Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

නව මූල්‍ය මූලෝපායක් අත්‍යාවශ්‍යයි   

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

අප මෙය ලියනුයේ, හුදු පටු දේශපාලන අරමුණක් පෙරදැරි කරගෙන නම් නොවේ. මෙය 2016 වසරේ අප විසින් රචනා කළ ‘මූල්‍ය අගාධයක් අභියස’ නම් කෘතිය යාවත්කාලීන කිරීමකි. එමෙන්ම පවත්නා රජයට ආර්ථික ක්‍රමෝපාය පිළිබඳ අඩු පාඩු නිවැරදි කරගැනීමට නැවතත් කරනා ආයාචනයකි. වැරදි ආර්ථික ක්‍රමෝපායන් නිවැරදි කරගැනීමට රජයට බලපෑම් කිරීමට අවශ්‍ය දැනුවත්භාවය මහජනතාව තුළ ඇති කිරීමට ගන්නා අවංක උත්සාහයකි.

රාජ්‍ය මූල්‍ය අගාධය අභියස

දැන් අප අත්විඳිමින් තිබෙන්නේ ඉතිහාසයේ දරුණුතම රාජ්‍ය මූල්‍ය ඛේදවාචකයටයි. වසර ගණනක් මුළුල්ලේ විනයකින් තොරව ක්‍රියාත්මක වූ රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තිය රටේ ණය බර ඉහළ දමා ඇත. විශේෂයෙන්ම කෙටිකාලීන අධික පොලියෙන් යුතු ණය දිගු කාලීන, සමහරවිට ප්‍රතිලාභ නොලබන මහා පරිමාණ ව්‍යාපෘතිවල ආයෝජනය කිරීම අප රටක් වශයෙන් කළ සුවිශාල වරදකි.

මෙය අප විසින් 2014 දී රචනා කරන ලද ‘ආලපාලු ආර්ථිකය’ නම් කෘතියෙන් මනාව පෙන්වා දී තිබේ. එමෙන්ම පසුගිය 2019 දෙසැම්බර් මස සිට ක්‍රියාත්මක කළ බදු සහන පැකේජය මෙම අදූරදර්ශී මූල්‍ය ප්‍රතිපත්තියේ කූඨ ප්‍රාප්තිය බව මගේ පුද්ගලික මතයයි.

මෙහි ප්‍රතිඵලයක් වශයෙන් රාජ්‍ය අංශයේ ණය දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස 109.7% ක් ලෙස මහ බැංකුව වාර්තා කර ඇත. මෙය ඉතිහාසයේ ඉහළම අගයයි. රජය විසින් ස්වෛරී බැඳුම්කර වටිනාකම අඩුවෙන් දැක්වීම නොසලකා හැරියොත් මෙය දළ දේශීය නිෂ්පාදනයෙන් 113% ඉක්මවා යනු ඇත. මෙම ණය ඉහළ යෑමට බලපෑවේ බදු සහන පැකේජය හරහා රාජ්‍ය ආදායම 40% කින් පමණ කඩා වැටී, අය වැය හිඟය දළ දේශීය නිෂ්පාදනයට 11.1% ක මට්ටමට ඉහළ යාමයි. සත්‍ය අය වැය හිඟය, හිඟ පියවීම් සමඟ ගැලපුවහොත් දළ දේශීය නිෂ්පාදනයෙන් 14% ක් ලෙස ඉහළ යනු ඇත.

COVID-19 නිසා ඇති වී ඇති ආර්ථික අර්බුදයේ ප්‍රතිවිපාක මීට අඩු වැඩි වශයෙන් බලපා ඇත. නමුත් දළ දේශීය නිෂ්පාදිතය විශාල වශයෙන් අඩු වී ඇති අවස්ථාවක (සෘණ ආර්ථික වර්ධනයක් සහිත) රාජ්‍ය ආදායම දළ දේශීය නිෂ්පාදනයට ප්‍රතිශතයක් ලෙස ඉතිහාසයේ අවම මට්ටම වූ 9.2% වූ වාර්තා කරනා විට මෙම අර්බුදය කොරෝනා වෛරසයට වඩා රාජ්‍ය බදු ප්‍රතිපත්තිය නිසා සිදුවූවක් ලෙස හඳුනාගත හැක. ණය ගෙවීමට පමණක් රජයේ මුළු ආදායමෙන් 70% කට වඩා වැය වන බව තේරුම්ගත් විට මෙම අර්බුදය තවත් පැහැදිළි වෙයි. තිරසර නොවන මුල්‍ය ප්‍රතිපත්ති නිසා ඉදිරියේදී ශ්‍රී ලංකාවේ ණයබර දැරිය නොහැකි ලෙස ඉහළ යනු ඇතැයි ලෝක බැංකුව වැනි ජාත්‍යන්තර මුල්‍ය ආයතන දැනටත් පුරෝකථනය කර ඇත (වගුව 1).

