දිවයිනේ ප්‍රදේශ රැසකට ඇදහැලුණු මහ වැසි හේතුවෙන් ඇතැම් ප්‍රදේශවල පහත්බිම් හා මාර්ග ජලයෙන් යට වී තිබිණි.
මේ හේතුවෙන් ජනතාව දැඩි දුෂ්කරතාවයට පත්වූහ.
ගංගා පෝෂණ කලාපයන්ට ද මහ වැසි ඇදහැලීම හේතුවෙන් ගංගා තුනක් ආශ්‍රිතව ගං වතුර අවදානමක් මතුව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිවේදනය කළේය.
කළු, කැලණි ගංගා සහ අත්තනගලු ඔය ආශ්‍රිතව මෙම ගං වතුර අවදානම මතුව ඇත.
කළු ගඟ ද්‍රෝණියේ මධ්‍යම සහ පහළ ධාරා ප්‍රදේශවල බොහෝ ස්ථානවලට මිලි මීටර් 175 කට අධික වර්ෂාපතනයක් ලැබී ඇතැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව සදහන් කරයි.
කළුගඟේ මගුර ජල මිනුම් ස්ථානය ද ඇත්තේ අනතුරුදායක තත්ත්වයේයි. වාර්මාර්ග දෙපාර්තමේන්තුවේ දත්තවලට අනුව එම ස්ථානයෙන් කලු ගගේ ජල මට්ටම ද ඉහළ යමින් පවතිනවා.
ඒ අනුව හොරණ, අගලවත්ත, ඉංගිරිය, පාලින්ද නුවර, බුලත්සිංහල, දොඩංගොඩ, මිල්ලනිය, මදුරාවල සහ කළුතර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවලට අයත් කළු ගඟ නිම්නයේ පහත්බිම් ප්‍රදේශවල දැනට පවතින සුළු ගංවතුර තත්ත්වය තවදුරටත් වර්ධනය විය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.
ගත වූ පැය 24 තුළ වැඩිම වර්ෂාපතනය ඉංගිරිය ප්‍රදේශයෙන් වාර්තා වී තිබේ. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේ, එහි අගය මි.මී. 311.5 ක් වන බවයි.
මීට අමතරව හොරණට මි.මී. 280 ක වර්ෂාපතනයක් සහ මිනුවන්ගොඩට මි.මී. 179 .5 වර්ෂාපතනයක් ලැබී තිබේ.
අඹතලේ ජල පවිත්‍රාගාරයේ හදිසි විදුලි බිඳ වැටීමක් හේතුවෙන් කොලොන්නාව, මොරගස්මුල්ල, රාජගිරිය සහ රාජගිරියේ සිට නාවල දක්වා ප්‍රදේශයේ ජල සැපයුමට බාධා එල්ලවී ඇත.
මෙම තත්ත්වය කඩිනමින් යථා තත්ත්වයට පත්කිරීමට පියවර ගනිමින් සිටින බව සදහන් වේ.
පවතින වැසි තත්වට ඉදිරි පැය 24 ඉක්මවා පවතිනු ඇති බවට ද අනතුරු ඇගවීමක් නිකුත් කර ඇත.
අවදානම් ප්‍රදේශවල ජනතාව මේ පිළිබඳ දැඩි සැලකිල්ලෙන් කටයුතු කරන ලෙසට ද වාරිමාර්ග දෙපාර්තමේන්තුව ඉල්ලීමක් කරනු ලැබේ.
කැලණි ගඟේ ජල මට්ටම ඉහළයාමෙන් පූගොඩ ප්‍රදේශයේ ද පහත් බිම් ජලයෙන් යටව තිබිණි.
අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 7ක නායයෑමේ අවදානමක් මතුව ඇතැයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය නිවේදනය කර තිබූ අතර කොළඹ, කළුතර, ගාල්ල, මාතර, කෑගල්ල, නුවරඑළිය සහ රත්නපුර යන දිස්ත්‍රික්කයන්හි මෙම අවදානම මතුව තිබේ.
දිවයිනේ නිරිත දිග කොටසේ දැනට පවතින වැසි තත්ත්වය තවදුරටත් පවතී යැයි බලාපොරොත්තුවේ.
බස්නාහිර, සබරගමුව, වයඹ සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.
සෙසු ප්‍රදේශ වල සවස් කාලයේදී හෝ රාත්‍රි කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 150 ට වැඩි ඉතාතද වැසි ද ඇතිවිය හැක. මධ්‍යම සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 100 ට වැඩි තද වැසි ද ඇතිවිය හැක.
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.
මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට ඝන මිදුම් තත්ත්වයක් මතු වි ඇත.
හැටන් කොළඹ ඒ 7 ප්‍රධාන මාර්ගයෙත්, හැටන් නුවරඑලිය ප්‍රධාන මාර්ගයෙත් , ගිනිගත්හේන ,හැටන්,කොටගල , තලවකැලේ,නානුඔය සහ නුවරඑලිය යන ප්‍රදේශවලට මෙම ඝන මිදුම් තත්ත්වය පැවතින.
පනවා ඇති සංචරණ සිමා හේතුවෙන් අත්‍යවශ්‍ය සේවා රාජකාරි සදහා සේවකයින් ප්‍රවාහනය කරන වාහන වල රියදුරන් පවතින ඝන මිදුම් තත්ත්වය පිලිබදව සැලකිල්ලට ගෙන සෙමින් රිය ධාවනය කරවන ලෙස හැටන් පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටියි.