අනුබුදු මිහිදු මා හිමියන් නිර්මල බුදු දහම රැගෙන මෙරටට වැඩම කළ පොසොන් පුර පසළොස්වක පොහොය අදට යෙදී තිබෙනවා. ආගමික මෙන්ම මෙරට සංස්කෘතික හා සමාජයීය, පරිවර්ථනයන් රැසකට මිහිඳු මහරහතන් වහන්සේගේ ලංකා ගමනය හේතු පාදකවිය.
ධර්මාශෝක රජු සහ දේවානම්පියතිස්ස රජු අතර පැවති රාජ්‍ය තාන්ත්‍රික කල්‍යාණ මිත්‍රත්වයේ ප්‍රතිඵලයක් ලෙස මිහිඳු මහරහතන් වහන්සේ බුද්ධ වර්ෂ 237 දී මෙරටට වැඩම කරනු ලැබීය. ඒ අද වැනි පොසොන් පුර පසළොස්වක පොහොය දිනකදීය.
මහින්දාගමනයට අමතරව පොසොන් පුර පසළොස්වක පොහොය දිනය ශාසන ඉතිහාසයේ වැදගත් සිද්ධීන් රැසක් සිදුවූ පොහොය දිනයක් ලෙස ද සැලකේ.
බුදු රජාණන් වහන්සේගේ ශරීරයෙන් ප්‍රථම වරට සවණක් ඝණ බුදුරැස් විහිදීම සිදු වූයේද අද වැනි පොහොය දිනක බව සඳහන්ය.
මෙරට ප්‍රථම මහණ උපසම්පදාව වන බණ්ඩුක උපාසක උපසම්පදාව සිදුවන්නේද අද වැනි පොහොය දිනයක බව ශාසන ඉතිහාසයේ දැක්වේ. මෙරට බෞද්ධ ජනතාව පොසොන් පොහොය ආමිස හා ප්‍රතිපත්ති පූජාවන්ට මුල්තැන ලබාදෙමින් සමරනු ඇත.
මෙසේ අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ ථෙරවාදී බුදුසමය මෙරටට හඳුන්වාදීමත් සමඟම එතෙක් මෙරට පැවැති සංස්කෘතිය බෞද්ධ සංස්කෘතිය බවට පරිවර්තනය වූ බව මේ අනුව පැහැදිලි ය.
මෙකී සංස්කෘතිය නිසා මෙරට ජනතාව ගේ බුද්ධිය, ක්‍රියාකාරීත්වය හා අන්තර්පුද්ගල සබඳතාව ඉතා ඉහළම මට්ටමකින් පෝෂණය විය. මහින්දාගමනය ලක්වැසි ජනතාවට නව ජීවන දර්ශනයක් හඳුන්වා දුන් වැදගත්ම ඓතිහාසික සිදුවීම බව අමුතුවෙන් අවධාරණය කළ යුතු නොවේ.
මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවාසීන්ගේ සිතුම් පැතුම්, ආකල්ප, විශ්වාස හා අදහස් උදහස් පිළිබඳ මනෝ විද්‍යාත්මක අංශයෙන් අවධානය යොමුකොට සිදුකළ අත්‍යුදාර වූ ධර්ම දූත සේවාව සෙසු අන් එක ද රටකටවත් සිදුකළ ධර්ම දූත සේවාවට නොදෙවෙනි විශිෂ්ටත්වයක් ප්‍රකට කළ බව ඉතා පැහැදිලි ය.
රටක අනාදිමත් කාලයක පටන් පවත්නා සංස්කෘතියට නව සංස්කෘතියක් ආදේශ කරවීම කිසිසේත්ම පහසු කටයුත්තක් නොවේ. එය ඉතා විචාරශීලී බුද්ධිමය පදනමක පිහිටා රටේ පවත්නා සංස්කෘතියට ද හානියක් නොවන ලෙස සිදුකළ යුත්තකි.
මෙහිදී මිහිඳු මාහිමි සිදු කළේ ප්රාග් බෙද්ධ යුගයේ ලංකාවේ පැවැති සංස්කෘතිය වටහාගෙන එහිම හරවත් පරිවර්තනයක් සිදු කිරීමයි. පැවැති සංස්කෘතිය හෙළා දැක විවේචනය කිරීමවත්, එය සහමුලින් ම ප්‍රතික්ෂේප කිරීමවත්, මෙහි දී සිදු නොවුණි.
මිහිඳු මාහිමියන්ගේ මෙකී දූරදර්ශී වැඩ පිළිවෙල නිසාම එකල වෘක්ෂ දේවතාවුන් ඇදහූවෝ බෝධි වන්දනාව හා බෝධි පූජා සිදු කිරීමට පෙළඹුණහ.
ගිනි දෙවියන් පිදුවෝ බුදුරදුන් පිදූහ. මළවුන් ඇදහූ අය මළවුන්ට පින් අනුමෝදන් කරවීමෙන් එම යුතුකම සිදු කළහ.
ගල් පර්වතවලට වන්දනාමාන සිදු කළ අය චෛත්‍ය හා බුදු පිළිමවලට වන්දනා කිරීමෙන් ස්වකීය ආධ්‍යාත්මික පාරිශුද්ධත්වය සලසා ගන්න. දෙවියන් ඇදහූ අය දෙවියන්ට පින්දීමට හුරුපුරුදු වූහ. මේ අනුව පැහැදිලි වන්නේ අනවබෝධය නිසා යම් යම් නිරර්ථක ආගමික සංස්කාර විධීන් හුරු පුරුදු වූ ජනතාව බුද්ධියේ නිම්වළලු පුළුල්වීමත් සමඟම හරවත් ආමිස හා ප්‍රතිපත්ති පූජාදිය කෙරෙහි කෙමෙන් කෙමෙන් නැඹුරු වූ බවයි.