මෙරටින් තවත් කොරෝනා ආසාදිත මරණ 36ක් වාර්තා වී ඇතැයි, සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා තහවුරු කර තිබේ.
ඒ අනුව මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 1051ක් දක්වා ඉහළ යනු ඇති.
ඊයේ දිනය තුළ මේ දක්වා වාර්තා වූ සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 3,623දක්වා ඉහළ ගොස් ඇති බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
එය මෙරට දිනක් තුළ වාර්තා වූ වැඩිම කොරෝනා ආසාදිතයින් ගණන වේ.
මේ අතර කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද්ධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පැවසුවේ වයස අවුරුදු 55 ට වැඩි කුමන හෝ පුද්ගලයෙකුට ශ්වසන අපහසුතා වැනි කොවිඩ් ආශ්රිත රෝග ලක්ෂන ඇත්නම් නොපමාව රෝහලකට ඇතුළු වන ලෙසයි. එසේ නොමැති නම් වෛද්‍යවරයෙකුගේ උපදෙස් නොපමාව ලබා ගන්නා ලෙසයි යුද්ධ හමුදාපතිවරයා දැනුම් දෙන්නේ.
මඩකලපුව දිස්ත්‍රික්කයේ ග්‍රාම නිලධාරී වසම් 5ක් හුදෙකලා කළ බව යුද හමුදාපතිවරයා පවසයි.
සින්නෝරානි,පලමීන්මඩු, තිරුචෙන්දූර්, කල්අඩිවෙල්ලූර් සහ නොචිමුනායි ග්‍රාම නිලධාරී වසමේ පුනෝචිමුනායි ගම හැර අනෙකුත් ගම් එලෙස හුදකලා කර තිබේ.
ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ පිහිටි 233 වත්ත සහ මහාවත්ත ප්‍රදේශය වහාම හුදෙකලා කරන බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කර සිටිනවා.
මෙරටින් දෛනිකව වාර්තා වන කොරෝනා ආසාදිතයින් ගණන ඉදිරියේදී තවදුරටත් ඉහළයා හැකි බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා. එහි සහකාර ලේකම් වෛද්‍ය නවීන් ද සොයිසා පැවසුවේ දැනට ලැබෙන සංඛ්‍යාලේඛන නිසි පරිදි යාවත්කාලින නොවූ ඒවා බවයි.
පවතින තත්ත්වය යටතේ රෝහල් ධාරිතාව ඉක්මවා යාමට ඉඩ නොතබා නිවෙස්වලදි ප්‍රතිකාර කිරීමේ ක්‍රමය කඩිනමින් ආරම්භ කළ යුතු බවද වෛද්‍ය නවීන් ද සොයිසා පෙන්වා දෙයි.
නිරෝධයන නීති උල්ලංඝනය කළ පුද්ගලයන් 493 දෙනෙකු ගතවු පැය 24 තුළ අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ අනුව මේ දක්වා එම නීති උල්ලංඝනය කළ 10,906 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේය.
නිසි ලෙස මුහුණු ආවරණය සිදුනොකිරීම, පළාත් සීමාවන් උල්ළංඝනය කිරීම ඇතුළු චෝදනා යටතේ ඔවුන් අත්අඩංගුවට ගෙන තිබේ.
දුම්පානය කරන්නන්ට කොවිඩ් -19 වෛරසය වැලඳීම සහ මියයෑමේ හැකියාව වැඩි බව ජාතික බෝවන රෝග විද්‍යාතනයේ විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා පවසයි.
මාධ්‍ය හමුවක දී ඔහු ප්‍රකාශ කළේ, ප්‍රතිශක්තිකරණය සම්බන්ධයෙන් සමාජය තුළ වැරදි මත ප්‍රචාරය වෙමින් පවතින බවය.
මේ අතර කිරිදෙන මව්වරුන්ට කොවිඩ් ආසාදනයේ වැඩි බලපෑමක් එල්ල විය හැකි බවට අනාවරණය වී ඇතැයි ද පැවසු වෛද්‍යවරයා, ඒ අවදානම වයස්ගත ජනතාවට ද ඇති බව පැවසීය.
කාර්යාල තුළ සේවකයන් එක්ව ආහාර ගැනීමේ දී වෛරසය ව්‍යාප්තවීමට වැඩි ඉඩකඩක් පවතින බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහාචාර්යය වෛද්‍ය නීලිකා මලවිගේ මහත්මිය සඳහන් කළාය.
කොවිඩ් නියුමෝනියා තත්වයට පත්වූ රෝගීන් 1000 කට වැඩි ප්‍රමාණයක් මේ වන විට දිවයින පුරා රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටින බව ජාතික බෝ වන රෝග විද්‍යායතනයේ අධ්යක්ෂ, කායික රෝග විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා පවසයි.
ශ්‍රී ලංකාව අද වන විට ඉතා අවදානම් සහගත තීරණාත්මක අවස්ථාවක පසුවන බව කී වෛද්‍යවරයා මේ අවස්ථාවේදී කොවිඩ් මර්දනයට ගත් හැකි සියලු ක්‍රියාමාර්ග නොගත්තොත් ඉදිරි සති තුනක හතරක කාලය තුළ ඉතා දරුණු ව්‍යසනකාරී තත්වයක් මතු විය හැකි බව ද සඳහන් කළේයවෛද්යවරයා මේ බව පැවසුවේ රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.