Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

විෂ කාබනික පොහොර අපට එපා

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

දැනට චීන සමාගමක් වෙතින් ලැබී ඇති කාබනික පොහොර සාම්පල විෂ සහිත බව සනාථ වීම හා එවන් තත්වයක එම පොහොර තොගය අනයනය කිරීමට රජය ගෙන තිබෙන තීරණය සම්බන්ධව අප සංසදයේ දැඩි කණස්සල්ල ප්‍රකාශ කිරීමයි

ශ්‍රී ලංකා කෘෂි ව්‍යවසායකයන්ගේ සංසදය (SLAF) වනාහී වගාකරුවන්, ගොවිජන සංවිධාන, බෝග නිෂ්පාදනවලට අගය වැඩි කරන සමාගම්, වැවිලි විශේෂඥයින් සහ අදාල වියතුන්, විද්‍යඥයින්, කෘෂි නිෂ්පාදන දේශීය හා විදේශීය වෙළඳපළවලට යොමු කරන්නන්, කෘෂි යෙදවුම් සපයන්නන් සහ කෘෂි ආයොා්ජකයන් පශූ ගොවින් ආදීන් නියෝජනය කරන පුරෝගාමී ලාංකික කෘෂි ව්‍යාපාර සංසදයකි.

මේ අනුව අප සංසදය ශ්‍රී ලංකාවේ බෝග වගාවේ සියලුම අංශවල නියැලෙන කෘෂි සමුහයාට අගනා සේවයක් ලබා දෙයි. මෙයට අමතරව ලංකා කෝපි සංගමය වැනි අනෙකුත් ක්‍ෂේත්‍රවලටද අප සංසදය සහයෝගය දක්වමින් කෘෂි ක්‍ෂේත්‍රය හා සම්බන්ධ සියලුම සංවිධාන ආවරණය කරයි.

දැවැන්ත ජාතික වැදගත්කමක් ඇති කරුණක් කෙරෙහි අවධානය යොමු කිරීමට අපගේ සංසදය මෙය අවස්ථාවක් කර ගනී. මෙම කාරනාව විෂ සහිත අපවිත්‍රවු කාබනික පොහොර තොගයක් ආනයනය කිරීමට රජය තැත් කිරීම පිළිබඳවයි.

කෘෂිකර්ම අමාත්‍යාංශය හා ජාතික බෝග නිරෝධායන සේවාව නිල වශයෙන් ප්‍රකාශ කර ඇත්තේ චීනයෙන් ගෙන්වන ලද කාබනික පොහොර සාම්පලයෙහි ග්‍රෑම් සෘණාත්මක හා ග්‍රෑම් ධනාත්මක බැක්ටීරියා මෙන්ම ලැයිස්තුගත කර ඇති හානිකර රෝග කාරක සඳහා පරීක්‍ෂාවට ලක් කර එයට ධණාත්මක ප්‍රතිඵල ලැබුනු බවයි.

ග්‍රෑම් බැක්ටීරියා යනු මනුෂ්‍යයන් මෙන්ම ශාකවලටද විවිධ රෝග ඇති කළ හැකි ක්‍ෂුද්‍ර ජීවි වර්ගයකි. එවැනි රෝග කාරක සහිත ද්‍රව්‍ය්ය පරිහරණය කරන විට පුද්ගලයන්ට එමගින් හානි ඇති කළ හැකි අතර මෙම අනතුරුදායක බැක්ටීරියා විශේෂය නිසා අපගේ ජල මුලාශ්‍ර දුෂිත වීමේ අවදානමද පවතියි.

කාබනික පොහොර ඇතුළු ඕනෑම පොහොර වර්ගයක් ආනයනය කිරීම සම්බන්ධයෙන් ජාතික පොහොර ලේකම් කාර්යාලයේ (NFS)   මාර්ගෝපදේශ සහ නිර්දේශ ඉතා පැහැදිලිය.

