Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

රටම දන්න ලක්බිම “එම්.ඩී” සහ ඔබ නොදන්න “මරිසිපාල”

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

මං ඉපදුනේ,හැදුනෙ වැඩුනෙ රත්නපුරේ “ගලබඩ” කියන ගමේ.අපේ ගමේ වෙදමහත්තය වුනේ මගේ තාත්ත නිසා අපේ ගෙදරට මිනිස්සු කිව්වෙ “බෙහෙත් සාප්පුව”.ඒ හින්ද මං ඉතින් “බෙහෙත් සාප්පුවෙ කොල්ල” වුනා..මට අවුරුදු 7ක් 8ක් වෙද්දි දිනපතා පුවත්පත් සහ චිත්‍රකතා පත්තර බලන්න පුරුදු වෙලා හිටිය.
දිවයින,සිත්තර,සත්සිරි,මධුර,සතුට,daily news වගේ පත්තර තමයි ඒ කාලෙ කියවන්න වුනේ.

හැබැයි ඉතින් පත්තර මිලට අරන් බලන්න තරම් වත්කමක් තිබුනෙ නැති නිසා දිවයින,සතුට,මධුර පත්තර බලන්න යන්න පුරුදු වෙලා හිටියෙ “බාර්කඩේ”ට.ඒකේ හිටපු මුදලාලි “බාර්කඩේ මුදලාලි” වුනා..කොණ්ඩෙ බැඳල,කළු කෝට් එකයි පලයකාට් සරමයි ඇඳල ,කලු දිග කුඩේ අරන් ගමන් බිමන් යන බාර්කඩේ මුදලාලි මගේ තාත්ත වගේම අපේ ගමේ දැවැන්ත පෞරුෂයක්.ටිකක් සැර පෙනුමක් තිබුනට බාර්කඩේ මුදලාලි අපේ ගෙදර හැමෝටම විශේෂ සැලකිල්ලක් දැක්වුවා….

ඒ අතරින් මට තිබුනෙ විශේෂම තැනක්.සිංහල අලුත් අවුරුද්දට කැවිලි පිඟානත් අරන් මුලින්ම දුවන්නෙ “බාර්කඩේ” ගෙදරට .ඒකට හේතු 2ක් තිබුනා.එකක් තමයි බාර්කඩේ මුදලාලි ඇතුලු ගෙදර අයට තිබුන ලෙන්ගතුකම.අනික තමයි අවුරුද්දට ගණුදෙනු විදිහට එතුමා දෙන මුදල් තෑග්ග.මං හිතන්නෙ දෙවෙනි හේතුව තමයි ඒ කාලේ පළවෙනි හේතුව වෙන්න ඇත්තෙ.

“බාර්කඩේ මුදලාලි”ගෙ දුවට කිව්වෙ “සුමනා ඇන්ටි”කියල.මට බලන්න පත්තර අරන් තියන්නෙ සුමනා ඇන්ටි. (Lahiru Sandaruwan Dharmadasa ගෙ අම්ම)කොහොමහරි මේ පත්තර කියවිල්ලයි කාලීන දේශපාලනය හා ක්‍රිකට් ගැන තිබුන උනන්දුවයි හින්ද දැන් වගේම ඒ කාලෙත් පණ්ඩිත කමේ අඩුවක් තිබුනෙ නැහැ…

