අධික වර්ෂාව සමග කළු ගඟ පිටාර ගැලීමෙන් රත්නපුර නගරය ආශ්‍රිතව සුළු ගංවතුර තත්ත්වයක් ඇතිව තිබේ.
අප වාර්තාකරුවන් පැවසුවේ, මේ වනවිට පහත්බිම් රැසක් ජලයෙන් යටවී ඇති බවය.මේ අතර, අධික වැසි සමග කුකුළේ ගඟ ජලාශයේ වාන් දොරටු තුනම විවෘත කර තිබේ.
කැලණි ,කළු ,නිල්වලා සහ ගිං ගංගාවල ජල මට්ටම් ඉහළ යමින් ඇතැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.
කැලණි ගංඟා ද්‍රෝණියේ රුවන්වැල්ල, දෙහිඕවිට, සීතාවක, දොම්පේ, කඩුවෙල, බියගම, වත්තල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ, ගිං ගඟ ද්‍රෝණියේ නෙළුව, තවලම, අක්මීමන, නාගොඩ, ඇල්පිටිය, නියාගම, බද්දේගම, වැලිවිටිය, දිවිතුර, කොටපොල, බෝපේ පෝද්දල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ, නිල්වලා ද්‍රෝණියේ පස්ගොඩ, කොටපොල, පිටබැද්දර, අකුරැස්ස, අතුරලිය, මාලිම්බඩ, තිහගොඩ, දෙවිනුවර සහ මාතර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ ඇතුළු පහත්බිම්වල ගං වතුර තත්වයක් ඇතිවිය හැකි බවද වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
සෙසු ගංගා ද්‍රෝණි ආශ්රිත පහත්බිම්වල වෙසෙන ජනතාව ද සුළු ගංවතුර පිළිබඳ ඉතා අවදානයෙන් කටයුතු කළ යුතු බව ඔහු දැනුම් දෙයි. ගත වූ පැය 24 තුළ දිවයිනේ ප්‍රදේශ රැසකින් මිලිමීටර් 150 ඉක්ම වූ වර්ෂාපතනයන් වාර්තාවී තිබේ.
ඒ අනුව එම කාල සීමාව තුළ දිවයිනේ වැඩිම වර්ෂාපතය වාර්තා වී ඇත්තේ, ගාල්ල දිස්ත්‍රික්කයේ නෙළුව ප්රදේශයටයි.එම අගය මිලිමීටර් 193.25 කි.
තවලම ප්‍රදේශයට ද සුළු ගංවතුර තත්ත්වයක් ඇතිව තිබේ. නෙළුව – මාවිට මාර්ගය සහ තවලම ඉන්ධන පිරවුම් හල අසල මාර්ගයජලයෙන් යටවී තිබේ.
ආපදාවට පත් පිරිසට සහන සැලසීම සඳහා යුද සහ නාවික හමුදා භට කණ්ඩායම් ප්‍රදේශයට මේ වන විට ගමන් කරමින් සිටින බව ද සහකාර අධ්යක්ෂවරයා වැඩිදුරටත් කීය.
එම දිස්ත්‍රික්කයේ ලංකාගම ප්‍රදේශයට ද , මිලිමීටර් 177 ක වර්ෂාපතන අගයක් වාර්තා වී තිබේ.රත්නපුර දිස්ත්‍රික්කයේ කලවාන ප්‍රදේශයට මිලිමිටර් 183.50 ක වර්ෂාපතනයක් , දොලොස්වල ප්‍රදේශයට මිලිමීටර් 164.50ක් සහ වේවැල්වත්ත ප්‍රදේශයට මිලිමීටර් 147.75 ඉක්මවූ වර්ෂාපතනයක් වාර්තා වී තිබේ.
නුවරඑළිය දිස්ත්‍රික්කයේ කළුගල ප්‍රදේශයට ද අදාළ කාල සීමාව තුළ මිලිමීටර් 150.50 ක වර්ෂාපතනයක් අද අලුයම 2.30 න් අවසන්වූ පැය 24 තුළ ලැබී ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.මේ අතර, හැටන් – කොළඹ ප්‍රධාන මාර්ගය ස්ථාන කිහිපයකින් අවහිර වී තිබේ.