Aboutceylon Online

වස විස නැති ගොවිතැනට සහාය දීම පුරවැසි යුතුකමකි

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

වස විස නැති ගොවිතැන පිළිබඳ කතිකාව අද ඊයේ ආරම්භ වු දෙයක් නොවේ. වසර ගණනාවක් තිස්සේ ඇඳි ඇඳී තිබුණු වස විස ගොවිතැන ගැන වු සංවාදය වත්මන් රජයේ රසායනික පොහොර තහනම සමඟ නැවත කරලියට පැමිණ ඇත.

මීට වසර තුනකට පෙර මෙරට අස්වනු අතිරික්කයක් ඇති වන විට අප විසින් පුර්වානුමානය කළ පරිදිම අද අපට ආහාර හිඟයක් ගැන කතා කිරීමට සිදුව ඇත. රසායනික පොහොර යොදා ස්භාවික පරිසර පද්ධතියද විනාශ කරමින් විශාල ආහාර අතිරික්කයක් නිෂ්පාදනය කිරීම සහ එම නිෂ්පාදන කල් තබා ගැනීමට නොහැකි වීම ඊට හේතුව බව අපගේ විශ්වාසයයි.

වසංගත තත්වයෙන් පසුව ඇති වු නව සාමාන්‍යකරණය යටතේ රජයට රසායනික පොහොර ගෙන්වීම නැවැත්වීමට සිදු වීම මෙරට පුරවැසියාට සොබාදහම විසින් ලබාදුන් ආශිර්වාදයක් කරගත යුතු බව ශ්‍රී ලංකා සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ අදහසයි. එය රජය කිසිදු ලෙසකින් අපේක්ෂා නොකළ තත්වයක්ය යන්න ඔවුන්ගේ පසුගිය මැතිවරණ පොරොන්දු දෙස බැලීමෙන්ද පෙනි යයි.

අහම්බයෙන් වුවද රජය වස විස නැති ගොවිතැන වෙත යාම අගය කළ යුතුය. එමෙන්ම එම වැඩසටහන සාර්ථක කර ගැනීමට පුරවැසියන් ලෙස අපගේ සහාය රජයට ලබා දිය යුතුය. ඒ රජයේ පැවැත්ම තහවුරු කිරීමට නොව රාජ්‍යයේ පැවැත්ම තහවුරු කිරීමට ය.

රසායනික පොහොර නැවැත්වීමත් සමඟ පිටරටින් සහල් ගෙන්වීමට යෝජනා වුවද මෙරට ගොවීන් කාබනික ගොවිතැනට දක්වන දායකත්වය මත එලෙස සහල් පිටරටින් ආනයනය කිරීමට උවමනා නොවනු ඇති බව අපගේ අදහසයි.

ඊට වී ගොවීන් දිරිමත් කිරීම රජයට පැවරී ඇති වගකීමක් බව අපි මතක් කර දීමට කැමැත්තෙමු. එලෙස ගොවීන් කාබනික ගොවිතැනට මාරු නොවුනහොත් දිගින් දිගටම ආහාර ආනයනය කිරීමට යාමෙන් රටට සිදුවන්නේ පොහොර ආනයනයෙන් සිදු වු පාඩුවට වඩා වැඩි පාඩුවකි. එවැනි තත්වයක් ඇති නොවන්නට නම් විරෝධතා පවත්වමින් නොසිට කාබනික වගාව කඩිනම් කිරීමට කටයුතු කළ යුතුය.

වස විස නැති ගොවිතැන සම්බන්ධයෙන් වැඩ කටයුතු කරන අන්තර්ජාතික හා රාජ්‍ය නොවන ආයතන ගණනාවක් ඇත. එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැසටහනට සමගාමීව ක්‍රියාත්මක වන පළමුව ආහාර වැනි ව්‍යාපෘතිය මගින් කාබනික ගොවිතැනට අවශ්‍ය දැනුම ලබා ගත හැකිය. අප දැනටමත් කාබනික නිෂ්පාදන අපනයනය කරන යුරෝපා සංවිධානයට අයත් රටවල් සහ ඇමෙරිකා එක්සත් ජනපදය, ජපානය වැනි රටවලින්ද කාබනික ගොවිතැනට අවශ්‍ය තාක්ෂණික සහාය ලබාගෙන දැනටමත් කාබනික වගාව සඳහා උපකරණ නිර්මාණය කර ඇති ශ්‍රී ලංකා ඉංජිනේරු පර්යේෂණ සහ සංවර්ධන මධ්‍යස්ථානය වැනි ආයතන වැඩි දියුණු කළ යුතුය.

අර්බුද රාශියක් සහිතව වුවද රජය විසින් ගෙන ඇති මෙම වැදගත් තීන්දුවට සහාය දැක්වීම පුරවැසියන්ගේ යුතුකමකි. මෙය සාර්ථක වුවහොත් එය මෙරට කෘෂි කර්මාන්තයේ විප්ලවීය සංදිස්ථානයක් සනිටුහන් කරනු ඇත. එවැනි පරිවර්තනයක දී මුහුණ දීමට සිදුවන අභියෝග රාශියක් ඇති බව අපි දනිමු. නමුත් අසීරුවෙන් වුවද මෙවැනි කඩඉමක් පසු කළ යුතුය.

නැත්නම් අනාගතයේ අපට සිදුවන්නේ නිසරු බිමක රෝගීව මියගොස් වැළලෙන්නට ය. ඊට දේශපාලකයින්, නිලධාරීන් සහ ගොවීන් පමණක් නොව පුරවැසියන් වන අපගේද කැපවීම අත්‍යාවශය ය. හුදු විරෝධතාකරුවන් නොවී රට වෙනස් කිරීමට අපගේද දායකත්වය ලබා දිය යුතුය.

තුසිත බාලසූරිය
ශ්‍රී ලංකා සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය

Scroll to Top