එනම් ශ්‍රී ලංකාවේ ප්‍රමිති ආයතනය (SLSI)   මගින් හෝ එම ආයතනය නිර්දේශ කරන පරීක්‍ෂණාගාරයකින් එම නියැදි ලාංකික භෞමික සීමාව තුල රස පරීක්‍ෂාවට ලක් කළ යුතුය. සාම්පලවල කිසිදු ගැටලුවක් නැත යැයි පරීක්‍ෂණවලින් සනාථ වු විට එය වාණිජමය පරිමාවෙන් ආනයනයට කිරීමට අදාල ආනයනකරුට අවසර ලැබෙනු ඇත.

එනමුත් එම පොහොර වර්ගය ආනයනය කළ පසුවද එහි සංශුද්ධතාවය සහ ගුණාත්මකභාවය තහවුරු කර ගැනීම සඳහා අහඹු පරීක්ෂණද විටින් විට සිදු කරනු ඇත.

එනමුත් චීනයෙන් ගෙන්වන ලද ඉහත සඳහන් සාම්පල විෂයයෙහි ඇතැම් අක්‍රමිකතා සිදුව ඇති බව අප සංසදයට නිරීක්‍ෂය වී ඇත.
සියල්ලට ප්‍රථම ජාතික පොහොර ලේකම් කාර්යාලයේ නිර්දේශ කිසිවක් මෙම නියැදි ආනයනය විෂයයෙහි අනුගමනය කර නොමැත.

කෘෂිකර්මාන්ත අමාත්‍යාංශයේ රීතින් අනුව ගෙන්වනු ලබන පොහොර සාම්පල රස පරීක්‍ෂා යහපත් වුවද ඒ අනුව දිවයිනට ගෙන්වීමට අනුමැතිය දෙනු ලබන වාණිජ පරිමාණ පොහොරද විටින් විට අහඹු ලෙසින් පරීක්‍ෂාවට ලක් කරනු ලැබේ.

එවන් අහඹු පරීක්‍ෂා නොකරනු ලබන්නේ නම් ආගන්තුක හා හානිකර බැක්ටීරියා නිසා පෙර සඳහන් කළ පරිදි මිනිසුන්ට හා බෝගවලට මෙන්ම අපගේ දේශීය ජල මුලාශ්‍රවලටද ස්වාභාවික පරිසර පද්ධතියටද ආපසු හැරවිය නොහැකි දරුණු හානි ඇති විය හැකිය. මෙය විශේෂයෙන් අපගේ වගා ක්‍ෂේතයට දැවැන්ත ව්‍යසනයක් අති කරන්නටද ඉඩ ඇත.

දෙවනුව උක්ත පොහොර වර්ගය විෂ සහිතය යන නිල පිළිගැනීම තිබෙන විටම මේ විෂයයෙහි ප්‍රමාණවත් විනිවිදභාවයක් හෝ අවශ්‍ය තරම් අදාල පාර්ශවකරුවන් සම්බන්ධ කර ගැනීමක්ද සිදුවී නොමැත.

ලබා දී ඇති තොරතුරුද අප්‍රමාණ හා ව්‍යාකුල බව වෙසෙසින් සඳහන් කළ යුතුය. මෙලෙසින් මානව හා බෝග සෞඛ්‍යය මෙන්ම පරිසර ආරක්‍ෂාව සම්බන්ධ වැදගත් රීතින් නොසලකා ඉහළින් යාමට මෙම ආනයනය විෂයයෙහි අදාල බලධාරීන් ගෙන ඇති අවිචාරවත් පියවර මුළු රටේම වැසියන්ට හා පරිසරයට විශාල අහිතකර බලපෑමක් ඇති කළ හැකිය.

විශේෂයෙන් ජීවනෝපාය වෙනුවෙන් අප රටේ ජනගහණයෙන් 30 % ක්ම සෘජුව හා වක්‍රව සම්බන්ධ වී සිටින්නේ කෘෂි කර්මාන්තයට හෙයින් මෙවන් අදුරදර්ශී ක්‍රියාවක් නිසා ඇති විය හැකි හානිය කිහිප ගුණයකින් වැඩි වනු නිසැකය.