වගුව 1: ආරථික පුරෝකථන

  2018 2019 2020 2021 f 2022 f
ආර්ථික වර්ධනය 3.3 2.3 -3.6 3.4 2.0
රාජ්‍ය අය  වැය හිඟය (ද.දේ .නි %) -5.4 -6.8 -12.6 -9.4 -8.9
මුළු රාජ්‍ය අංශයේ ණය (ද.දේ .නි %) 92.2 94.3 109.7 115.0 117.7

මුලාශ්‍රය: ලෝක බැංකුව

පවත්නා රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තිය යටතේ රාජ්‍ය ණය තවදුරටත් ඉහළයාම, රට බංකොළොත්භාවය දක්වා ගමන් කිරීමත් වැළැක්විය නොහැක. මෙම මූල්‍ය ප්‍රතිපත්තිය රටේ ණය ශ්‍රේණිගත කිරීම අධි අවධානම් රටක් දක්වා පහළ යාමට ද හේතුවක් විය. ශ්‍රේණිගත කිරීම පහළ යාම නිසා අපේ රට ඇන්ගෝලාව, ආජන්ටිනාව, මොසැම්බික් රාජ්‍යය, කොන්ගෝව, ඉතියෝපියාව, ගැබෝන් රාජ්‍යය යන රටවල් කණ්ඩායමට එකතු වී ඇති අතර ජාත්‍යන්තර මූල්‍ය වෙළෙඳපොළවල් හරහා අරමුදල් සම්පාදනයට ඇති ඉඩ කඩ සම්පූර්ණයෙන්ම ඇහිරී ඇත. එනම්, ආර්ථික සංවර්ධනයට මෙන්ම ගත් ණය ආපසු ගෙවීම සඳහා විදේශීය ණය පහසුකම් ලබාගත නොහැකි රටක් බවට බංකොලොත්භාවයේ මුව විටට වැටී ඇත. සාමාන්‍ය වශයෙන් වසරකට ඇමෙරිකානු ඩොලර් බිලියන 6-7 කට ආසන්න ණය සහ පොලිය ගෙවීම් ශ්‍රී ලංකාවට තවදුරටත් හැකියාව නැත.

තත්ත්වය පාලනයට දැනට පවත්නා ක්‍රමෝපාය සෑහේද ?

පවත්නා මූල්‍ය අර්බුදයට රජය ගන්නා පියවර සම්බන්ධයෙන් රටක් වශයෙන් අපට සෑහීමකට පත්විය හැකි ද ?

රාජ්‍ය මූල්‍ය හිඟය පියවීමට අසීමාන්තිකව මුදල් අච්චු ගැසීම හා බැංකු වලින් ණය ගැනීම පළමු ප්‍රතිචාරය වී ඇත. 2020 වසරේ රුපියල් බිලියන 650 ක මුදල් අච්චු ගසා නිකුත් කර අතර 2021 වසරේ පළමු මාස 04 තුළ තවත් බිලියන 169 ක් අච්චු ගසා නිකුත් කර ඇත. අධික මුදල් අච්චු ගැසීමේ ප්‍රතිවිපාක ජනතාවගේ ජීවන බරට මේ වන විටත් යම්තාක් දුරකට එකතු වී ඇති අතර විනිමය අනුපාතය විශාල ලෙස අව ප්‍රමාණ වීමේ අවධානමට ද මුහුණ දී සිටී. මෙම පීඩනය ඉදිරි මාස කීපය තුළ තව දුරටත් උත්සන්න වීමට නියමිතය.

