නිරිත දිග මෝසම් කාලගුණ තත්ත්වය දිවයින හරහා ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පවතී.
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ දකුණු පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල,මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 100 ට වැඩි තද වැසි ද ඇතිවිය හැක.
උතුරු සහ උතුරු-මැද පළාත්වල වැසි වාර කිහිපයක් ඇතිවේ. නැගෙනහිර සහ ඌව පළාත්වල ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රි කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක.
දිවයින හරහා සුළගේ වේගය විටින් විට පැ. කි.මි. (40-50) දක්වා වැඩි විය හැකි අතර විශේෂයෙන් මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශ වලත්, උතුරු, උතුරු-මැද, වයඹ සහ ඌව පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් සුළගේ වේගය විටින් විට පැ.කි.මී. (50-55) දක්වා වැඩි විය හැක.
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.
ඊසාන දිග බෙංගාල බොක්ක ආශ්රිත මුහුදු ප්‍රදේශයේ පැවති පීඩන අවපාතය මේ වන විට ගැඹුරු පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී ඇති අතර අද දිනයේදී සුළි කුණාටුවක් දක්වා වර්ධනය වෙමින් ඊළඟ පැය 24 තුල චණ්ඩ සුළි කුණාටුවක් දක්වා වර්ධනය වනු ඇතැයි බලාපොරොත්තුවේ. මෙම පද්ධතිය උතුරට බරව වයඹ දිශාවට ගමන් කර මැයි 26 වන දින වනවිට බටහිර බෙංගාල වෙරළ වෙත ගමන් කිරීමට බොහෝ දුරට ඉඩ ඇත.
නැවත දැනුම් දෙන තුරු, ඊසාන දිග බෙංගාල බොක්ක ආශ්රිත මුහුදු ප්‍රදේශය තුල (08N–20N, 83E-100E) සහ දිවයින වටා වන මුහුදු ප්‍රදේශය තුල ධීවර සහ නාවුක කටයුතුවල නොයෙදෙන ලෙස අවවාද කරනු ලැබේ.
මන්නාරම සිට කොළඹ සහ ගාල්ල හරහා හම්බන්තොට දක්වා වන මුහුදු ප්‍රදේශ වල විටින් විට වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇතිවේ. ඇතැම් ස්ථානවලට තද වැසිද ඇතිවිය හැක. සෙසු මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක.
දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළං නිරිත දිශාවෙන් හමා එයි. සුළගේ වේගය පැ.කි.මී. (30-40) පමණ වේ. හලාවත සිට පුත්තලම, මන්නාරම සහ කන්කසන්තුරය හරහා ත්‍රිකුණාමලය දක්වා සහ ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. (55-60) දක්වා වැඩි විය හැක.
සෙසු මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. 50 දක්වා වැඩි විය හැක.
හලාවත සිට මන්නාරම හරහා කන්කසන්තුරය දක්වා වන මුහුදු ප්‍රදේශ සහ ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශ විටින් විට ඉතා රළු වේ.
ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම මුහුදු ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි අතර එවිට එම මුහුදු ප්‍රදේශ තාවකාලිකව ඉතා රළු විය හැක.
පවතින වර්ෂාව හේතුවෙන් ආපදා තත්ත්වයක් මතු වුවහොත් ඊට මුහුණ දීම සඳහා හෙලිකොප්ටර් යානා 09ක්ද සූදානම් කර ඇති බව ගුවන් හමුදාව පවසනවා.
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් ගුවන් හමුදාවෙන් කළ ඉල්ලීමකට අනුව හෙලිකොප්ටර් සහ ඊට අදාල බට පිරිස් සූදානම් කර තැබීමට ගුවන් හමුදාපති එයාර් මාෂල් සුදර්ශණ පතිරණ අදාල අංශ වෙත උපදෙස් ලබා දුන් බවයි ගුවන් හමුදාව ප්‍රකාශ කළේ.
ඒ අනුව ආපදා තත්ත්වයක් ඇති වුවහොත් ජනතාවට සහන සැලසීමට සහ මුදවා ගැනීමේ මෙහෙයුම් සඳහා රත්මලාන ගුවන් හමුදා කඳවුර තුළ බෙල් 212 හෙලිකොප්ටර් යානයක් සහ බෙල් 412 හෙලිකොප්ටර් යානා 02ක් ස්ථාන ගත කර තිබෙනවා.
එමෙන්ම හිගුරක්ගොඩ ගුවන් හමුදා කඳවුර තුළ බෙල් 212 හෙලෙිකොප්ටර් යානා 03ක් සහ පලාලි ගුවන් හමුදා කඳවුර තුළ බෙල් 212 හෙලිකොප්ටර් යානයක්ද මුදා ගැනීමේ මෙහෙයුම් සඳහා සූදානම් කර ඇති බවයි ගුවන් හමුදාව පැවසුවේ.
එමෙන්ම අනුරාධපුර ගුවන් හමුදා කඳවුර තුළ එම් අයි 17 වර්ගයේ හෙලිකොප්ටර් යානා 02ක්ද සූදානම් කර තිබෙනවා.
පවතින වැසි හේතුවෙන් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් දිස්ත්‍රික්ක 05 කට නායයෑම් අනතුරු ඇගවීමේ නිවේදන නිකුත් කර තිබෙනවා. ගාල්ල, කළුතර, කෑගල්ල, නුවරඑළිය සහ රත්නපුර යන දිස්ත්‍රික්ක සදහා එම නායයෑම් අනතුරු ඇගවීමේ නිවේදනය නිකුත් කර ඇති බවයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සදහන් කළේ.