ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය, ලංකා වාණිජ මණ්ඩලය සහ අන්තර්ජාතික සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිතායනයේ (USAID) පාර්ට්නර් (PARTNER) ව්‍යාපෘතිය එක්ව අපනයන සංවර්ධන මණ්ඩලයට අනුයුක්ත සංවර්ධන නිලධාරින් සඳහා අපනයන කළමනාකරණ පුහුණු වැඩසටහනේ සමාරම්භක උත්සවය වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ සහ ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ ඇමෙරිකානු තානාපතිනි ඇලයිනා ටෙප්ලිට්ස් මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
මෙම සමාරම්භක වැඩසටහන සඳහා එක් වූ වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා සිය අදහස් දක්වමින් ප්‍රකාශ කළේ, ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය සමඟ සම්බන්ධ වීම වෙනෙුවෙන් අන්තර්ජාතික සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිතායනයේ පාර්ට්නර් (PARTNER) ව්‍යාපෘතිය සහ ලංකා වාණිජ මණ්ඩලය වෙත සිය ස්තුතිය පුද කරනු ලබන බවයි.
වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා ප්‍රකාශ කළේ, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් අපනයන සඳහා අගය එකතු කිරීමට සම්බන්ධ වී, එමඟින් ජාත්‍යන්තර වෙළෙඳපොළට පිවිසීමට හැකි වන පරිදි ශක්තිමත් කිරීම සඳහා මෙම සංවර්ධන නිලධාරී පුහුණු වැඩ සටහන සැලකිය යුතු දායකත්වයක් ලබා දෙනු ඇති බවයි.
ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ එක්සත් ජනපද තානාපතිනී, ගරු ඇලයිනා ටෙප්ලිට්ස් (Alaina Teplitz) මහත්මිය, සිය අදහස් දක්වමින් ප්‍රකාශ කළේ, එක්සත් ජනපදය සහ ශ්‍රී ලංකාව සමෘද්ධිය පිළිබඳ දැක්මක් පවත්වා ගෙන යන අතර දෙරට අතර පවතින අපනයන සම්බන්ධතාව එයට සාක්ෂි දරන බවයි. අපනයන ක්ෂේත්රය අඛණ්ඩව වර්ධනය කිරීම සඳහා, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් අපනයනයට සූදානම් තරඟකරුවන් විය යුතු බවත් මෙම වැඩසටහන කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ගෝලීය වෙළෙඳපොළ දක්වා ව්‍යාප්ත කිරීමට උපකාරී වන බවත් ඇමෙරිකානු තානාපතිනිය වැඩිදුරටත් ප්‍රකාශ කළාය.
පුහුණු වැඩසටහන ආරම්භ කිරීමට මත්තෙන් ත්රයිපාර්ශවිය අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබූ අතර අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති සුරේෂ් ද මෙල් මහතා, ලංකා වාණිජ මණ්ඩලයේ ප්‍රධාන විධායක නිලධාරී සහ මහලේකම් මංජුල ද සිල්වා මහතා සහ පාර්ට්නර් (PARTNER) ව්‍යාපෘති ප්‍රධානි මලිත් ගුණසේකර යන මහත්වරුන් ඒ සඳහා අත්සන් තබන ලදී.
මෙම අවස්ථාව සඳහා අන්තර්ජාතික සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිතායනයේ ශ්‍රී ලංකා සහ මාලදිවයින කාර්යාලයේ අධ්යක්ෂ රීඩ් ඇෂ්ලිමන් (Reed Aeschliman) මහතා සහ ලංකා වාණිජ මණ්ඩලයේ සභාපති විෂ් ගෝවින්දසාමි යන මහත්වරු මෙම අවස්ථාව සඳහා සහභාගී වූහ. පුහුණු වැඩසටහනට සම්බන්ධ වීමට අපේක්ෂා කරන සංවර්ධන නිලධාරීන් අන්තර්ජාලය ඔස්සේ මෙම අවස්ථාවට එක් වූහ.