කොහොමහරි සමහර දවස්වල පත්තරේ ගෙදරට ගෙනිහින් නිසා ඒක බලන්න “බාර්කඩේ ගෙදර” ඒ කිව්වෙ “මිගාර සෙවණ”ට යනව.කඩේ පිටුපස ඒදණ්ඩකින් ගොඩවෙලා පුංචි තේ කෑල්ලක් මැදින් පොඩි කන්දක් නගිනකොට එක එක පළතුරු ගස් වලින් වට වුන “මිගාර සෙවණ” පිහිටල තියෙනවා.හැබැයි හරියට බැලුවොත් අපේ ගෙදර පිටුපසින් එක එල්ලේ පිහිටි පොඩි කන්ද උඩ තමයි “මිගාර සෙවණ” තියෙන්නෙ.මං ගෙදර නැති වුනාම අම්ම දන්නව ඉන්නෙ එහෙ කියල.ඉතින් ගේ පිටිපස්සෙන් “පුතා…..” කියල කෑ ගහනකොට එහෙම නැත්නම් මගේ සිව් සහෝදරියන්ගෙන් කෙනෙක් “මල්ලී…”කියල කෑ ගහනකොට මං අපේ ගෙදරට දුවගෙන යනව…

පත්තර බලන්න “මිගාර සෙවණ”ට යනකොට එහෙ හිටිය බාර්කඩේ මුදලාලි ගෙ පොඩි පුතා (හරියට මිගාර සිටු පුතා වගේ)හරිම නිවුනු,තැන්පත්,නිහඬ සහෝදරයෙක්.එ් කාලෙ එයා වැඩිපුර ගෙදරින් එලියට අාවෙත් නෑ.මට වඩා අවුරුදු 18ක් 20ක් වැඩිමහල් මේ සහෝදරයට මං කිව්වෙ “බාර් කඩේ අයිය”කියල..(ඒකත් මරු..මුදලාලිගෙ නෝනට “මේරි නැන්දා”.මුදලාලිගෙ දුවලට “සුමනා ඇන්ටි,ආරි ඇන්ටි” මුදලාලිගෙ පුතාලට “බාර්කඩේ අයියා”….අද කාලෙ වගේ නම් අක්කට ඇන්ටි කියන්න ගියොත් වසල හමාරයි  ) ඔන්න ඔය කියපු “බාර්කඩේ අයිය”දේශපාලනය ගැන,ක්‍රිකට් ගැන විශේෂ දැනුමක් තිබුන කෙනෙක්.

මමත් කැමතිම විෂයයන් වුන නිසා මම එයාට හුඟක් ඇලුම් කලා.ඒ හින්දම දිනපතා පුරුද්දක් විදිහට “බාර්කඩේ අයිය”ව බලන්න යන්න පටන් ගත්තා.ගිහින් පැයගාණක් “කයිය” ගහනවා.ඒ අතරෙ අපි දෙන්න එක්ක ක්‍රිකට් ගහන්නත් පටන්ගන්නවා.මං “කුසල් මෙන්ඩිස්” වගේ ඉක්මණට අවුට් කරල අයිය බැට් කරන්න පටන් ගන්නව.ඒ විකට් එක ගන්නව කියන්නෙ “බ්‍රයන් ලාරා”ගෙ විකට් එක ගන්නව වගේ…ඒ කිව්වෙ අද කාලෙ “විරාත් කෝලි”ගෙ විකට් එක ගන්න තරම් අමාරු වැඩක්.අයියට කම්මැලි හිතෙනකොට අත දිග ඇරල shot එකක් දෙනව තේ කෑල්ලට…එතනින් සෙල්ලම ඉවර වෙනව…

ඒ කාලෙ අද වගේ රටින් පිට මැච් tv එකේ පෙන්නුවෙ නැහැ.රේඩියෝ එකේ පැයකට පාරක් විතර score එක කියනව.හවස 5ට ගුවන් විදුලි සංස්ථාවෙ වෙළඳ සේවයෙ ක්‍රීඩා සංග්‍රහයෙන් තමයි මැච් එකේ විස්තරේ අහගන්නෙ.ඉතින් මැච් එකක් දවසට උදේ ඉඳලම “බාර්කඩේ අයියගෙ ගෙදර “තමයි.
(මට මතක විදිහට ඔය 88,89 වගේ කාලෙ).බාර්කඩේ අයියට චිත්‍ර අඳින්න පුලුවන්.ඒවට ඔිනි කරන තීන්ත වර්ග එයා ලඟ තිබුනා.indian ink, poster colour වගේ වචන මට හුරු වුනේ එයා ගෙන්…

