Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

අත්තනගලු ඔය, කළු සහ කැලණි ගංවතුර තත්ත්වය වර්ධනය වීමේ අවදානමක්

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

අත්තනගලු ඔය, කළු ගඟ ද්‍රෝණිය හා කැලණි ගඟ ද්‍රෝණියේ දැනට පවතින සුළු ගංවතුර තත්ත්වය ඉදිරි පැය 24 තුළ සුළු වශයෙන් වර්ධනය විය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

එම නිසා පහත් බිම්වල ජනතාවට විමසිලිමත් වන්නැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව උපදෙස් දෙයි.

අද (05) උදෑසන 5.30 න් අවසන්වූ පැය 21 තුළ වැඩිම වර්ෂාපතනය ගම්පහ, අල්ගම ප්‍රදේශයෙන් වාර්තාවී තිබේ.එම අගය මි.මී. 188 කි.

ගලිගමුව ප්‍රදේශයට මිලිමීටර් 132 ක් සහ පස්යාල දන්සල්වත්ත ප්‍රදේශයට මි.මී. 130 ක වර්ෂාපතනයක් ලැබී ඇතැයි, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.

මේ අතර අද දිනයේ බස්නාහිර හා සබරගමුව පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 100 ඉක්මවූ වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.

පවතින වැසි තත්ත්වය අදින් පසු ප්‍රමාණාත්මකව අඩුවන බව, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.

මේ අතර ආපදා තත්ත්වය හේතුවෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 04 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

බස්නාහිර, සබරගමුව, වයඹ සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල, මාතර, මන්නාරම සහ යාපනය දිස්ත්‍රික්කවලත් අද (05) දිනයේ විටින්විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ බස්නාහිර සහ සබරගමුව පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 100ක පමණ තද වැසි ද ඇතිවිය හැකි බවය.

වයඹ සහ මධ්‍යම පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 50 ට වැඩි තරමක් තද වැසි ද ඇතිවේ.

සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රි කාලයේදී තැනින්තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවරගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලීමක් ද කරයි.

අත්තනගලු ඔය ද්‍රෝණියේ ඉහළ සහ මධ්‍යම ධාරා ප්‍රදේශවල බොහෝ ස්ථානවලට මේ වනවිට මිලිමීටර් 100කට ආසන්න වර්ෂාපතනයක් ලැබි ඇති බැවින් එම ද්‍රෝණිය තුළ නඩත්තු කරන ලද ගංගා ජල මාපකවල ජල මට්ටම ද ඉහළ ගොස් තිබේ.

ඒ අනුව මීරිගම, අත්තනගල්ල, මහර, ගම්පහ, මිනුවන්ගොඩ, ජා ඇළ, කටාන යන ප්‍රදේශීය ලේකම් කොට්ඨාසවලට අයත් අත්තනගලු ඔය සහ උරුවල් ඔය නිම්නවල පහත්බිම්වල දැනට පවතින ගංවතුර තත්ත්වය වර්ධනය විය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පෙන්වාදෙයි.

මේ අතර කළු ගං ද්‍රෝණියේ ද නඩත්තු කරන ගංගා ජල මාපාංකවල ජල මට්ටම විශ්ලේෂණය කිරීමේ දී හොරණ අගලවත්ත, ඉංගිරිය, පාලින්දනුවර, බුලත්සිංහල, දොඩංගොඩ, මිල්ලනිය, මදුරාවල සහ කළුතර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට අයත් පහත්බිම්වල පවතින ගංවතුර තත්ත්වය ඉදිරි පැය 24 තුළ ද පවතිනු ඇත.

මේ පිළිබඳව අදාළ ප්‍රදේශවල පදිංචි ජනතාව දැඩි සැලකිල්ලක් දැක්විය යුතු බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.

මීට අමතරව කැලණි, ගිං, නිල්වලා, මහවැලි යන ගංගාවල ජල මට්ටම් ද මහඔයේ ජල මට්ටම් ද තවදුරටත් ඉහළ ගොස් තිබේ.

මාවනැල්ල දෙවනගල ප්‍රදේශයේ නිවසක් මතට පස් කන්දක් කඩාවැටීම හේතුවෙන් පුද්ගලයින් සිව් දෙනෙකු අතුරුදන්ව තිබේ.

