ඊසාන දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති ගැඹුරු පීඩන අවපාතය මේ වනවිට සුළි කුණාටුවක් දක්වා වර්ධනය වී තිබේ.
ඊසාන දිග බෙංගාල බොක්ක ආශ්රිත මුහුදු ප්‍රදේශයේ පැවති “යාස්” සුළි කුණාටුව මේ වන විටචණ්ඩ සුළි කුණාටුවක් දක්වා වර්ධනය වී මැයි 24 වන දින (ඊයේ) රාත්‍රී 09.30 වන විට උතුරු අක්ෂාංශ 17.6 සහ නැගෙනහිර දේශාංශ 89.0 ප්‍රදේශයේ ස්ථානගතව පැවති අතර ඉදිරි පැය 12 තුල ඉතා චණ්ඩ සුළි කුණාටුවක් දක්වා වර්ධනය වනු ඇතැයි බලාපොරොත්තුවේ.
මෙම පද්ධතිය උතුරට බරව වයඹ දිශාවට ගමන් කර මැයි 26 වන දින හිමිදිරිය වන විට උතුරු ඔඩිස්සා සහ බටහිර බෙංගාල වෙරළ වෙත ගමන් කිරීමට බොහෝ දුරට ඉඩ ඇත.
ශ්‍රී ලංකාව වටා වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල සහ බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ නැවත දැනුම් දෙන තුරු ධීවර සහ නාවුක කටයුතුවල නොයෙදෙන ලෙස අවවාද කරනු ලැබේ.
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ දකුණු පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. සබරගමුව පළාතේ සහ නුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මි.මී. 150 ට වැඩි ඉතා තද වැසි ද ඇතිවිය හැකි අතර බස්නාහිර, වයඹ සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 100 ට වැඩි තද වැසි ද ඇතිවේ.
උතුරු සහ උතුරු-මැද පළාත්වල වැසි ස්වල්පයක් ඇතිවේ.
දිවයින හරහා සුළගේ වේගය විටින් විට පැ.කි.මි. (50-60) දක්වා වැඩි විය හැකි අතර විශේෂයෙන් මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශ වලත්, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් කෑගල්ල, වව්නියාව, මුලතිව්, මන්නාරම, ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් සුළගේ වේගය විටින් විට පැ.කි.මී. 70 දක්වා වැඩි විය හැක.
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.
වාරිමාර්ග දෙපාර්තමේන්තුව ගංගා කිහිපයක ජල මට්ටම ඉහළ යාම පිළිබඳ නිවේදනයක් නිකුත් කර තිබේ.
කැලණි ගඟ, කිතුල්ගල ප්‍රදේශයෙන්,කළු ගඟ රත්නපුර ප්‍රදේශයෙන් ද,කුඩා ගඟ මිල්ලකන්ද ප්‍රදේශයෙන් ද,මහවැලි ගඟ නාවලපිටිය ප්‍රදේශයෙන් ද ඉහළ ගොස් ඇති බව එම නිවේදනයේ දැක්වේ.
ඒ අනුව, මහජනතාව අවධානයෙන් සිටිය යුතු බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.
කළු ගග ද්‍රෝණියේ ඉහළ ප්‍රදේශවලට ඉදිරි පැය කිහිපයේදී සුළු ගං වතුර තත්ත්වයක් ඇති වීමේ අවදානමක් පවතින බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල විද්‍යා හා ආපදා කළමනාකරණ අධ්යක්ෂ එස් පී සී සූගීෂ්වර පැවසුවේ.
පවතින තද වැසි සහිත කාලගුණික තත්ත්වය සමග කළු ගගේ ජල මට්ටම ඉහළයාම හේතුවෙන් රත්නපුර ප්‍රදේශයට සුලු ගංවතුර තත්ත්වයක් හටගෙන තිබෙනවා.
මහවැලි ගගේ ජල මට්ටම ඉහළ යාම හේතුවෙන් නාවලපිටිය ප්‍රදේශයේද සුලු ගංවතුර තත්ත්වයක් පවතින බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව සදහන් කළේ.