ඒ දවස් බල “මධුර” චිත්‍ර කතා පත්තරේ 15 වෙනි පිටුව වෙන් වෙලා තිබුනෙ “පොකට් කාටූන්” වලට…මට මතක කාටූන් 16ක් වගේ තිබුන.මං ඉතින් “බාර් කඩේ අයිය”ව උනන්දු කරනව “අයියෙ ඔයත් මධුර පත්තරේට කාටූන් දාන්නකාෙ” කියල.ඔන්න එක දවසක මධුර පත්තරේ ට දාපු විහිලු කතා සහිත කාටූන් එකක් පල වුනා.එදා තමයි මං පලවෙනි වතාවට බාර්කඩේ අයියගෙ කාටූන් ච්ත්‍රයක් පත්තරේක දැක්කෙ.ඔන්න ඔය විදිහට තමයි “බාර්කඩේ අයිය” කාටූන් ශිල්පියෙක් වුනේ.ඊට පස්සෙ සමහර දවස් වල ඒ මධුර පත්තරේ කාටූන් පිටුවෙම තියෙන්නෙ “බාර්කඩේ අයිය”ගෙ කාටූන් විතරයි.

ඔය අතරෙ “දිවයිනේ විජේසෝම” මහත්තයා අඳින කාටූන් එක පෙන්නල මං අහනව “අයියෙ ..ඔයාට බැරිද මෙහෙම ඒවවත් අඳින්න?අපි දිවයිනටත් කාටූන් ටිකක් දාමුකො”කියල. “බලමු”.ඒ තමයි ඔහුගෙන් ලැබෙන සාමාන්‍ය පිළිතුර .ඔහොම මාස කිහිපයක් ගතවෙනකොට දිවයින පුවත් පතේ 4 වෙනි පිටුවෙ තනිතීරුවේ කාටූන් එකක් පලවෙනව “බාර්කඩේ අයිය”ගෙ නමින්. මෙතෙක් වෙලා මම කිව්ව බාර්කඩේ අයිය වෙන කවුරුවත් නෙවෙයි,”දිවයින” පුවත්පතෙන් පටන් අරගෙන,”ලක්බිම” හරහා “මව්බිම”ට “මරිසිපාල” කාටූනය නිර්මාණය කරපු, 2019 වසරේ ශ්‍රීලංකාවේ හොඳම කාටූන් ශිල්පියා ලෙස සම්මාන දිනූ “එම් .ඩී.වීරරත්න” නම් අති නිහතමානී ,සොඳුරු ජනමාධ්‍යවේදියා යි….

“මරිසිපාල” චරිතය ආසියාවේ වාර්තාවක් තැබූ කාටූනයක්.එදා “දිවයිනෙ”න් පටන් ගත් ‘”මරිසිපාල” අද වන විට වසර 30කට අධික කාලයක් වෙනස් නොවී ඒ ආකාරයෙන්ම මේ වන විට මව්බිම පුවත්පතේ පලවෙනවා.වීරේ අයියා පැවසු පරිදි එය ආසියානු හෝ ලෝක වාර්තාවක්..ඒ වාර්තාව මේ සටහන තබන මට සුවිශේෂී එකක් බව මම දැනගත්තේ ඔහු ඇගයීමට මගේ මැදිහත්වීමෙන් සංවිධානය කෙරුන සබරගමුවේ හිටපු ආණ්ඩුකාරතුමිය වන “නිලූකා ඒකනායක” මැතිණිය ගේ ප්‍රධානත්වයෙන් අපේ ගමේ පන්සලේ පැවති “එම්.ඩී.වීරරත්න ප්‍රණාම උළෙලෙ”දි..(ඒ ගැන ඉදිරියේදි වෙනම සටහනක් තබමි)

