Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

අවසාන කාලය පැමිණි විට පාලකයින් සාංඝීක දේපොළ වලට බැල්ම හෙළනවා

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

ජන බලයෙන් පිරිහුණු පාලකයින් තම අවසාන කාලය පැමිණි විට සාංඝීක දේපොළවලට බැල්ම හෙළන බවත් වත්මන් ආණ්ඩුව මෙතරම් ඉක්මනින් එවැනි පරිහානියක් කරා පැමිණෙනු ඇතැයි ජාතික ව්‍යාපාරය කිසිලෙසවත් අපේක්ෂා නොකළ බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී, සිංහල රාවය පක්ෂයේ නායක පූජ්‍ය අක්මීමණ දයාරතන හිමියෝ කියති.

උන්වහන්සේ පැවසුවේ නාගරික සංවර්ධන අධිකාරිය මගින් රුපියල් මිලියන 1500ක් වැය කොට කොළඹ ඩීඑස් සේනානායක විදුහලේ හා යාබද  ශ්‍රී බෞද්ධාලෝක විහාරයට අයත් ඉඩම් කොටසක් රජයට පවරාගෙන වාහන අංගණයක් ගොඩනැගීමට ගත් පියවර සම්බන්ධයෙන් සිංහල රාවය පක්ෂය දැඩි කම්පනයටත් අපේක්ෂාභංගත්වයටත් පත් වූ බවයි.

එම සැලකුම හකුළා ගත් බව නාගරික සංවර්ධන අධිකාරිය පැවසුව ද අනතුර පහව ගොස් නැති බවත් කොළඹ පමණක් නොව නාගරික ප්‍රදේශවල පිහිටි බෞද්ධ සිද්ධස්ථානවලට අලුත් අනතුරක් නිර්මාණය වී ඇති බවත් අක්මීමණ දයාරතන හිමියෝ පැවසූහ.

උන් වහන්සේ මේ බව පැවසුවේ සිංහල රාවය පක්ෂ මූලස්ථානයේ පැවැති විශේෂ මාධ්‍ය හමුවේදීය. මේ සදහා සිංහල රාවය පක්ෂයේ මහ ලේකම් ශාලික පෙරේරා ඇතුළු පිරිසක් සහභාගී වූහ.

මෙහිදී පූජ්‍ය අක්මීමණ දයාරතන හිමයෝ මෙසේද පැවසූහ.

‘‘අපි දැක්කා පහුගිය යහපාලන ආණ්ඩුව කාලේදී පමණක් නොවෙයි ඊට පෙරත් බලයේ සිටි පාලකයෝ තමන්ගේ ව්‍යාපාරික මිතුරන් සහ අවස්ථාවාදී නිලධාරීන් සමග කල්ලී ගැසී සාංඝීක දේපොළවලට බැල්ම හෙළන ආකාරය. ඒත් ඒ සියලු දෙනාගේම අවසානය කවුරුත් විශ්වාස නොකළ ආකාරයට අවසාන වුණා. අතැමුන් දේශපාලනයෙන් චුලවෙලා ගියා. නන්නත්තාර වුණා.

මහජන බලයෙන් පිරිහෙන, බලයට පත්වීමට ජනතාවට දුන් පොරොන්දු ඉටු කිරීමට නොහැකි පාලයෝ අවසානයේ යන යකා කොරහත් බිදගෙන යනවා වාගේ සාංඝික දේපොළ පවා කොල්ල කාලා තමන්ගේ ගජ මිතුරන් පිනවීමට පියවර ගන්නා නිර්ලජ්ජිත ඉතිහාසයක් අපට තිබෙනවා.

ඒත් බෞද්ධ භික්ෂූන් වහන්සේලා, 99%ක් සිංහල බෞද්ධයින් සහ බෞද්ධ ජාතික ව්‍යාපාරය විසින් බලයට පත් කළ ආණ්ඩුවක්, ජනාධිපතිවරයෙක් යටතේ අපි මෙවැනි පියවරක් කිසිසේත් බලාපොරොත්තු වුණේ නැහැ. අපි බලාපොරොත්තු වුණේ අන්‍යාගමිකයින්, අවස්ථාවාදී දේශපලනඥයින් විසින් විනාශ කරන ලද, කොල්ලකන ලද සිංහල බෞද්ධ උරුමය යළි තහවුරු කරන, සුරක්ෂිත කරන පාලනයක්.

ඒකයි සිංහල බෞද්ධයින් ලෙස, ජාතික ව්‍යාපාරය ලෙස අපේ උතුම්ම, එකම අරමුණ වුණේ. අපිට කලු සල්ලි සුදු කරන්න, රාජ්‍ය දේපොළ කොල්ල කන්න, තනතුරු තාන්නමාන්න ගන්න, වරප්‍රසාද ගන්න වුවමනාවක් තිබුණේ නැහැ. අපේ එකම අරමුණ වුණේ සිංහල ජාතික ව්‍යාපාරය දිවිහිමියෙන් රැකගත් සිංහල බෞද්ධ උරුමය රැක ගැනීමයි. එය සුරක්ෂිත කර දියුණු කර අනාගත පරපුරට උරුම කිරීමයි. ඒත් දැන් අපේ ඒ අපේක්ෂාව විනාශ වෙමින් තිබෙනවා.

දැන් ආණ්ඩුවට පවසන්න පුළුවන් අපි ශ්‍රී බෞද්ධාලෝක විහාරයට අයත් ඉඩම අත්පත් කර ගැනීමට ගත් තීරණය ඉවත්කර ගත්තා කියලා. ඒත් ඒක වුණේ ආණ්ඩුවේ අවංක කම නිසා නොවෙයි. සමාජමාධ්‍ය සහ ජාතික ව්‍යාපාරය කළ දැඩි බලපෑම නිසයි.

ඒ නිසා අපි ආණ්ඩුවට, විශේෂයෙන් ආණ්ඩුවේ රැකවරණය ලබමින් සිංහල බෞද්ධ උරුමය විනාශ කරන්න මාන බලන සියලුම දෙනාට දැඩි අනතුරු ඇගයීමක් කරනවා. සිංහල බෞද්ධ උරුමයට අති තියන්න ආවොත්, සාංඝීක දේපොළවලට කෑදරකම් කළොත් ඒක බලයේ රස බලන අවසාන මොහොත බව සිතා ගන්න කියලා.

පසුගිය ජනාධිපතිවරණයේදී 69 ලක්ෂයක් සිංහල බෞද්ධයින් ජනාධිපතිවරයාට ඡන්දය දුන්නේ ව්‍යපාරික මාෆියාව පිනවන්න නොවන බව අපි අවධාරණය කරනවා. අපි ඉල්ලන්නේ සෞභාග්‍ය යේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනයේ තිබෙන, මේ රටේ සිංහල බෞද්ධයින් වඩාත් උනන්දුවෙන් සිටින පොරොන්දු ඉටුකරන්න කියලා.

ඒවා ඉටුකරන්න ප්‍රමුඛතාව දෙන්න කියලා. එසේ නොකර, කොළඹ වරාය නගරය වාගේ ජනතා ද්‍රෝහී ව්‍යාපෘති ඉදිරියට ගෙනාවොත් එදා යහපාලන ආණ්ඩුවට, රනිල් – මංගල හවුලට අත් වුණ ඉරණමට වඩා නරක ඉරණමකට වත්මන් පාලකයින්ට මුහුණදීමට සිදුවෙන බව පැහැදිලියි‘‘

Scroll to Top