරත වීමෙන් අනතුරුව ගලෙන්බිඳුණුවැව කැකිරාව ප්‍රධාන මාර්ගය ඔස්සේ ගලෙන්බිඳුණුවැව ප්‍රාදේශීය ලේකම් කර්යාලයට පැමිණ එම කාර්යාලයේ ගේට්ටුව ඉදිරිපිට ද උද්ඝෝෂණයේ නිරත වූහ.
අනතුරුව ගලෙන්බිඳුණුවැව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ බලධාරීන් එම ස්ථානයට පැමිණ ගැටලුව විමසා සිටි අතර විරෝධතාකරුවන් තම ගැටලුව වාචිකව හා ලිපියක් මඟින් ඉදිරිපත් කරමින් කියා සිටියේ මේ පිළිබඳ දිස්ත්‍රික් ලේකම් මැදිහත් කර දෙන ලෙසටයි. ඒ අනුව ගලෙන්බිඳුණුවැව සම්බන්ධීකරණ කමිටුවට පැමිණ සිටි දිස්ත්‍රික් ලේකම් හමුවීමට විරෝධතාකරුවන්ට අවස්ථාව උදා විය.