“තිරසර සංවර්ධන ඉලක්ක ක්‍රියාත්මක කිරීමට සහාය වීම සඳහා ප්‍රතීතනය” තේමා කොටගත් ලෝක ප්‍රතීතන දින සැමරුම අද දින වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. මාර්ගගත ක්‍රමය ඔස්සේ පැවැත්වූ මෙම අවස්ථාවේදී 2030 වන විට ශ්‍රී ලංකාවේ තිරසර සංවර්ධනයක් ඇති කිරීම උදෙසා ප්‍රතීතනය භාවිතා කළ යුතු ආකාරය සම්බන්ධව විශේෂ දේශනයක් හා විද්වත් කතිකාවතක් ද පවත්වන ලදී.
මෙම අවස්ථාවේදී වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා සිය අදහස් දක්වමින්, දේශීය දැනුම ලොවට ගෙන යාමේ මුවදොර වශයෙන් මෙම ආයතන පවත්වා ගැනීම කෙරෙහි අවධානය යොමු කරන මෙන් ඉල්ලීමක් සිදු කරන ලද අතර, අනුකූලතා තක්සේරු පිළිබඳ ශ්‍රී ලංකා ප්‍රතීතන මණ්ඩලය ස්වාධීන ආයතනයක් වශයෙන් කටයුතු කරමින් මෙරට ජනතාවගේ යහ පැවැත්ම උදෙසා තිරසර සංවර්ධන ඉලක්ක කරා ගමන් කරනු ලබන ආකාරය ද පැහැදිලි කරන ලදී. එමෙන්ම, දේශීය නිෂ්පාදකයින් හා අපනයනකරුවන්ගේ නිෂ්පාදනයන් සඳහා ලෝක ප්රමිතීන් යටතේ ගුණත්වය සම්බන්ධ තත්ව පරීක්ෂණ ආයතන මෙරට තුළ නොමැති වීමේ තුළින් ඇති වන ගැටළු පිළිබඳව ද අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දෙන ලදී.
විවිධ පාර්ශ්වයන් දායක කරගනිමින් ප්‍රතීතන මණ්ඩලයේ ක්‍රියාවලිය සම්බන්ධව සියළුම විශ්වවිද්‍යාල, අනුබද්ධ ආයතන හා ඉන් පිටත දැනුවත් කිරීමේ වැඩසටහන් පැවැත්විය යුතු බව ද, එමඟින් රටට අත්‍යවශ්‍ය තිරසර සංවර්ධන ඉලක්ක සපුරා ගැනීමට කඩිනම් ක්‍රියාමාර්ග ගත හැකි බව ද අමාත්‍යවරයා මෙහිදි වැඩිදුරටත් සඳහන් කරන ලදී.
එමෙන්ම මෙම අවස්ථාවේදී, භාණ්ඩ වල තත්ව පරීක්ෂා කරන ආයතන වල නිපුණතා තක්සේරුව සිදු කෙරෙන ආයතනය වශයෙන් අනුකූලතා තක්සේරුව පිළිබඳ ප්‍රතීතන මණ්ඩලය විසින්, වර්ෂ 2030 වන විට සපුරා ගත යුතු ඉලක්ක සම්බන්ධයෙන් සහාය වීම පිළිබඳව තිරසර සංවර්ධන සභාව සමඟ හා SLYCAN Trust ආයතනය සමඟ ගිවිසුම් කිහිපයකට ද එළඹිණි.
මෙම අවස්ථාව සඳහා වෙළෙඳ අමාත්‍යාංශ ලේකම් භද්‍රාණි ජයවර්ධන මහත්මිය, ආරාධිත දේශනය වෙනුවෙන් මහාචාර්ය සරත් කොටගම මහතා, අනුකූලතා තක්සේරුව පිළිබඳව ශ්‍රී ලංකා ප්‍රතීතන මණ්ඩලයේ සභාපති ආචාර්ය සම්පත් වාහළ මහතා, එම ආයතනයේ අධ්යක්ෂ චන්ද්‍රිකා තිලකරත්නම් මහත්මිය, තිරසර සංවර්ධන සභාවේ අධ්යක්ෂ ජනරාල් චමින්ද්‍රි සපරමාදු මහත්මිය, SLYCAN Trust ආයතනය වෙනුවෙන් වොසිත විජේනායක මහතා හා මාර්ගගත ක්‍රමය ඔස්සේ නිලධාරීන් පිරිසක් සහභාගී වී සිටියහ.