පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා විසින් මේ බව ප්‍රකාශ කරන ලදී.
දිවංගත ලලිත් ඇතුළත්මුදලි මහතා විසින් මහපොළ ශිෂ්‍යත්ව භාරකාර අරමුදල ආරම්භ කිරීමෙන් පසුව පත් වූ විවිධ අග්‍රවිනිශ්චයකාරවරුන්ගේ සභාපතිත්වයෙන් හා විවිධ අමාත්‍යාංශ විෂය පථයන් යටතේ විවිධ අමාත්‍යවරුන් විසින් මෙම අරමුදල ශක්තිමත් කිරීමට කටයුතු කළ නමුත්, පසුගිය යහපාල ආණ්ඩු සමය තුළ විශාල ධනස්කන්ධයක් වැය කරමින් සිදු කරන ලද විවිධ ක්‍රියාකාරකම් හේතුවෙන් මෙරට ශිෂ්‍ය ප්‍රජාවට හිමි විය යුතු ප්රතිලාභ රැසක් අහිමි වූ බව අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කරන ලදී.
ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය සම්බන්ධ සාවද්‍ය ගිවිසුම මඟින් රුපියල් බිලියන විස්සක පමණ වත්කම් මහපොළ අරමුදලින් බැහැර කිරීම, මහපොළ මඟින් ආරම්භ කළ මං ගත ලොතරැයි ගිවිසුම කඩ කිරීම මත ලැබිය යුතුව තිබූ රු.මිලියන 750ක් අහිමි කිරීම, මහපොළ අරමුදල යටතේ පිහිටවූ ආයෝජන කළමණාකරණ සමාගම් (නෙට් වෙල්ත් සෙකියුරිටිස්/නෙට් වෙල්ත් කෝපරේෂන්) හි සිදු වී ඇති රු.බිලියන 1ක පමණ අලාභය වැනි ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් අධිකරණ කටයුතු හේතුවෙන් ගරු අග්‍රවිනිශ්චයකාරතුමා හෝ වෙනයම් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකු මහපොළ ශිෂ්‍යත්ව භාරකාර අරමුදලේ සභාපති ධූරය දැරීම ගැටළුකාරී වී තිබූ වාතාවරණයක් තුළ තාවකාලිකව මහපොළ අරමුදලේ සභාපති තනතුරෙහි, විෂය භාර අමාත්‍යවරයා වශයෙන් තමා කටයුතු කළ බව ද අමාත්‍යවරයා මෙහිදී සඳහන් කරන ලදී.
එමෙන්ම අති විශාල ධනස්කන්ධයක් අහිමි වූ පසුබිමක් තුළ මහපොළ ශිෂ්‍යත්ව භාරකාර අරමුදල වඩා වැඩි වපසරියක් තුළ ක්‍රියාත්මක කරවීම සඳහා සභාපතිවරයා වශයෙන් තමා කටයුතු කළ බවත් ඒ අනුව තම සභාපති ධූර කාලය තුළ 20%කින් පමණ වර්ධනයක් හා රු.බිලියන 1කට ආසන්න අතිරික්තයක් අරමුදලට ලබා ගත හැකි වූ බවත් වාර්ෂිකව ලබා දෙන ශිෂ්‍යත්ව ප්‍රමාණය ද 3000කින් පමණ වැඩි කිරීමට හැකියාව ලද බවත් අමාත්‍යවරයා සඳහන් කරන ලදී.
අරමුදලේ ප්රාග්ධනය ශක්තිමත් කිරිමටත් අරමුදල සූරක්ෂිත කිරිමටත් විවිධ ක්‍රියාකාරකම් සිදු කළ බව ප්‍රකාශ කළ අමාත්‍යවරයා, ඒ් අනුව සියලුම ආයෝජන භාණ්ඩාගාර බැඳුම්කර වල හා රජයේ බැංකු වල ස්ථාවර තැන්පතු වල පමණක් ආයෝජනය කිරිමට තිරණය කරන ලද බව ද මෙහිදී සඳහන් කරන ලදී.
එසේම 2019 – 2020 වර්ෂ තුල අරමුදලේ ප්රාග්ධනය ශක්තිමත් කිරිම සදහා දියත් කරන ලද වැඩසටහන් රාශියක් සම්බන්ධයෙන් අමාත්‍යවරයා මෙසේ අදහස් දක්වන ලදී.
