පසුගිය 23 වැනිදා ඝාතනයට ලක් වූ පුත්තලම පුත්තලම නගර සභාවේ සභාපති අබ්දුල් බායිස් මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සදහා නිරෝධාන නීති හෝ මේ අවස්ථාව වන විට දැඩිව ක්‍රියාත්මක වන සංචරණ නීති නොතකා දහස් ගණනින් ජනතාව ඒ මහතාගේ නිවසට රැස් වෙමින් සිටීම පිළිබදව සිංහල රාවය පක්ෂයේ දැඩි අවධානය යොමුව ඇත.
මේ මහජන ඒකරාශීවීම පැහැදිලිවම වත්මන් වසංගත තත්ත්වය පාලනයට පනවා ඇති නිරෝධාන නීති සහ සංචරණ නීති අමු අමුවේ උල්ලංඝනය කිරීමක් බව අපේගේ අදහස වන අතර ඒ පිළිබදව සෞඛ්‍ය බලධාරීන්, දේශපාලන බලාධිකාරිය නිසි අවධානය යොමු
නොකිරීම ජාතික බලවේගවල මෙන්ම නීතිගරුක ජනතාවගේ බලවත් විමතියට මෙන්ම කණස්සල්ලට හේතු වී ඇත.
මෙහිදී අපට පැහැදිලිව පෙනී යන්නේ අදාළ දේශපාලනඥයාට හිතවත් දේශපාලන බලවේග විසින් මෙම අනීතික හැසිරීමට ජනතාවට අවසරක් හෝ අනුබලයක් ලබාදී ඇති බවයි. මෙය ඉතාම පැහැදිලිව ‘එක් රටක් – එක් නීතියක්‘ යන ජනපතිවරයාගේ ප්‍රතිඥාව අමු අමුවේ උල්ලංඝනය කිරීමක් සේම නීතියට අභියෝග කරමින් එය අවභාවිත කිරීමකි.
වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ වත්මන් රජය බලයට පත් වීමට පෙර ජනතාවට දුන් ප්‍රධාන පොරොන්දුවක් වන ‘එක් රටක් – එක් නීතියක් රට තුළ ස්ථාපිත කරන බවට‘ වන පොරොන්දුව මේ වන විට වල්වැදී අවලංගු කාසියක් වෙමින් පවතින බව මෙවැනි සිදුවීම් යළි යළිත් සනාථ වීම කනගාටුවට කරුණකි.
වත්මන් ජනාධිපතිවරයාට ඡන්දය භාවිත කළ 69 ලක්ෂයක් වන දේශප්‍රේමී ජනතාවගේ පරම අපේක්ෂාවක් වූ සුළුජන ඡන්දවලට යටනොවන සහ සුළුජන දේශපාලන පක්ෂවල නායකයින්ගේ අතකොළුවක් බවට පත් නොවන අදීන දේශප්‍රේමී නායකත්වයක් පිළිබද
අපේක්ෂාව මේ වන විට බොද වූ සිහිනයක් බවට පත් වෙමින් තිබෙන අතර යළිත් සුළුජන පක්ෂ දේශපාලනයේ තීරණාත්මක බලයක් අත්පත් කර ගනිමින් සිටන බවක් අපට පහසුවෙන් නිරීක්ෂණය කළ හැකිය.
මෙය ඉතාම පැහැදිලිව 69 ලක්ෂයේ ජනවරමට පිටුපෑමක් වන අතර වත්මන් රජයට බලයට පත් කිරීමට තීරණාත්මක කාර්යභාරයක් ඉටුකළ දේශප්‍රේමී බලවේග අවප්‍රමාණයට ලක් කිරීමකි.
පුත්තලම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාගේ අවමගුල හරහා යළිත් ප්‍රතිනිර්මාණය වෙමින් පවතින මේ අරාජික තත්ත්වය පිළිබදව දේශප්‍රේමී ජනතාව නියෝජනය කරන සහ ජාතික ව්‍යාපාරයේ ප්රමුඛ කාර්යභාරයක් ඉටුකළ සිංහල රාවය පක්ෂය බලවත් කණස්සල්ලට පත්ව සිටී.
අප මෙහිදී අවධාරණය කරනුයේ කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ මුළු රටටම දැඩි සංචරණ නීති පනවා ඇති තත්ත්වය තුළ දේශපාලන වාසි නොබලා මෙවැනි නීති විරෝධී තත්ත්වයන් පාලනයට රජය දැඩි පියවර ගත යුතු බවයි. එසේ නොවුණහොත් ‘පුත්තලමෙන් ද අලුත් කොරෝනා පොකුරක් නිර්මාණය වී රට තවත් වටයකින් අවදානමට ලක්විය හැකිය.
එවැනි අවාසනාවන්ත තත්ත්වයක් නිර්මාණය වුවහොත් පුත්තලම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාගේ අවමගුලට දහස් ගණනින් රැස් වීමට ජනතාවට ආධාර අනුබල දුන් දේශපාලන හා ආරක්ෂක බලාධිකාරිය අදාළ වගකීම භාරගත යුතුය.
ශාලික පෙරේරා
මහ ලේකම්, සිංහල රාවය පක්ෂය