“නැදුන්ගමුවෙ ඇතා කවදාවත් වාහනයකට නඟින්නෙ නෑ .” හැමෝම එයාට ආදරේ වෙන්න ඒකම හේතුවක් නොවුනත් පයින්ම නුවරට යන මේ ඇතාට රාජ්‍ය ආරක්ෂාව වගේම පෙරහැරේදි විතරක් නෙමේ පාරෙ යද්දිත් මිනිස්සුන්ගෙ ආදරය ගෞරවය ලබන්න පිනක් තියෙනවා .
“කොහොමද එහෙම වුනේ ” හිතුවොත් ඒකත් මහ පුදුම දෙයක් .නැඳුන්ගමුවෙ ඇතා වාහනයක යන්නෙ නැතුව පයින්ම යන්නෙ එයාගෙ ලොකු කමටද ? නැත්නම්
” අනේ ඕවට නඟින්න මම සුදුසු නෑ “
කියන හීනමානෙන්ද ? නැත .එයාට එයා ගැන තියෙන අප්‍රමාණ ආත්මවිශ්වාසය විතරක් නෙමේ තමා ගැනම තියෙන අභිමානය වගේම තමා කවුද කියන එක අපිට වඩා හොඳට එයා අඳුරගෙන තියෙන නිසා .ඒ වගේම තමන්ගෙ කාර්ය භාරය තමා මේ ලෝකෙට ආවෙ මොකටද කියන එක සතෙක් වුනත් එයා අවබෝධ කරගෙන ඇති .
මම තැනක දැක්ක එයා කලින් කොට ඇදපු කෙනෙක් කියල .නමුත් කරඬුව වඩම්මන තැනට එයා පත් වෙද්දි කවුරුත් එයාගෙන් ඇහුවෙ නෑ
“ඔයා ඉස්සර මෙහෙම කෙනෙක්ලු නේද ” කියල .
ඒ වගේම
” මම ඉස්සර කොට ඇදපු කෙනෙක් මම මේකට සුදුසු නෑ ” කියන සෘණාත්මක සිතුවිල්ල හෝ හීනමානය එයා තුල තියෙන්න නැතුව ඇති .
එයා විසින් ගොඩ නඟා ගත් පෞරුෂය නිරන්තරයෙන් එයාව උඩට ඔසවා තබන්න හේතුවක් වුනා .මම කොට ඇදපු ඇතෙක් .නමුත් මම කරඬුව වඩම්මන්න සුදුසුකම් ලැබුව කියල අධිමානයෙන් පෙළුනනම් එයාට මේක කරන්න වෙන්නෙ වාර කීපයක් විතරයි කියල එයා දැනන් ඉන්න ඇති .
එයාගෙ ගමන බොහොම හෙමින් යන්නෙ .එයාට වෙන කා එක්කවත් තරඟයක් නෑ .මොකද එයා දිනන්න ඕන ඉහළම තරඟය දිනල තියෙන්නෙ .ඒ දිනුම ගත්තෙත් රැල්ලට රේස් එකේ ගිහින් නෙමේ .මේ විදියටම හෙමින්ම තමන්ගෙ ගමන ගිහින් .
ඒ වගේම මිනිස්සු අතර අනිත් කරඬුව වැඩම්මවූ ඇත්තුන්ටත් වඩා එයා විශේශ වුනේ .එයාටම ආවේණික ලක්ෂණයක් හදාගත්ත .කවුරුත් කොපි නොකර එයා තමන්ගෙ කකුල් හතරෙ හයිය ගැන විශ්වාස කරල මෙතෙක් ඉතිහාසයේ කවුරුත් නොකල දෙයක් කරන්න හුරු වුනා .ඒ අනිත් අලි ඇතුන් පෙරහැරේ යන්න වාහනයක නැඟල නුවරට යද්දි එයා පයින්ම යන එක අනිත් අයට වඩා විශේශ වුනා .
එයා හෙමින් හෙමින් පයින්ම යද්දි අවට ඉන්න අයට හිතන්න පුළුවන් .
“මේ ඇතාට පිස්සුද මෙච්චර දුරක් පයින් යන්න ” කියල .ඒත් නැදුන්ගමුවෙ ඇතාට ඒ අනිත් අයගෙ කතා අදාල නෑ .
“මේ තරම් වටින රටේ සම්පතකට ලැබෙන වරප්‍රසාද ප්‍රතික්ෂේප කරල .තමන් බොරුවට දුක් විඳිනවා ” තවත් කෙනෙක්ට හිතෙන්න පුළුවන් .ඒත් නැඳුන්ගමුවෙ ඇතා ඒ වරප්‍රසාද අයුතු ලෙස භාවිතා නොකර තමන්ගෙ කකුල් දෙකේ හිතේ හයියෙන් වැඩ කරන කෙනෙක් .