තෙවනුව, ඉහත සඳහන් නිල නිවේදනයට අනුව මෙම පොහොර සාම්පලය පරීක්‍ෂාවට ලක් කර ඇත්තේSLSI ආයතනයේ නව නිර්දේශයකට අනුව චීනයේ පිහිටි රසානාගාරයක් මගින්ය.

මෙතුවක් කල් දේශීයව පිළිගැනීමට ලක්ව තිබුනු ක්‍රියාමාර්ගයක් වටා යමින් අනුගමනය කර ඇති නව පිළිවෙත අනතුරුදායක පුර්වාාදර්ශයක් ලබා දීමේ අවදානම බැහැර කළ නොහැකිය.

ආනයනකරුවන් විසින් ඉදිරිපත් කර ඇති සැකසහිත හා විදේශයක තිබෙන විශේෂයෙන් එම පොහොර නිෂ්පාදනය රටේම පිහිටි රසානාගාරයක වාර්තා මත පමණක් විශ්වාසය තබමින් මෙවන් දේශීය වැදගත්කමක් ඇති ද්‍රව්‍යයකට රට තුලට පිවිසීමට ඉඩ දීම අතිශය අනතුරුදායකය.

උක්ත ඊනිසා චීන රසායනාගරය ස්වාධීන රසායනාගරයක්ද සහ මෙවන් පරීක්‍ෂා සිදු කර සහතික නිකුත් කිරීමට නිසි අවසර ලැබු එකක්ද යන දැඩි සැකයක්ද අප සංසදයට තිබේ.

ලාබ ලැබීම මුලික අරමුණ විය හැකි ආනයනකරුවන් විසින් ඉදිරි්පත් කරනු ලබන මෙවන් දුෂමාන රසායන වාර්තා පිළි ගැනීමේ හා පසුව එම සාම්පල දුෂිත යැයි නිල වශයෙන් පිළිගෙන එයින් පසුවද එම පොහොර වර්ගය විශාල වාණිජ ප්‍රමාණයකින් එනම් ටොන් 96000 ක් ගෙන්වන්නට අවසර දෙන අදාල බලධාරීන්ගේ ආකල්පය අපට සැබවින්ම ප්‍රශ්නසහගතය.

මේසා දැවැන්ත ප්‍රමාණයක් ගෙන්වන්නට අවසර දී ඇත්තේ කිලෝ කිහිපයක් පමණක් පරීක්‍ෂා කිරීමෙන් අනතුරුවය හා එහි අපවිත්‍රතා තිබෙන බව සනාතවී තිබියදීය.

එනිසා ඝන කාබනික ද්‍රව්‍ය පරිපාලනය වන ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ අංක 1704 සම්මතයට අනුව උක්ත පොහොර වර්ගයෙහි කිසිදු බැක්ටීරියා හෝ වෙනත් ජීවමය විශේෂයක් නොමැති බව තහවුරු වන තෙක් මෙම ආනයනය සඳහා අනුමැතිය ලබා දීම කිසිසේත් සංවේදී හෝ දේශ හිතෛෂී කටයුත්තක් නොවනු ඇත.

එවන් දැවැන්ත හානි සිදු වු පසු වග කිව යුත්තන් එක්කෝ ගොළු වීම හෝ රහත් වීම මෙම අවාසනාවන්ත දේශය අතීතයේ බොහෝ අවස්ථාවල දැක ඇත.

එම නිසා අවශ්‍ය කරුණු කාරනා තහවුරු ගන්නා තෙක් උක්ත පොහොර තොගය ආනයනය කිරීමට අවසර නොදිය යුතුය යැයි රජය වෙතින් අප සංසදය තරයේ ඉල්ලා සිටියි. විෂය භාර අමාත්‍යවරයා විසින් නිකුත් කරනු ලබන ඇස් බැන්දුම් මාධ්‍ය නිවේදන පමණක් මේ සඳහා ප්‍රමාණවත් වන්නේ නැති බවද උදක් කියනු කැමැත්තෙමු.

