Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

හෝමාගම මූලික රෝහලට ලීටර දසදහසක ධාරිතාවයෙන් යුත් ඔක්සිජන් සැපයුම් නළ පද්ධතියක්

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

ශ්‍රී ලංකා පොදුජන ඉංජිනේරු පෙරමුණු සාමාජිකයන්ගේ දැනුම, ශ්‍රම, හා මූල්‍ය ශක්තියෙන් හෝමාගම මූලික රෝහලේ ඉදි කරන ලද ලීටර් දසදහසක ධාරිතාවයෙන් යුතු ඔක්සිජන් පිරවුම් නළ පද්ධතිය හා ඊට අදාළ අනෙකුත් යටිතල පහසුකම් රෝහල වෙත භාරදීම අද දින වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

කොවිඩ් පිටුදැකීමේ ස්වේච්ඡා බලකායේ පොදුජන ඉංජිනේරු පෙරමුණේ සාමාජිකයන් විසින් හෝමාගම රෝහලේ ඇඳන් 206ක් ආවරණය වන පරිදි මෙම ඔක්සිජන් සැපයුම් නළ පද්ධතිය ස්ථාපිත කර ඇති අතර මෙම අවස්ථාවේදී මාධ්‍ය හමුවේ අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේ සඳහන් කරන ලදී.

“කොවිඩ් පළමු රැල්ලේ සිටම හෝමාගම රෝහලේ සමස්ත කාර්ය මණ්ඩලයම සිය ජීවිත අවදානම පිළිබඳව ද නොතකමින් කොවිඩ් පිටුදැකීම සඳහා මහඟු සේවයක් ඉටු කළා. මේ හේතුවෙන් විවිධ පාර්ශ්වයන් හෝමාගම දිස්ත්‍රික් රෝහල වෙත විවිධ පහසුකම් ලබා දීමට ඉදිරිපත් වුණා.

ඒ අනුව අද දින ශ්‍රී ලංකා පොදුජන ඉංජිනේරු පෙරමුණ විසින් ඔවුන්ගේ දායකත්වයෙන් මෙවැනි ඔක්සිජන් සැපයුම් නළ පද්ධතියක් පරිත්‍යාග කර, මෙරටට අත්‍යවශ්‍ය පහසුකමක් ලබා දෙමින් සිදු කළ පුණ්‍ය කටයුත්ත සම්බන්ධයෙන් රජය වෙනුවෙන්, රෝහල් කාර්ය මණ්ඩලය වෙනුවෙන් මෙන්ම සමස්ත රෝගී ජනතාව වෙනුවෙන් බෙහෙවින් ස්තුතිවන්ත විය යුතුයි.”

ඒ අනුව හෝමාගම දිස්ත්‍රික් රෝහල විසින් කොවිඩ් ප්‍රතිකාර රෝහලක් වශයෙන් කටයුතු කරමින් පවතින අවස්ථාවක විශාල අඩුපාඩුවක්ව පැවති ඔක්සිජන් සැපයුම් නළ පද්ධතියක් ලබා දීමට පොදුජන ඉංජිනේරු පෙරමුණ ස්වේච්ඡාවෙන්ම ඉදිරිපත් වෙමින් කටයුතු කළ පරිදිම, අනෙකුත් කොවිඩ් සඳහා ප්‍රතිකාර කෙරෙන රෝහල් සඳහා ද අවශ්‍ය ඔක්සිජන් සැපයුම් නළ පද්ධතීන් වැනි අත්‍යවශ්‍ය පහසුකම් සකස් කරමින් රජයත්, අනෙකුත් සියළුම පාර්ශ්වයන්ගේ ඒකාබද්ධව කටයුතු කිරීම තුළ මෙරටින් කොවිඩ් තුරන් කිරීමේ හැකියාව ලැබෙනු ඇති බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරන ලදී.

මෙම අවස්ථාව සඳහා හෝමාගම දිස්ත්‍රික් රෝහල් අධ්‍යක්ෂකතුමා ඇතුළු කාර්ය මණ්ඩලයත්, පොදුජන ඉංජිනේරු පෙරමුණේ සාමාජිකයින් පිරිසක් ද සහභාගී වී සිටියහ.

Scroll to Top