බිබිල ගල්ගමුව ප්‍රදේශයේ කිරිඔරුව වැව ඉදි කර වසර 17ක් ගත වී ඇති අතර ගොවිබිම්වලට ජලය සැපයීමට ඇළ මාර්ග ඉදි නොකිරීම හේතුවෙන් අක්කර සිය ගණනක වෙල් යායවල් මුඩුබිම් බවට පත්ව ඇතැයි ගොවීහු පවසති.
ඌව පළාත් සභාවේ වාරිමාර්ග අමාත්‍යාංශය මඟින් ‘ජෙබික් ආධාර’ යටතේ 2003 වසරේදී කිරිඔරුව වැව ඉදි කර තිබේ. 2003 වසරේදී වැව ජනතා අයිතියට පත් කළත් අක්කර සිය ගණනක ගොවිබිම්වලට ජලය ගෙන යෑමට ඇළ මාර්ග මෙතෙක් ඉදි කර නැති බවටත් වැව ඉදි කිරීමට පෙර තිබූ ඇළ මාර්ගයත් කැලෑවෙන් වැසී ගොස් ඇති බවටත් ඔවුහු චෝදනා නඟති.
මේ පිළිබඳව රතුගල ආදිවාසි නායක සුදා වන්නිලැත්තෝ මෙසේ පැවසීය.
ගල්ගමුවට වැවක් හැදුවා වතුර ගන්න බෑ. නිලධාරීන්ට කියලා වැඩක් නෑ. අක්කර සිය ගණනක ඉඩම්වලට වගා කරන්න වතුර නැතුව පුරන් වෙලා. ගම්මානයම වේළෙනවා.
ඩබ්.එම්. සිරිවර්ධන මහතා,
ගමේ ගොවීන්ට අවශ්‍ය සංවර්ධනයක් ගමට ලැබෙන්නේ නෑ. නිකරුනේ රටේ මුදල් වැය කරාට ජනතාවට වැඩක් නෑ. ගමේ අපි හැමදාම අසරණයි. නිලධාරීන් ගමට ඇවිත් අපේ අවශ්‍යතා සොයා බලන්න.
බී.එම්. ගුණවර්ධන මහතා,
ගොවිතැනින් ජීවත් වන රතුගල, ගල්ගමුව සහ නෙල්ලියද්ද ප්‍රදේශවල ජනතාවට වතුර ටිකක් දුන්නා නම් ඒ ඇති. අපි ආණ්ඩුවට කියන්නේ වගා භූමියට හරියට වතුර ටික දෙන්න කියලයි. කොන්ත්‍රාත් කරන්න කැලේ වැව් හදලා වැඩක් නෑ.
මේ වැව පිළිබඳව අදාළ බලධාරීන්ගෙන් තොරතුරු විමසීමට උත්සාහ කළ ද කිසිදු රාජ්‍ය නිලධාරියකු සම්බන්ධ කර ගැනීමට ද නොහැකි විය.