Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

දසුන් – ධවාන් අද(25) විස්සයි20න් ගැටෙති

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

සංචාරක ඉන්දීය කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පළමු පන්දුවාර විස්ස ක්‍රිකට් තරගය කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද පැවැත්වෙනවා. එම තරගය රාත්‍රී 08 ආරම්භ වීමට නියමිතයි.

ඉන්දු – ශ්‍රී ලංකා මෙම පන්දුවාර විස්ස ක්‍රිකට් තරගාවලියට තරග 03ක් ඇතුළත්.

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව විස්සයි20 ද්වීපාර්ශ්වික තරගාවලි 7කදී හමුව ඇති අතර, ඉන් තරගාවලි 6ක ජය ඉන්දියාව සතු වී ඇත. 2009 වසරේ දෙසැම්බර් ඉන්දියාවේ පැවැති තරග 2කින් සමන්විත තරගාවලිය පමණක් ජය පරාජයෙන් තොරව (1-1) නිමා වී තිබේ.

ඉන්දියාවට එරෙහිව පළමු වරට ශ්‍රී ලංකාවට තරගාවලි ජයක් අත් කර දීමට ශානකට අවස්ථාව ලැබී ඇති අතර, ශ්‍රී ලංකාව හමුවේ අපරාජිත වාර්තාව රැක ගැනීමට ධවාන්ට සිදුව ඇත.

එමෙන්ම විරාට් කෝලි නිත්‍ය නායකයා ලෙස කටයුතු කරන ඉන්දීය පිල 2019 පෙබරවාරි මාසයෙන් පසු සහභාගි වූ සියලු විස්සයි20 තරගාවලි ජය ගෙන ඇති අතර, එම අපරාජිත බව රැක ගැනීමට ධවාන්ට සිදුව ඇත්තේ කෝලි ඉන්දීය ටෙස්ට් කණ්ඩායම සමඟ එංගලන්ත සංචාරයකට එක්ව සිටින බැවින් මේ කණ්ඩායමේ නායකත්වය හිමිව ඇති නිසාය.

දසුන් ශානක ජයගත් පාකිස්තාන සංචාරයට එක් වූ වනිඳු හසරංග, මිනෝද් භානුක, අවිශ්ක ප්‍රනාන්දු, ළහිරු කුමාර, භානුක රාජපක්ෂ, කසුන් රාජිත, ලක්ෂාන් සඳකැන්, ඉසුරු උදාන මෙවර සංචිතයට ද එක්ව සිටිති.

විස්සයි20 තරග බිමේදී දෙරට හමු වන 20 වැනි අවස්ථාව මෙයයි. මින් පෙර හමු වූ අවස්ථා අතුරින් 13ක් ඉන්දියාව ජය ගෙන ඇති අතර, ශ්‍රී ලංකාව තරග 5ක් ජය ගෙන තිබේ. එක් තරගයක් නිමා වී තිබෙන්නේ විසඳුමකින් තොරවය.

මේ අතර ඉන්දීය – ශ්‍රී ලංකා අවසන් එක්දිත තරගයේ ජයග්‍රහණය ශ්‍රී ලංකාව වෙතට හරවමින් තරගයේ වීරයා බවට පත්වීමට ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු අවිශ්ක ප්‍රනාන්දුට ඊයේ අවස්ථාව උදාවුණි.

තරගයෙන් අනතුරුව පැවැති මාධ්‍ය හමුවේදී ඔහු වැඩිදුරටත් සඳහන් කළේ,

“මං එංගලන්තයේදී බැට් කරපු විදියත් එක්ක පොඩි පොඩි දේවල් ටිකක් මං වෙනස් කර ගත්තා. ඒ දේ මට වාසියක් වුණා මේ තරගාවලියේදී. එංගලන්තයේදී මගේ ඉස්සරහා කකුල ඕෆ් එකට යන ගතියක් තිබ්බා. මම ඒක පොඩි ටෙක්නික් එකකින් හදාගත්තා. ඒ නිසා මේකෙදි ලොකුවට ලකුණු වලට යන්න පුළුවන් වුණා. මට අවශ්‍ය වෙලා තිබුණේ දිගු ඉනිමක් ක්‍රීඩා කරන්නේ කොහොමද කියලා සැලසුම් කරන්න. මේ තරගය මට ඒකට ලොකු අවස්ථාවක් වුණා.”

පන්දුවාර 39ක් අවසානයේ කඩුලු 07ක් පමණක් දැවී ලකුණු 227 ක් ලබා ගනිමින් ශ්‍රී ලංකා කණ්ඩායම මෙම ජයග්‍රහණය වාර්තා කළේය.

ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ආරම්භක පිතිකරු අවිශ්ක ප්‍රනාන්දු ලකුණු 76ක් සහ භානුක රාජපක්ෂ ලකුණු 65 ක් ලබා ගැනීමට සමත් විය.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම මෙම වසරේ දෙවන එක්දින ක්‍රිකට් තරග ජයග්‍රහණය හිමිකර ගැනීමට සමත් වුණි.

ඉන්දියාව මෙම තරගාවලිය ජයග්‍රහණය කළද ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ දිනයේ ලද ජයග්‍රහණය ශ්‍රී ලංකා ක්‍රිකට් අනාගතයට අතිශයින් වැදගත් බව ක්‍රීඩා විචාරකයින් පෙන්වා දෙයි.

Scroll to Top