එමෙන්ම මෙම කරුණ හා සම්බන්ධ වන්නට අප රටේ කෘෂි විද්‍යා සමුහයා දක්වන පැකිලීමද අපගේ කුකුස උත්සන්න කර ඇත. අදාල සාම්පලය අපවිත්‍ර යැයි නිල වශයෙන්ම ඒ හා බැඳි බලධාරීන් පිළිගෙන තිබෙන විටම මෙය සඳහා නැගී සිටිය යුතු වියත් සමුහයාගේ නිහැඬියාව අපගේ කන් අඩි පුපුරවන තරම් දැවැන්තය.

මෙවන් තත්වයක සාමාන්‍ය ලංකාවාසී වැසියන් ලෙසින් සහ කෘෂි ව්‍යාපාරිකයන් ලෙසින් විෂ සහිත කාබනික පොහොර නිසා ඇති විය හැකි විභව විනාශයේ තරම වියත් මග පෙන්වීමකින් තොරව වටහා ගැනීම අසීරුය.

තේ, පොල්, රබර් සහ අනෙකුත් බෝග සඳහා 2021 සැප්තැම්බර් 16 දින සිට කාබනික පොහොර ආනයනය කිරීමට රජයට අයත් සමාගම් දෙකකට කෘෂිකර්ම අමාත්‍යාංශය අනුමැතිය ලබා දුන් බව අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා ප්‍රකාශ කර ඇත.

නමුත් එයට පටහැනිව, මාස දෙකකට පෙර එනම් ජූලි මාසයේදී ඇමතිවරයා සිදු කළ තවත් ප්‍රකාශයක් අනුව, සියළුම බෝග සඳහා දේශීයව නිපදවන කාබනික පොහොර ප්‍රමාණවත් තරම් තිබෙන බවක් පවසන ලදී.

ඒ අනුව කාබනික පොහොර දේශීයව නිෂ්පාදනය කිරීම සඳහා බොහෝ තනි පුද්ගලයින් මෙන්ම සමාගම්ද ඉදිරිපත් වන්නට වුහ. එනමුත් දේශීය පොහොර අවශ්‍යතා සපුරාලීම සඳහා එම පියවරයන්හි සාර්ථකභාවය සහ ප්‍රමාණවත් බව හෝ වෙනත් ආකාරයකින් එම උත්සාහයන් සාර්ථකත්වය තහවුරු කර ගැනීමට කිසිදු උත්සාහක්ද කර නැත.

එම මූලික පියවර නොමැතිව, දූෂිත යැයි දැනටමත් ඔප්පු වී ඇති මෙම කාබනික පොහොර තොගය ආනයනය කිරීමට රජය ගත් මෙම හදිසි තීරණය නිසා දේශීය නිෂ්පාදකයින් අදිරිමත් වනුද වැළැක්විය නොහැක. අමාත්‍යවරයාගේ දෙවෙනි ප්‍රකාශයේ ඇති අසාමාන්‍ය බව හා මාස දෙකක් වැනි සුළු කාලය තුල ඔහුගේ ස්ථාවරය හිටි හැටියේ උඩු යටිකුරු වීමද කුකුසක් ඇති කරයි. ඉහතින් මතු කරන ලද කරුණු මෙන්ම නිර්දේශිත පටිපාටියට ඉහළින් යාම ආදිය නිසා අමාත්‍යවරයාගේ මෙම තීරණය දැඩි විමර්ශනයකට ලක් කිරීමේ අවශ්‍යතාවය උද්ගත කර ඇත.