මුලාශ්‍රය: ශ්‍රී ලංකා මහ බැංකුව

දෙවන ප්‍රතිචාරය වී ඇත්තේ අපගේ විදේශ ණය ගෙවීමට මහ බැංකුවේ නිල සංචිත යොදාගැනීමත්, වානීජ බැංකුවල විදේශ වත්කම් අත්පත් කර ගැනීමත්ය. මෙම ක්‍රියාමාර්ගය හරහා දේශීය වානීජ බැංකු අධික පීඩනයට ලක්වී ඇති අතර ඒවායේ ණයවර ලිපිවල වලංගුභාවය පිළිබඳව අවධානමක් ද මතු වී ඇත. තවද, මහ බැංකුවේ නිල සංචිත 2010 වසරෙන් පසු වාර්තා වී ඇති අවම අගය වන ඇමෙරිකානු ඩොලර් බිලියන 4 මට්ටමට කඩාවැටී ඇත. ඉදිරි මාස දෙකක කාලය තුළ තවත් ඩොලර් බිලියන1.5 ක් ගෙවීමට ඇත්තේද මෙම කඩාවැටී ඇති සංචිත වලිනි. බැංකු ක්‍රමයේ ඇති මුළු ශුද්ධ වත්කම් දැඩි සේ කඩා වැටෙමින් පවතී.

විදේශීය වත්කම් පාලනය හරහා ඉදිරි කාලයේ තෙල්, ඖෂධ, පොහොර, අනෙකුත් ආයෝජන භාණ්ඩ හා අන්තර් භාණ්ඩ ගෙන්වීමට රට අපොහොසත් වනු ඇති අතර භාණ්ඩ හිඟයක්, භාණ්ඩ මිළ ඉහළයාමක් හා කළුකඩ ඇතිවීමක් වැළැක්විය නොහැක.

mahabank

මුලාශ්‍රය: ශ්‍රී ලංකා මහ බැංකුව

මෙම ක්‍රියාමාර්ග සත්‍ය වශයෙන්ම අපට සිහි ගන්වනුයේ එකක් කඩතොළු වසාගන්න කඩතොළු කිහිපයක් නිර්මාණය කළ ඉඳුරුවේ ආචාරියාය. නමුත් අප පත්ව ඇති අසීරු අඩිය උපහාසයට ලක්කිරීම හෝ දේශපාලන වාසියක් කරගැනීමට මෙය අවස්ථාවක් නොවේ. ක්‍රමෝපායන් නිවැරදි කර නොගතහොත් රටට, නූපන් පරපුරට හා මහජනතාවට පක්ෂ භේදයකින් තොරව වන්දි ගෙවීමට සිදුවනු ඇත. එබැවින් මෙම අවස්ථාව ඉතා ප්‍රවේශමෙන් සබුද්ධිකව කළමනාකරණය කිරීම අත්‍යාවශ්‍ය වේ.

කළ යුත්තේ කුමක්ද ?

රාජ්‍ය මූල්‍ය ස්ථාවරත්වය යළි ළඟාකරගැනීම අත්‍යාවශ්‍යය වේ. මේ සඳහා 2019 හඳුන්වා දුන් බදු සහන පැකේජය නැවත සලකා බලා ක්‍රමිකව රාජ්‍ය ආදායම ඉහළ නංවා ගැනීමට පියවර ගැනීම අනිවාර්ය වේ. මේ හරහා ශ්‍රී ලංකාවේ රාජ්‍ය මූල්‍ය සම්බන්ධයෙන් දේශීය හා විදේශීය ආයෝජකයින්ගේත්, මූල්‍ය ආයතනවලත්, විශ්වාසය ගොඩනැගෙනු ඇත.  රාජ්‍ය මූල්‍ය ස්ථාවරත්වය මුදල් අච්චු ගැසීමට ඇති අවශ්‍යතාවය අවම කරනා අතර ආර්ථික ස්ථායීකරණයට මහත් පිටුබලයක් වනු ඇත. රාජ්‍ය ණය හා පොලී ගෙවීම අසීරු අඩියක පවතින හෙයින් ණය ප්‍රතිව්‍යුහගතකිරීම අනෙක් අත්‍යාවශ්‍ය කාරණයයි. සාධාරණ රාජ්‍ය මූල්‍ය රාමුවක් ඉදිරිපත්කොට ණය ලබාදී ඇති ආයතන සමඟ සාකච්ඡා කිරීමෙන් රටට ඉදිරි වසර කිහිපය තුළ ගෙවීමට ඇති හැකියාවට යෝග්‍ය වන ලෙස ණය ප්‍රතිව්‍යුහගත කිරීම කළ යුතුය.