එයා එහෙම යද්දි පාර දිගේ ඉන්න බල්ලො එයාට බුරනවා මම දැකල තියෙනවා . ඒ බල්ලන්ව එක පාරින් හොඬෙන් අරන් විසි කරන්න එයාට පුළුවන් .නමුත් කවදාවත් ඒ අදාල නැති තමන්ට වඩා අඩු අයගෙ බිරුම් වලට කන්දෙන්න හෝ ප්‍රතිචාර දක්වන්න එයා නවතින්නෙ නෑ .මොකද එයාගෙ ඉලක්කය අරමුණ ඊට වඩා ගොඩක් ලොකු එකක් .
එයා යද්දි ගොඩාක් අය පාර දිගේ ඉඳන් එයා දිහා ආසාවෙන් බලන් ඉන්නවා .ෆොටෝ ගන්නවා වීඩියො කරනවා .අනිත් අයටත් එයාව බලන්න එන්න කියල කතා කරනවා .මේ වගේ එයා සාමාන්‍ය විදිහට යද්දිත් මිනිස්සු එයාට වඳිනවා .එයා ඒවගෙන් ආඩම්බර වෙලා ගමන නවත්වන්නෙ නෑ .එයාට ඕන හරි ලස්සනට ඇඳන් දෑලෙ ඇත්තු මැද ,නිළමෙලා මැද ,නැටුම් ගැයුම් වැයුම් අතර රටේ උතුම්ම සම්පත හිසින් දරාගෙන අභිමානයෙන් තමන්ගෙ කාරිය අවසන් කරන්න .ඒ නිසා එයා මොන තරම් ප්රශස්ති ගී ඇහුනත් දැන් ඇති කියල එයාගෙ ගමන නවත්වන්නෙ නෑ .
දළ දෙකත් උස්සගෙන හෙමින් වුනත් දුරක් යද්දි කකුල් රිදෙනව ඇති .කඳු නගිද්දි හුස්ම හිරවෙනවා ඇති .ඒත් එයා මහන්සියි කියල කවදාවත් ආපසු හැරෙන්නෙ නෑ .
නැට්ටුවො බෙර කාරයො කස කාරයො එක්ක අනිත් අලි ඇතුන් හොඬවැළ වනල නැටුවට මේ හස්තියා එහෙම නටන්න යන්නෙ නෑ .එයාට නටල පෙන්නන්න දෙයක් නෑ .එයා හැතැම්ම ගානක් පයින් ඇවිත් පිදිය යුතු තැන පුදන ගුණයෙන් දණ ගහල මාළිගාවට වැඳල තමන්ගෙ දිනුම ලබාගන්නවා .
මෙහෙම මහන්සියෙන් අප්‍රමාණ ගරුත්වයෙන් මේ ගමන ආවත් එයාට සමහර දවසට කරඬුව වඩම්මන්න බැරි වෙන තරමට අසනීප වෙන අවස්ථාත් ඇති .ඒත් එයා ඒ ගැන හඬා වැළපෙන්නෙ නෑ .ආයෙත් උත්සහ කරනවා .
” ගිය පාරත් මමයි ගියේ මේ සැරේ මම යන්නෙ නෑ .ඇයි වෙන එවුන් නැතුවටද ” කියන හැඟීම් එයා ලඟ නෑ .එයාට පැවරුන කාර්ය වෙන කෙනෙක්ට බාර නොදී ඒ ගැන අනිත් අයට දොස් නොකියා තමා තුල තැබූ විශ්වාසය රකින්න එයාට පුළුවන් .
දස දහස් ගනන් මිනිස්සුන්ගෙ ආදරයට ගෞරවයට පාත්‍ර වුනත් .කොතරම් සාධුකාර නැඟුනත් එයා ඒවගෙන් උදම් වෙන බවක් පේන්නෙ නෑ . ඒ පුරුදු විදිය වෙනස් කරන්නෙත් නෑ .
” මම මෙච්චර හරියක් කලා .මම තමයි හොඳටම කරේ ” කියල වැඩි වරප්‍රසාද වැඩි ලාභ ප්‍රයෝජන ඉලන්න පුරුදු මේ හස්තියා ලඟ නෑ
තමන්ගෙ කාරිය බොහොම අභිමානයෙන් කරල ඉවර වෙලත් පයින්ම ආපසු යද්දි අර බිරුව බල්ලො එයාට හමුවෙනවා .සමහරුන්ට දැන් මේ දර්ශනය හුරු නිසා බුරන්නෙ නැතුව බලන් ඉන්නවා .ඒත් එයා ඒ බුරපු අයට කියන්න යන්නෙ නෑ .
“උඹල බිරුවට බලපන් මම කරපු දේ ” කියල .මොකද කියන දේට වඩා කරල පෙන්වන එක හොඳයි කියල එයා හිතනවා .
