මේ රජය මුරණ්ඩුකම උද්දච්චකම අතහැර දමා සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස් වලට අනුගත වී රටත් ජනතාවත් කොරෝනා වසංගතයෙන් ආරක්ෂා කර ගැනීමට නිශ්චිත පියවර වහා ගත යුතුයැයි සමගි ජන බලවේගයේ මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා අවධාරණය කළේය
වේගයෙන් පැතිරීගෙන යන මේ ව්‍යසනයට පිළියමක් ලෙස 2021 මැයි මස සිදු කළ ආකාරයට රජය සංචරණ සීමා පැනවීම නොකළහොත් ජනතාව තම ආරක්ෂාව පතා ස්වයං සංචරණ සීමා පනවා ගත යුතු යැයි ඉරාන් වික්‍රමරත්න මන්ත්‍රීවරයා අද (15) විපක්ෂනායක කාර්යාලයේ පැවති පුවත්පත් සාකච්ඡාවේදී ජනතාවගෙන් ඉල්ලා සිටියේ.
මෙහිදී වැඩි දුරටත් කරුණු දැක්වූ ඉරාන් වික්‍රමරත්න මහතා
කෙටි කලක් තුළ කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව මෙන්ම මරණ සංඛ්‍යාවද දවසින් දවස වැඩි වෙමින් පවතී. පසුගිය මැයි මස සති හතරකට රටේ සංචරණ සීමා පැන වූ ආකාරයට ඉදිරි සති කිහිපයකට සංචරණ සීමා දැඩි සේ ක්‍රියාත්මක කළහොත් ජීවිත දහ අට දහසක් පමණ ජනවාරි වන විට මරණින් බේරා ගැනීමට හැකි වනු ඇතැයි ස්වාධීන වෛද්‍ය විශේෂඥයන් කණ්ඩායමක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ කොළඹ කාර්යාලය විසින් සංවිධානය කරන ලද සම්මන්ත්‍රණයක දී පවසා ඇතැයි හෙතෙම සඳහන් කළේය.
ගාල්ල කරාපිටිය රෝහලේ කොරෝනා රෝගියෙකුගේ දියණිය කළ ප්‍රකාශයක් සමාජ මාධ්‍යයේ සරිසරන පුවතක් ගැන ජනතාවගේ අවධානය යොමු කළේය.
කොරෝනා රෝගීන් රෝහල් ගත කරන සෑම අවස්ථාවකම එම රෝගීන්ට සාත්තු කිරීම සඳහා ඥාතියෙකු අසල සිටීම වැදගත් යයි සඳහන් කර ඇති එම දියණිය පවසා ඇත්තේ ඇය සිය මව සමග වාට්ටුවේ සිටි කාලය තුළ මියගිය පස් දෙනාගෙන් හතර දෙනාම මිය ගියේ එම රෝගීන්ට සාත්තු කිරීමට කෙනෙකු නැති නිසා යැයි සඳහන් කර ඇත. ඔක්සිජන් බටය නාසයෙන් මදක් ඉවත් වූ විට එය නිවැරදි කිරීමට කිසිවෙක් නොමැතිවීමෙන් ද මරණ සිදුවූ බව ඇය පවසා ඇත.
කෝවිඩ් රෝගීන් සහ මරණය සම්බන්ධයෙන් විවිධ සංඛ්‍යා ලේඛන පිළිබඳ ජනතාව තුළ අවිශ්වාසයක් හටගෙන ඇතැයි ප්‍රකාශ කළ වික්‍රමරත්න මන්ත්‍රීවරයා ශ්‍රී ලංකාවේ කෝවිඩ් පිළිබඳ සංඛ්‍යා ලේඛන නිකුත් කරන්නේ ජනාධිපති කාර්යාලයේ පිහිටුවා ඇති කෝවිඩ් මණ්ඩලයක් විසින් යයි මවිතය පළ කළේය. කිසිදු රටක සංඛ්‍යාලේඛන එහි රාජ්‍ය නායකයාගේ කාර්යාලයෙන් රැස් කිරීම හෝ නිකුත් කිරීම සිදු නොකෙරේ. දත්ත යනු ජනතාවට අයත් සම්පතක් වන අතර එය රාජ්‍ය නායක කාර්යාලයෙන් ලබාගැනීමට සිදුවීම ම සැකයට තුඩු දෙන හේතුවකි. එවන් අවස්ථාවකදී දත්ත පිළිබඳ පාරාදෘශ්‍ය භාවය නැති වන අතර ඒ පිළිබඳ තිබෙන විශ්වාසනීයත්වය ද ගිලිහී යාමට ඉඩ ඇතැයි කීය
මේ රජයේ අදුරදර්ශී ආර්ථික කළමනාකරණය හේතුවෙන් ජනතාව ආර්ථික දුෂ්කරතාවයන් හට මුහුණ දී සිටිය ද ආර්ථිකයට වඩා ජීවිතය වැදගත් වන හෙයින් රජය මේ පිළිබඳ සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස් නොසලකා හරිමින් අත්තනෝමතික ලෙස කටයුතු කරන මේ මොහොතේ අපි අපේ වගකීම වටහා ගෙන තම තමන් ස්වයං සංචරණ සීමා පනවා ගනිමු යැයි ජනතාවට ආයාචනය කළේය.
මේ රටේ කොරෝනාව හේතුවෙන් හයදහසකට ආසන්න පිරිසක් මියගොස් ඇති සංදර්භයක් තුළ ඉදිරි සති කිහිපය ඉතාමත් තීරණාත්මක යැයි සෞඛ්‍ය බලධාරීන් පවසා ඇති බැවින් ජනතාව මෙසේ ස්වයං සංචරණ සීමා පනවා ගැනීම හරහා තමන්ගේ ආරක්ෂාව තමාම සලසා ගැනීම කාලෝචිත යැයි ඉරාන් වික්‍රමරත්න මහතා සඳහන් කළේය.
ඉරාන් වික්‍රමරත්න