අදාළ පුද්ගලයින් සෙවීම සඳහා මේ වනවිට එම ප්‍රදේශයට යුද හමුදා නිලධාරීන් යොමුකර ඇති බව වාර්තා වෙයි.

මේ අතර වරකාපොළ අල්ගම ප්‍රදේශයේ නිවසක් මතට අද (05) අලුයම පස්කන්දක් කඩාවැටීම හේතුවෙන් ද එහි සිටි පුද්ගලයෙකු මියගොස් ඇති බව කෑගල්ල දිස්ත්‍රික් ලේකම් මහින්ද එස්.වීරසූරිය මහතා සඳහන් කළේය.

අධික වර්ෂාවත් සමග ඇතිවූ ගංවතුර හේතුවෙන් හුලං පිරවූ ටියුබයක ආධාරයෙන් දරුවෙකු සමග ගමන් කරමින් සිටි පුද්ගලයෙකු ටියුබය පෙරළී අනතුරකට මුහුණ පා තිබේ.

එම අනතුරින් අදාළ පුද්ගලයා දියේ ගිලී මියගොස් ඇත.

මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට තවදුරටත් ඇද හැලෙන අධික වර්ෂාව හේතුවෙන් ඉහල කොත්මලේ ජලාශයේ එක් වාන් දොරටුවක් (04) දින රාත්‍රියේ සිට විවෘත කර ඇති බව නුවරඑලිය දිස්ත්‍රික් ආපදා කලමණාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂක රංජිත් අලහකොන් මහතා පැවසිය.

ඉහල කොත්මලේ ජලාශයේ ඉහල ජල පෝෂක ප්‍රදේශයට ඇද හැලුණු අධික වර්ෂාවත් සමග ජලාශයේ එක් වාන් දොරටුවක් ස්වංක්‍රියව විවෘත වි ඇති බවත්, තවදුරටත් එම ජල පෝෂක ප්‍රදේශවලට තද වැසි පතිත වුවහොත් ජලාශයේ සෙසු වාන් දොරටු ස්වයංක්‍රියව විවෘත වන නිසා ජලාශ වේල්ලට පහලින් කොත්මලාඔයේ දෙපස පදිංචිකරුවන් සැලකිලිමත්ව සිටින ලෙස ජලාශ භාර ඉංජිනේරුවන් කියා සිටියි.

අධික වර්ෂාවත් සමග හැටන් නුවරඑලිය ප්‍රධාන මාර්ගයෙත්, හැටන් කොළඹ ඒ 7 ප්‍රධාන මාර්ගයෙත් ඝන මිදුම් තත්ත්වයක් පවතින නිසා එම මාර්ග වල අත්‍යවශ්‍ය රාජකාරි සදහා සේවකයින් රැගෙන යන වාහන වල රියදුරන් සැලකිලිමත් ලෙස සෙමින් රිය ධාවනය කරවන ලෙස හැටන් පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටියි.

කාසල්රි සහ මවුස්සාකැලේ ජල පෝෂක ප්‍රදේශවලට ඇද හැලෙන අධික වර්ෂාවත් සමග විමලසුරෙන්ද්‍ර ජලාශය (04) දින රාත්‍රියේ සිට වාන් දැමිමට පටන්ගෙන ඇති අතර, ලක්ෂපාන ජලාශයේ එක් වාන් දොරටුවක් විවෘත කර ඇති බව නුවරඑලිය ආපදා කලමණාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂක රංජිත් අලහකොන් මහතා පැවසිය.

එම ජල පෝෂක ප්‍රදේශවලට (04) දින පස්වරුවේ සිට අධික වර්ෂාව ලැබෙමින් පවතින බවත්,එම ජල පෝෂක ප්‍රදේශවලට තවදුරටත් වැසි ලැබුණහොත් ලක්ෂපාන ජලාශයේ සෙසු වාන් දොරටු විවෘත කිරිමට ඉඩ ඇති බව ආපදා කලමණාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂකවරයා පැවසිය.

එම ජල පෝෂක ප්‍රදේශවලට අධික වැසි පතිත විමත් සමග කැනියොන් , ලක්ෂපාන , නව ලක්ෂපාන , පොල්පිටිය සහ විමලසුරෙන්ද්‍ර ජල විදුලි බලාගාර වල විදුලි උත්පාදනය උපරිම ධාරිතාවෙන් සිදු කරන බව එම විදුලි බලාගාර ඉංජිනේරුවන් පැවසිය.

Scroll to Top