” මම නැදුන්ගමුවෙ හස්තියා මම ගැන මිනිස්සු අප්‍රමාණ ගරුත්වයෙන් කතා කරනවා .මම පයින්ම කරඬුව වඩම්මන්න යන එක නිසත් මිනිස්සු මට ආදරෙයි .මට උරුම දේ මම හරියට කරනවා .මට අනිත් අයගෙ කතා අදාල නෑ .පාර දිගට බුරන බල්ලො අදාල නෑ .මගෙ මහන්සිය ජයග්‍රහණය බවට පත් කරනවා .මා තුල තියෙන ආත්ම විශ්වාසය මොනම හේතුවකටවත් බිඳ දමාගන්නෙ නෑ .මට අවමන් කරන අයට උත්තර දෙන්න මම නවතින්නෙ නෑ .කඳු නගිද්දි පල්ලම් තියෙන බව මම දන්නවා .මහන්සියේ ප්‍රතිඵල නොලැබුනත් මම නැවත නැවත උත්සහ කරනවා . මම ප්රශස්ති ගී හමුවේ ඔළුව උදුම්මා ගන්නෙ නෑ මොකද පූජාසනයේ මා හිඳුවා පුදන ලෝකයම දිනෙක අවමන් කරන බවත් මම දන්නවා .වේදිකාවෙන් බැහැල එන්නෙත් ඒ වෙනස් විදියට නෙමේ .ඒ මම මයි .මට තියෙන තැන මම කවදාවත් නැති කරගන්නෙ නෑ .මම රටේ සම්පතක් එහෙමයි කියල සියළු හොඳ දේ මට විතරක් ලැබෙන්න ඕන නෑ .මම හිටිය තැනට වඩා තැනකට ආව .ඒ මගේ වාසනාවට .මම ඒ වාසනාව නිකන්ම ලැබූ දෙයක් නෙමේ .අප්‍රමාණ උත්සහයෙන් ලබාගත් වාසනාවක් .මට දිනන්න දෙයක් නෑ .මම දිනල ඉවරයි .මට කා එක්කවත් තරඟයක් නෑ .මම නටන රඟන අය අතර මම නටන්න ඕන නෑ .කාරිය අවසානයේ මුලින් හිනාවුනු අයට උත්තර දෙන්න ඕනත් නෑ .”
නැඳුන්ගමුවෙ ඇතාට කවුද මේව කියල දුන්නෙ .උදේ හවස අහන මෝටිවේශන් කතාද ,හැම චැනල් එකකම විකාශය වෙන බණ අහලද ? සමාජ මාධ්‍ය වල සංසරණය වෙන පෝස්ට් වලින්ද ? නෑ එයා දන්න දේ පොඩ්ඩ වුනත් ඒක හරියටම කරපු නිසා.
ඇයි අපිට බැරි මේ දේ තේරුම් ගන්න කිව්වොත් ඒකට හේතු ගොඩක් ඇති .මම හිතන්නෙ නැඳුන්ගමුවෙ ඇතා තුල තියෙන අභිමානය වෙනුවට අපි ගොඩක් අය ලඟ තියෙන්නෙ හීන මානය .
“මට ඒක කරන්න බැරි වෙයි ” .
“මට ඒ තරම් සුදුසුකම් නෑ ,”
“වැරදුනොත් මට මිනිස්සු හිනා වෙයි “
“.ඕකෙන් පාඩුවක් සිද්ධ වුනොත් අපරාදෙ ” මේ වගේ බහු භූත අපි අපේ ඔළුවෙ පුරවගෙන .හුඟක්ම තියෙන්නෙ විවේචන භීතිකාව .
” මිනිස්සු මොනව කියයිද “
“මිනිස්සු මට හිනාවෙයි ” මේ වගේ අනිත් අයට තියෙන බය නිසාම අපි යමක් කරන්න බයයි .අපේ දක්ෂතා හංගගෙන සමාජයෙන් වහන් වෙලා ඉන්න බලන අය ගොඩක් වැඩී .
.”තවත් පිරිසක් අපි මොකටද ඕව කරන්නෙ “
“අපි උන් එක්ක පෑහෙන්නෙ නෑනෙ “
“මම මෙහෙම කෙනෙක් .මන් මොකටද මන් දන්න දෙයක් ඔය වගේ උන්ට කියල දෙන්නෙ ” මේ වගේ අධිමානයෙන් පෙළෙනවා .ඔවුන්ටත් ගමන අඩාල වෙන්න වැඩි කාලයක් යන්නෙ නෑ .
තවත් පිරිසක් ඉන්නවා වැඩ කරන ,අභියෝග ජයගන්න අය දිහා අවමානයෙන් බලන .එයාලට කවුරු මොන හොඳක් කලත් පේන්නෙ වැරදියට .මොනම හරි දෙයක ඇද කුද හොයන පිරිසකුත් ඉන්නවා .ඒ ගොල්ල්න්ගෙ හිත නිතරම ගමන් කරල තියෙන්නෙ අවමානය දෙසට .
හීනමානය අත හැර අධිමානය අවම කර අවමානය බැහැර කර අභිමානයෙන් ගමන යමු .
කාංචනා පෙතියාගොඩ