“යහපාලන ආණ්ඩුව විසින් සම්පූර්ණයෙන්ම විනාස කරන ලද මහපොළ ශිෂ්‍යත්ව භාරකාර අරමුදල නැවත නඟා සිටුවිය යුතු වනවා. ඊට අවශ්‍ය කටයුතු සලසමින් නව ව්‍යාපෘති රැසක් දියත් කිරීමට කටයුතු යොදා තිබෙනවා. ඒ අනුව, මහපොළ ශිෂ්‍යත්ව ලබා උපාධිය සම්පූර්ණ කල උපාධිධාරින් ලක්ෂ 3 පමණ වන අතර ඔවුන්ගෙන් යම් දායකත්වයක් මහපොළ අරමුදලට ලබා ගැනීමේ වැඩපිළිවෙලක් දියත් කිරීමට අවශ්‍ය ලිඛිත ඉල්ලීම් සිදු කිරීමට අපේක්ෂා කරනු ලබනවා. ඊට අමතරව, මහපොළ අරමුදලට ප්රතිලාභ ලැබෙන පරිදි විශේෂ ව්‍යාපෘති වශයෙන්
- මිල්ලෑව වත්තෙහි විශ්ව විද්‍යාල ගම්මානයක්,
- විදේශ භාෂා ඉගැන්විමට අදාල වන විශ්ව විද්‍යාල විද්‍යායතනයක්
- ජෛව පද්ධති තාක්ෂණය සදහා වන විශ්ව විද්‍යාල විද්‍යායතනයක්
නුවරඑළිය දිස්ත්‍රික්කයේ ආරම්භ කිරිමටත් හා
- අනුරාධපුර දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගෙන මිහින්තලය අක්කර 300ක භූමියක් තුල (විසල්) වෙළෙඳ නගර ව්‍යාපෘතියක් ආරම්භ කිරිමට මූලික සැලසුම් කිරිමට කටයුතු කරනු ලබනවා.
එමෙන්ම මෙම ව්‍යාපෘති තුලින් ලැබෙන අතිරේක ආදායම මගින් දැනට විශ්ව විද්‍යාල වලට ඇතුළු වන දූ දරුවන්ගෙන් ශිෂ්‍යත්ව ලැබිමට සුදුසුකම් ලබන සියළුම සිසුන් සඳහා මහපොළ ශිෂ්‍යත්ව ලබා දීමට හැකි වනු ඇති අතර ඉදිරි වසර 5 තුළ මහපොළ ශිෂ්‍යත්ව අරමුදල රු.බිලියන 12 සිට රු. බිලියන 20 දක්වා වැඩි කිරීමට හැකි වනවා.
2019 සිට මේ දක්වා මහපොළ අරමුදලේ සභාපති තනතුර තාවකාලිකව මා විසින් දැරූ අතර තවදුරටත් එම තනතුර දැරිමට නොහැකි නිසා මහපොළ අරමුදල් පනත සංශෝධනය කිරිමට හා ඒ් අනුව අරමුදලට නව සභපතිවරයෙකු පත් කිරිමට හැකිවනු පිණිස අදාල පනත සංශෝධනය කිරිම සඳහා 2020 වසරේ අග භාගයේ ඉදිරිපත් කරන ලද අමාත්‍ය මණ්ඩල සංදේශය සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබි තිබෙනවා.
එම නව සංශෝධන අනුව අරමුදලේ සභපතිවරයා වශයෙන් අතිගරු ජනාධිපතිතුමා විසින් නම් කරන ලද ශ්‍රේෂ්ඨාධිකරණයේ විශ්‍රාමලත් විනිසුරුවරයෙකු වසර 3ක කාලයක් සදහා පත් කිරිමට යෝජනා කර තිබෙනවා. තවද, 1982 අංක 12 දරණ පොදු දේපළ පනතේ වන විධිවිධාන ප්‍රකාර පොදු දේපළ සදහා වන වැරදි සම්බන්ධව අරමුදලේ සේවකයන්, නිලධාරින් හා භාරකාරවරුන් ද යටත් කිරීම සඳහා වන සංශෝධනයද පනතේ නව සංශෝධනවලට ඇතුළත් කොට තිබෙනවා.
එසේම මහපොළ අරමුදලේ නිර්මාතෘ සහ හිටපු කිර්තිමත් වෙළෙඳ අමාත්‍යවරයෙකු වු ලලිත් ඇතුලත් මුදලිතුමාට කෘත ගුණ සැලකිමක් වශයෙන් මහපොළ අරමුදලේ නාමය ලලිත් ඇතුලත් මුදලි මහපොළ ශිෂ්‍යත්ව භාර අරමුදල වශයෙන් සංශෝධනය කිරීමද නව සංශෝධනය යටතේ සිදු කර තිබෙනවා. ඒ හැරුණු කොට මෙම පනත සංශෝධනය කිරිම තුලින් අරමුදල දේශපාලනීකරණයට ලක් විමක් හෝ වෙනත් අරමුණක් නොමැති බව අවධාරණය කරනු ලබනවා.”