මේ සියලු කරුණු හැරෙන්නට විදේශ විනිම සංචිතය නිදහස ලැබු දීර්ඝ කාලය තුල නොඇසු විරූ අන්දමින් හිඳී ඇති වත්මන් ව්‍යසනකාරී තත්වයක හා දේශීයව කාබනික පොහොර නිෂ්පාදනය කරන්නට හැකියාව හා උනන්දුව නොමසුරුව ලාංකික ව්‍යවසායකයන් ප්‍රදර්ශනය කරමින් සිටින විටෙක  ඇත්තෙන්ම අප සන්තකයේ නොමැති ඇඩො මිලියන 63 ක වැනි මහා ධනස්කන්ධයක් වැය කරමින් කඩිමුඩියේ දුෂිත යැයි සනාථ වී ඇති පොහොර තොගයක් ගෙන්වන්නට ඇතැමුන් මෙතරම් වළි කන්නේ ඇයිද යන දැවැන්ත ප්‍රශ්නයයි දැන් අප ඉදිරියේ තිබෙන්නේ.

ඒකාබද්ධ බෝග පෝෂක පද්ධති සහ ඒකාබද්ධ පළිබෝධ කළමනාකරණය වැනි යහපත් කෘෂිකාර්මික චර්යා, සම්මිති සහ ප්‍රමිති අනුගමනය කරමින් ශ්‍රී ලංකාවේ තිරසාර කෘෂිකර්මාන්තය ප්‍රවර්ධනය කිරීමට අපගේ සංසදය දැඩි ලෙස බැඳී සිටින අතරම සමීප කාලය තුල කෘෂිකර්මාන්තය සම්බන්ධයෙන් රජය අනුගමනය කරමින් සිටින අනිසි ක්‍රියාකලාපය ගැනද අප සිටින්නේ කණස්සල්ලෙනි. ඒ මෙම අස්වාභාවික පියවර අපගේ අහාර පද්ධතියට දැඩි බලපෑම් ඇති කළ හැකි බැවිනි

එම නිසා, දිගු කාලීනව පුළුල් ලෙස එකඟ වූ, අදියර වශයෙන් ක්‍රියාත්මක කිරීමේ සැලැස්මක් තුළින් තිරසාර කෘෂිකර්මාන්තය සඳහා සාධාරණ සංක්‍රාන්තියක් සඳහා පාර්ශවකරුවන් සමඟ සම්බන්ධ වී ප්‍රතිපත්ති අනුකූලතාව තහවුරු කරන ලෙස අප සංසදය රජයෙන් උදක් ඉල්ලා සිටී.

සියළුම පාර්ශවකරුවන් සම්බන්ධ කරගත් උපදේශන ක්‍රියාවලියක් තුළින් දැනුම හා තොරතුරු ලබා ගැනීම, තාක්ෂණයට ප්‍රවේශය, මුල්‍ය ප්‍රවේශය සහ වෙළෙඳපොළ වෙත පිවිසීම තුළින් අපේ ජාලයේ ශක්තීන් උපයෝගී කර ගනිමින් කෘෂි ව්‍යාපාර අංශයට සහයෝගය දැක්වීමේදී සියළුම පාර්ශවකරුවන් සම්බන්ධ කර ගන්නා උපදේශන ක්‍රියාවලියක් තුළින් මෙම ප්‍රතිපත්තියට මඟ පෙන්වීම සඳහා අපගේ සංසදය කැපවීමෙන් දායකත් ලබා දීමට සුදානමින් සිටියි.

යහපත් හා ඵලදායී ප්‍රතිපත්තියක් වෙනුවෙන් පෙනී සිටිමින් සහ තිරසාර සංවර්ධනය සඳහා සැබවින්ම දායක වන බව සහතික කිරීම සඳහා අප සංසදය සමඟ අත්වැල් බැඳ ගන්නා ලෙස කෘෂි ආහාර අංශයේ පාර්ශවකරුවන්ට අප ආරාධනා කර සිටිමු.

Sri Lanka Agripreneurs’ Forum

Representation of; growers, farmer organizations, agri value-addition enterprises, agri professionals & academics,

agri scientists, local and global marketers of agri produce, providers of agri inputs, and local agri investors.

E-mail: [email protected]

Scroll to Top