Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

සෙලෙන්දිවා කා සඳහා ද ?

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

කොළඔ නගරයෙහි පිහිටි බ්‍රිතාන්‍ය යුගයෙහි ඉදි වූ ඓතිහාසික වශයෙන් වැදගත් ගොඩනැගිලි කිහිපයක් දැනට ඒවායෙහි පවතින භාවිතයන්ගෙන් ඉවත් කොට පෞද්ගලික ආයෝජකයන් වෙත ලබාදීමේ යෝජනාවලියක් පිළිබඳව මේ දිනවල දැඩි කතා බහක් පවතියි.

සෙලෙන්දිවා ආයෝජන සමාගම නමින් ස්ථාපනය කරන ලද විශේෂ කාර්යය වාහකයක්/ඒකකයක් මගින් ක්‍රියාත්මක කිරීමට යෝජිත කොළඹ නගර මධ්‍යයෙහි පිහිටි ස්ථානමය හා මූල්‍යමය වශයෙන් වැදගත් රාජ්‍ය සතු දේපල වඩාත් ප්‍රශස්ථ අන්දමින් භාවිතයෙහි යෙදවීම අරමුණු කොට ඒ සඳහා හැකියාව හා උනන්දුවක් දක්වන පුද්ගලික ආයෝජකයන් වෙත ලබාදීමේ වැඩ සටහනෙහි එක් අංගයක් ලෙස මෙම ව්‍යාපෘතීන් දක්වා ඇත.

මෙම ගොඩනැගිලි වලට අමතරව බේරේ වැව ආශ්‍රිතව පිහිටි දැනට නාවික හා ගුවන් හමුදාව භාවිතා කරන වටිනා ඉඩම් සමූහයක්ද, රජයේ කොටස්කාරීත්වයෙන් පවත්වා ගෙන යන හෝටල් කිහිපයක්ද මෙම ඒකකය යටතේ ආයෝජකයින් වෙත ලබාදීමට නියමිතය.

නගරයක් සංවර්ධනය වීමේදී පවතිින අවශ්‍යතාවනට ගැලපෙන ලෙස දේපල සංවර්ධනය නවීකරණය හා වඩාත් හොඳ සමාජ ආර්ථිකමය ප්‍රතිලාභ හිමිවන ආකාරයට භාවිතයෙහි යෙදවීම සුදුුසු දෙයකි. ඒ පිිළිිබඳව විවාදයන් අනවශ්‍යය.

නාගරික සංවර්ධන අධිකාරිය මගින් ප්‍රකාශයට පත් කරන ලද 1999 කොළඔ නගරයෙහි සංවර්ධන සැළසුමෙහි එෛතිහාසික මධ්‍ය ප්‍රදේශය වශයෙන් දක්වා ඇති බිම් කොටසෙහි පිහිටි පැරණි මධ්‍යම තැපැල් හල, පොලිස් අපරාධ විමර්ෂණ ඒකකය පිහිටි ගොඩනගිල්ල, ග්‍රෑන්ඩ් ඔරියන්ටල් හෝටලය, දැනට ප්‍රතිනිර්මාණය වෙමින් ඇති ගෆූර් ගොඩනැගිල්ල ආදී ගොඩනැගිලි කිහිපයක් මෙම ලැයිස්තුවට ඇතුලත්ය.

ගොඩනැගිලි ව්‍යුහය හා නිර්මාණාත්මක භාවය අතින් වාස්තු විද්‍යාත්මක මෙන්ම ඓතිහාසික සංරක්ෂණ වටිනාකමක් විදහා පාන මෙම ගොඩනැගිලි කොළඹ නගරයෙහි ඉංග්‍රීසි පාලන සමය පිලිබඳව තතු සපයන මූලාශ්‍ර වශයෙන් දැක්වීම නිවැරදිය.