එමෙන්ම ආයෝජන විශ්වාසය තවදුරටත් ශක්තිමත් කිරීමට ජාත්‍යන්තර මූල්‍ය ආයතන සමඟ සමීපව කටයුතු කිරීමට අපට බලකර තිබේ. එසේ නොමැතිව මිත්‍රශීලී රටවල් සමඟ විදේශ මුදල් අතමාරුකරණය මඟින් අර්බුදය කල්දැමීමෙන් සිදු වන්නේ මහා අර්බුදයකට පාර කැපීමත්, අවසානයේ වටිනා රාජ්‍ය දේපොළ හා ඉඩම් විදේශිකයන්ට විකිණීමට පාර කැපීමත්ය. මේ නිසා රාජ්‍ය මූල්‍ය ස්ථායීකරණය හා ණය ප්‍රතිව්‍යුහගතකිරීම මේ මොහොතේ වහාම සිදු කළ යුතු කාර්යයකි.

මෙම පියවර කිසිවක් පහසු ජනප්‍රිය ක්‍රියාමාර්ග නොවේ. ඉදිරි වසර කිහිපය මුළු රටටම අතිශය අසීරු කාලයක් වනු ඇත. නමුත් සාධනීය පියවරක්  නොගෙන දැනට පවත්නා ක්‍රමය දිගටම පවත්වාගෙන ගියහොත් රට යළි ගොඩගත නොහැකි අඳුරු යුගයකට යනු ඇත.  සම්පත් වලින් පිරුණු වෙනිසියුලාව, සිම්බාබ්වේ රාජ්‍ය අයහපත් ආර්ථික කළමනාකරණයේ ප්‍රතිඵල විදහා දක්වන ජීවමාන උදාහරණ වේ. එවැනි තත්ත්වයකට රට ගමන්කිරීම වැළැක්වීම අප සියළු දෙනාගේම වගකීමයි. මෙහිදී ජනතාවට පමණක් බර නොපටවා දේශපාලන නායකත්වය හා නිලධාරී තන්ත්‍රයද පටි තදකර ගැනීම අවශ්‍ය වේ. මෙමඟින් විශාල ආර්ථික අර්බුදයක් හා සමාජ අසහනයක් වළක්වාගැනීමට යම් හැකියාවක් ලැබෙනු ඇත.

ජාවාරම්කාර ව්‍යාපාර පන්තියකට ඉඩදීම නිසා බිඳවැටී ඇති ව්‍යාපාරික විශ්වාසය ගොඩනැගීමද, ප්‍රතිඵලදායක නොවන ප්‍රාග්ධන ආයෝජන විසින් හා කෝවිඩ් වසංගත කළමනාකරණය දේශපාලනකරණය වීමෙන් ඇතිවී ඇති සමාජ අසහනය පුපුරා යෑමට පෙර වළක්වා ගැනීමට, ආදර්ශය අවවාදයට වඩා අත්‍යාවශ්‍ය වේ.

දැනටමත් වාර්තා වී ඇති ආකාරයට රටේ උගත් තරුණ පරපුර ලක්ෂ ගණනින් විදේශ රටවලට යෑමටත්, රටේ ධනය හිමි පිරිස් විදේශ රටවල නේවාසික වීසා ලබාගැනීමටත් මහා පරිමාණයෙන් පෙළඹී ඇති බව වාර්තා වේ. මෙය මෙලෙස වුවහොත් ශ්‍රී ලංකාව හැකියාවන්ගෙන් පිරුණු මිනිසුන් නැති, අසීලාචාර මානව කාන්තාරයක් වනු නොඅනුමානය. හැකියා පූර්ණ මිනිසුන්ගේ ඉදිරිපත්වීම රටට අත්‍යාවශ්‍යම මොහොත මෙයයි. ආණ්ඩුවේ ආර්ථික ක්‍රමෝපාය වෙනස් කිරීමට සියලු දෙනාම බල කළ යුතු අවස්ථාව එළඹ තිබේ.

අප නැවත නැවතත් රට වෙනුවෙන් ආයාචනා කරන්නේ වහාම නිසි ක්‍රමවේදයක් මහජන එකඟතාවය සහිතව අනුගමනය කරන ලෙසයි. ඒ සඳහා කොන්දේසි විරහිතව සහය දීමට රට වෙනුවෙන් අප ඉදිරිපත් වන්නෙමු. මෙම අවස්ථාවේ ක්‍රියාත්මක නොවී පසුව කණගාටුවීම අප කිසිවෙකුටත් ඵලදායී නොවනු ඇත.

හිටපු අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක

Scroll to Top