කාබනික පොහොර මෙරටට ගෙන්වීමේ ටෙන්ඩරය ලබාගත් චීන සමාගමෙන් ගෙන්වූ පොහොර සාම්පලයක තිබී අහිතකර බැක්ටීරියාවක් හමුවීම පිළිබඳව මේ වනවිට පුළුල් සංවාදයක් ඇතිවී තිබේ.
චීන සමාගමෙන් ගෙන්වූ පොහොර සාම්පලය තුළ අර්වීනියා නමැති අහිතකර බැක්ටීරියාව හමුවී තිබුණේ, කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ශාක නිරෝධායන සේවය සිදුකළ පරීක්ෂණයේදීයි.
අල, ලූණු හා කැරට් වැනි අහාර වගාවල ඵලදාව විනාශ කිරීමේ හැකියාව මේ අහිතකර බැක්ටීරියාව සතුයි.
චීන සමාගම මෙරටට සැපයීමට සූදානම් වන්නේ මුහුදු පැළෑටි මගින් නිපදවූ කාබනික පොහොරයි.
මහාචාර්ය නාලිකා රණතුංග මහත්මිය පෙන්වා දෙන්නේ මෙම පොහොර සාම්පලය තුළ කාබනික නොවන ද්‍රව්‍ය ද අඩංගු විය හැකි බවට සැකයක් මතුවන බවයි.
බතලගොඩ වැනි විවිධ කෘෂි ක්ෂේත්රයට අදාළව පරීක්ෂණ සිදු කරන ආයතනයකට මේ පොහොර ගෙනාවේ කුමකට දැයි, සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න ප්‍රශ්න කර සිටී.
ඔහු වැඩිදුරටත් කියා සිටියේ, යම් දිනක මේ ක්ෂුද්‍ර ජීවීන් සහිත පොහොර යෙදුව හොත් ඉන් පසු හැදෙන ලෙඩ රෝගවලට නැවත චීනෙන්ම බෙහෙත් වර්ගත් ගැනීමට ද සිදුවිය හැකි බවයි.
සීවින් බයෝටෙක් සමාගම පවසන්නේ වසර 20 ක අත්දැකීම් තුළින්, මේ වන මුහුදු පැළෑටි උපයෝගී කරගත්, සමුද්‍රීය ජීව පොහොර නිෂ්පාදනයේ තම සමාගම ප්‍රමුඛස්ථානයට පත්ව ඇති බවයි.
මේ අතර චීනයේ ක්වින්ඩාවෝ වරාය නගරය ආශ්‍රිතව වර්ග කිලෝ මීටර් 1700 ක පමණ අහිතකර ඇල්ගී බෝ වී ඇති බව ඉකුත් ජුනි මාසයේදී රොයිටර් පුවත්සේවය අනාවරණය කළේ ය.
අවුරුදු 15 ක පමණ කාලයක පටන් මෙම ප්‍රදේශයේ ඇල්ගී ගැටලුව පැවති බවත්, ඉන් හටගන්නා දැඩි දුර්ගන්දය හේතුවෙන් බොහෝ පිරිසක් පීඩාවට පත්වූ බවත් එම වාර්තාවේ සඳහන්ව තිබිණ.
මේ පසුබිම තුළ කාබනික පොහොර ගෙන්වීමේ තීරණය ඉතා ප්‍රවේශමෙන් ගත යුතු නොවන්නේ ද?