කෙසේ වෙතත් මේ බොහෝ වටිනා ගොඩනැගිලිවල අද වන විට පවතින බාහිර පෙනුම මෙන්ම අභ්‍යන්තර භාවිතාවන් සැලකීමෙහිදී දැනට එම පරිශ්‍රයන් භාරකාරව සිටිනා ආයතන වලට ඒ සියලු වටිනාකම් රැකෙන අයුරින් ගොඩනගිලි පවත්වාගෙන යාම ප්‍රශ්නකාරී වී ඇති බව නොරහසකි. නඩත්තුව සඳහා යෙදිය යුතු අධික වැය, රාජ්‍ය ආයතන වශයෙන් ඒ සඳහා අවශ්‍ය මුදල් වෙන්කර ගැනීමෙහි අපහසුතාවන්, යොදවන මුදලට ඍජු ආයතනිකමය ප්‍රතිලාභ නොලැබීම, ආයතනමය කටයුතු වලට ගොඩනැගිල්ල යොදවා ගැනීමේ ප්‍රායෝගික ගැටළු ආදී තවත් හේතූන් මෙම තත්වයන්ට තුඩු දී ඇත.


1999 කොළඔ නගර සැළැස්මෙහි දක්වා ඇති සංරක්ෂිත කොළඹ කොටුව ඓතිහාසික මධ්‍ය ප්‍රදේශය

එවැනි අවස්ථාවන්හිදී ඓතිහාසික උරුමයන් ලෙස සැළකෙන ගොඩනැගිලි රැක ගැනීම පිණිස ලොව පුරා බහුලව යොදාගන්නා සංරක්ෂණ ක්‍රම වේදයකි “අනුගත ප්‍රති භාවිතය”. කොළඔ නගර මධ්‍යයෙහි පවතින වටිනා පැරණි ගොඩනැගිලි පවත්වාගෙන යෑම සඳහාද මෙම ක්‍රමවේදය උචිත ය. දැනටමත් කොළඹ මෙන්ම සෙසු නගර රාශියකම මෙවන් විශිෂ්ඨ ප්‍රතිභාවිතයන් පිළිබඳ උදාහරණ බොහොමයෙකි. ඒ සඳහා අවශ්‍ය වන සුදුසු භාවිතයන්ද, එවන් සුදුසු භාවිතයන්ට ගොඩනැගිලි ප්‍රතිනිර්මාණය කොට යොදා ගැනිම සඳහා ආයෝජනයන් කිරීමට සූදානම් ආයෝජකයින්ද සොයා ගැනීම අත්‍යාවශ්‍යයෙන්ම කල යුතු දෙයකි. එසේම රජයට ඒ සඳහා මූදල් යෙදවිය නොහැකි නම් සුදුසු ලෙස පෞද්ගලික අංශයේ සහයෝගය සහ සහභාගිත්වය ලබා ගැනීමෙහිද ගැටළුවක් නොපෙනේ.

colombo-fort

එසේ නම් ඉහත සඳහන් කල ගොඩනැගිලි සෙලෙන්දිවා නම් රාජ්‍ය ආයතනයක් භාරයට පත් කොට ඒ හරහා පෞද්ගලික පාර්ශවයන් වෙත බදු දීමට රජය ගෙන ඇති තීරණය මෙතරම් විවාදයකට ලක්ව ඇත්තේ මන්ද?

මේ පිළිබඳව සොයා බැලීමේදී ජනතාව අතර යම් සාධාරණ සැක මතු කරන කරුණු කෙරෙහි අවධානය යොමු කිරීම වැදගත් වෙයි.

පලමු කොටම, මෙවැනි ගොඩනැගිලි සංරක්ෂණය කොට ප්‍රතිභාවිතයන් සඳහා යෙදවීමෙහි හා බදු දීමෙහි මීට පෙරත් කටයුතු කොට පලපුරැදු ඇති නාගරික සංවර්ධන අධිකාරියෙන් ඉවත් කොට මෙම කටයුත්ත වෙනත් ආයතනයක් වෙත යොමුකිරීමෙහි සැබෑ අවශ්‍යතාවය කුමක්ද යන්න සිතා බැලිය යුතුය.

නාගරික සංවර්ධන අධිකාරියට තවදුරටත් මෙවන් ව්‍යාපෘති කිරීමෙහි ධාරිතාවක් නොමැතිද?

Scroll to Top