තමන් ඉදිරියේ ඇති මීළඟ අභියෝගය වන්නේ එකිනෙකට පරස්පර ඉලක්කන් රැසක් තුළ ආර්ථිකය තුලනය කරගැනීම බවත් එය ඉතාම අපහසු කටයුත්තක් වන නමුත් එය කළහැකි බවට විශ්වාසයක් තමන් තුළ පවතින බවත් නව මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි.
“මම ජනාධිපතිතුමාට කිව්වා නැවත මේ රාජකාරිය මට පවරන්නට එපායි කියලා. කීපසැරයක්ම කිව්වා. එතුමාත් මට කීපසැරයක්ම බාරගන්නයි කිව්වා. අන්තිම වතාවෙ එතුමා කිව්වා මේක බාරගන්නමයි කියලා. එතකොට මම පාර්ලිමේන්තුවෙනුත් අයින් වෙලා, රාජ්‍ය ඇමතිවරයෙක් හැටියටත් අයින් වෙලා නැවත වරක් මේ සේවයට එතුමාගේ ඉල්ලීම අනුව පිවිසෙන්නට තීරණය කළා.
මම දන්නවා අනිත් අයටත් වඩා හොඳට මේ වගකීම බාරගන්නකොට ඒකෙ තිබෙන අමාරුව. සෑහෙන කටු ඔටුන්නක් හැටියට මම දකින්නෙ. මට මතකයි 2006 දි මම එනකොටත් රටේ ආර්ථිකය යම් දුර්වල මට්ටමක තිබුණා. උද්ධමනය ඉලක්කම් දෙකේ අගයක් තිබුණෙ. මට මතකයි එවකට හිටපු නියෝජ්‍ය අධිපතිවරුන් මට කිව්වා උත්සාහ කරන්නවත් එපා මේක අඩු කරන්න කියලා. ඒ වුණාට අපි ඒක කළා. අපි උද්ධමනය අඩු කරගත්තා.
ඊටපස්සෙ මම 12වෙනි අධිපති හැටියට මහබැංකුවෙන් අයින් වෙලා යනකොට විදේශ සංචිත තිබුණා ඇමරිකන් ඩොලර් බිලියන 10.2ක පමණ මුදලක්. අද එනකොට විදේශ සංචිත ඇමරිකානු ඩොලර් බිලියන 4ක් පමණ තිබෙනවා. ඊට අමතරව තවත් බිලියන 1.5ක පමණ ස්වොප් එකකුත් අපට තියෙනවා චීන බැංකුවෙන්.
රුපියලේ අගය පිරිහිලා තිබෙනවා. විශේෂයෙන්ම ලොක්ඩවුන් එක හරහා කොවිඩ් වසංගතය නිසා අද විරැකියාව වැඩිවෙලා තිබෙනවා, දිළිඳුකමත් වැඩිවෙලා තිබෙනවා. ඉතිං ඒ නිසා අපට අභියෝග තියෙනවා. විදේශ සංචිත වැඩිකර ගන්න අපි බලාපොරොත්තු වෙනවා. විදේශ ගිණුම පාලනය කරගන්නට අපි අවශ්‍යයි. ඒකත් අපි කරන්නට බලාපොරොත්තු වෙනවා. දළ දේශීය නිෂ්පාදිතය වර්ධනය කරගන්නටත් අවශ්‍යයි. යටිතල පහසුකම් සංවර්ධනය කරන්නට අවශ්‍යයි. රුපියලේ අගය පවත්වාගෙන යාමට අවශ්‍යයයි. ඒ සියලු දේවල්ම අපි කළ යුතුයි.
ඉතිං ඒ නිසා එහෙම කරන්නට නම් මේ පරස්පර විරෝධී කටයුතු අපට සිදුවෙනවා පාවිච්චි කරගෙන යම්කිසි තුලනයක් ලබාගැනීමට. ඉදිරි මාස දෙක තුන හය තුළදී මේ තුලනය ඇතිකරගන්නේ කොහොමද කියන එක තමයි අපට තියෙන්නේ ඊළඟ විශෙෂ අභියෝගය හැටියට. ලේසි වැඩක් නෙවෙයි කියලාත් මම දන්නවා. නමුත් මට හිතෙන්නෙ අපි එකතුවෙලා ඒ වැඩේට අතගහලා අපි ඉදිරියට යන්නට පටන් ගත්තොතින් අපි හැමෝටම ඒක කරන්නට පුළුවන් වෙයි”
අජිත් නිවාඩ් කබ්රාල් මහතා මේ බව පැවසුවේ ඊයේ (15) දිනයේදී මහබැංකු අධිපතිවරයා වශයෙන් වැඩ බාරගැනීමෙන් අනතුරුව ප්‍රකාශයක් කරමිනි.