එදින මගේ සැලසුමකට අනුව ආණ්ඩුකාරතුමිය විස්මයට හා සතුටට පත්කරමින් “සජීවී”ව එතුමියව කාටූනයට නැගීමට වීරෙ අයියා කටයුතු කළා.එවකට ජනපති මෙෙත්‍රි විසින් නිලූකා ඒකනායක මැතිණිය මධ්‍යම පලාතේ සිට සබරගමුව පළාතට ගෙන්වීම පිටුපස තිබූ සැබෑ හේතුව ඇය ඉදිරියේ සජීවීව ඔහු අපූරුවට කාටූන්ගත කලා. එයින් පැහැදුනු එතුමිය “සබරගමු ලලිතකලාවේදී” සම්මානයත් මුදලින් රුපියල් ලක්ෂයක ත්‍යාගයකුත් ඔහුට පිරිනැමුවා.
කතාවේ හොඳම හරියට එළඹෙන්නේ දැන්…

“එම්.ඩී වීරරත්න ප්‍රණාම උළෙලේ”දි ඔහු සභාව ඇමතුවේ මරිසිපාල කාටූනයට හේතු වූ චරිතය විග්‍රහ කරමින්…සැබැවින්ම ඔහු අපූරු ඉදිරිපත් කරන්නෙක්…පියවරෙන් පියවර ඔහු “මරිසිපාල” චරිතයේ පසුබිම ආකර්ෂණීය ලෙස ඉදිරිපත් කළා.එහි සාරාංශය වුනේ “තම නිවසට ආ ගිය දේශපාලනය ගැන කතා කරන වයසට වඩා මුහුකුරාගිය පණ්ඩිත කොලු ගැටයෙක්” මරිසිපාල චරිතයෙන් නිරූපණය කළ බවයි.

ඒ අන් කිසිවකුත් නොව මේ සටහන තබන “මම” හෙවත් “ගණනාත් වීරරත්න” බව ඔහු පළමුවතාවට හෙළිදරව් කළේ එදා යි…මම අද එය පළමුවතාවට ඔබවෙත හෙළිදරව් කරන්නේ වාර්තාගත කාටූන් චරිතයකට පණ පෙවූ ආඩම්බරයත්,එම්.ඩී වීරරත්න සදාදරණීය සුන්දර මිනිසා කෙරෙහි ඇති ගෞරවයත් සිත්හි දරාගෙනයි.(මෙය හෙළිදරව් කරන බව පවසමින් මා blackmail කළ එම්.ඩී වීරරත්න අයියාගේ එකම පුතු ආදරණීය Poorna Gajendra Weeraratne ට මින් මතු මා blackmail කළ නොහැකි වනු ඇත)

විශේෂයෙන් මා මේ සටහන තැබුවේ කෙමෙන් කෙමෙන් ශරීරයෙන් තාරුණ්‍යයට සමු දී එහෙත් මනසින් තාරුණ්‍යයේ ජීවත්වන එම්.ඩී වීරරත්න නම් වූ මහපොළොවේ පය ගසා ජීවත්වන නිහතමානී සොඳුරු මිනිසාගේ ජන්මදිනය පසුගිය (ජූලි 14)දිනට යෙදී තිබීම හේතුවෙනි…

මටත් අපේ ගමටත්,රත්නපුරයටත්,සබරගමුවටත්,මව්බිමටත්,අාසියාවටත් ආඩම්බරයක් වූ විශිෂ්ට කලාකරුවාණෙනි,අභීත මාධ්‍යවේදියාණෙනි,ඔබට සුභ උපන් දිනක් වේවා..!

නිදුක් නිරෝගී දීර්ඝායු වේවා…!

ada paththare, c news in sinhala, c news sinhala sri lanka, divaina epaper, e news in sinhala, epaper lankadeepa,
esana news, laankadeepa, lanka news paper,
Scroll to Top