Aboutceylon Online

රනිල් – මෛත‍්‍රී ගෙනා කොතලාවල පීඨ පනතේ භයානක කරුණු මේ ආණ්ඩුවත් ගෙනෙයි

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලය පිළිබඳව ජාතික ජන බලවේගයේ ස්ථාවරය පැහැදිලි කරන්න මෙම මාධ්‍ය හමුව අන්තර් ජාලය ඔස්සේ පවත්වනව. 2018 මේ සම්බන්ධයෙන් පනතක් ඉදිරිපත් වන විටත් විශ්වවිද්‍යාල ප‍්‍රජාව ඇතුළු බොහෝ අය විසින් එල්ල වූ විරෝධය නිසා පැවති ආණ්ඩුවට එය හකුලා ගන්න සිදුවුණා. මේ පනතේ තිබෙන භයානක කරුණු අකුරක්වත් වෙනස් නොකර වර්තමාන ආණ්ඩුව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙනවා.

මෙහි ප‍්‍රධාන ගැටලූ 03ක් අපි දකිනවා. උසස් අධ්‍යාපනය විකෘතිවීම, උසස් අධ්‍යාපනය පෞද්ගලීකරණය කිරීම සහ උසස් අධ්‍යාපනය මිලිටරීකරණය වීම ඒ ප‍්‍රධාන ගැටලූ තුනයි.

උසස් අධ්‍යාපනය මේ පනත තුළින් විකෘති වෙන්නේ කොහොමද? මේ වෙනකොට රජය පවත්වාගෙන යන උසස් අධ්‍යාපනයේ පාලනය, තත්ව නියාමනය, වැනි දේ සිදුකරන්නේ විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිසමෙන්. නමුත් මේ අලූත් පනත හරහා විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාවට වඩා බලයක් තිබෙන ව්‍යූහයක් මේක තුලින් නිර්මාණය කෙරෙනවා. මේ ව්‍යූහය විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිසමට සමගාමීව කි‍්‍රයාත්මක වන ආරක්‍ෂක අමාත්‍යාංශය යටතේ ස්ථාපිත කෙරෙන ව්‍යූහයක්. රාජ්‍ය විශ්වවිද්‍යාලවල පීඨ සභා, සනාථන සභා, පාලක සභාව සහ ඊටත් ඉහළින් විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිසම තියෙනවා.

සියල්ල පාලනය වෙන්නේ විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාවෙන්. අලූත් පනතෙන් කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලය පාලනය කරන්න මණ්ඩලයක් යෝජනා කරනවා. ඒ මණ්ඩලයට විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිසමට එහා ගිය බලතල රාශියක් ලැබෙනවා. මේ මණ්ඩලය ප‍්‍රධාන වශයෙන් ති‍්‍රවිධ හමුදාවල නියෝජනයක්, අමාත්‍යාංශයේ් නියෝජනයක් තිබෙන අතර උසස් අධ්‍යාපනය පිළිබඳ විශේෂඥයන් නියෝජනය වෙන්නේ නැහැ.

කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයෙන් පිට ඒ යටතේ වෙනත් උසස් අධ්‍යාපනය ආයතන පිහිටුවන්න සහ උපාධි ලබාදීමේ බලතල මේ මණ්ඩලයට හිමිවෙනවා. තත්ව පාලනය, උසස් අධ්‍යාපන නිර්ණායක, ශිෂ්‍ය ශිෂ්‍යාවන් බඳවා ගැනීම, විභාග පැවැත්වීම, ආදී සියල්ල මේ මණ්ඩලයට පැවරෙනවා.

මේ මණ්ඩලයට විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිසමේ සහ මහා භාණ්ඩාගරයෙන් නියෝජිතයන් දෙදෙනෙක් නාමිකව පත්කිරීමේ අවස්ථාව විතරක් තියෙනවා. නමුත් තීරණාත්මක වෙන්නේ ති‍්‍රවිද හමුදා නියෝජියන් සහ ආරක්‍ෂක අමාත්‍යාංශයේ නියෝජිතයන්. උසස් අධ්‍යාපනයේ සංස්කෘතිය, ගුණාත්මකභාවය, අධ්‍යාපන දර්ශනය වැනි දේවල් ගැන මේ අයට කිසිම අවබෝධයක් නැහැ. අනික් පැත්තෙන් විෂය ධාරාවන්ගේ ගුණාත්මකභාවය තීරණය කරන විශේෂඥයන් ඉන්න ඕනෑ. විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාවේ අදාල විෂය ධාරාවන් ගැන ස්ථාවර කමිටු පිහිටුවා තිබෙනවා. එවැනි කමිටු අලූත් පනතින් යෝජනා කර නැහැ. මේ ව්‍යුහය තුළ එවැනි විෂය ධාරාවල ගුණාත්මක වර්ධනයට අවස්ථාවක් නැහැ. හුදෙක් කළමනාකරණ ව්‍යූහයක් විතරයි තියෙන්නේ. උසස් අධ්‍යාපන ආයතන කියන්නේ ව්‍යාපාරයක් නෙවෙයි. වෙනම සංස්කෘතියක් තියෙන අනන්‍යතාවයක්.

එයට පත් කරන මේ කලමනාකරණ ව්‍යූහයම අවුල්සහගතයි. උසස් අධ්‍යාපනයේ ගුණාත්මකභාවය රඳා පවතින මූලධර්ම කිහිපයක් තිබෙනවා. අධ්‍යාපනය ලැබීමේ නිදහස, ශාස්තී‍්‍රය ගවේෂණ සඳහා අධ්‍යයන නිදහස, මූලික කරගත් මූලධර්ම පද්ධතියක් තියෙනවා. දැනට පවතින උසස් අධ්‍යාපන පද්ධතිය තුළත් මූලධර්මයට සිදුකෙරන හානිය ගැන විශාල සාකච්ඡුාවක් ඇතිවී තිබෙනවා. මේ පනතින් යෝජනා කරන විශ්වවිද්‍යාල ව්‍යුහය තුළ ඒ ගැන කතා කරන්න කිසිම අවස්ථාවක්වත් නැහැ.

මෙය ඉතාමත්ම අනතුරුදායක දෙයක්. අපේ රටේ උසස් අධ්‍යාපනය විශ්වවිද්‍යාල කොමසම හරහා කරගන්න බැරිවූ විකෘතියක් මේ ප‍්‍රවේශයෙන් සිදුවෙනවා. මේ රටේ විශ්වවිද්‍යාල සහ උසස් අධ්‍යාපනය ගැන යම් හෝ දෙයක් ආරක්‍ෂා කරගන්න තිබුණා නම් යෝජිත ව්‍යූහයෙන් ඊට විශාල හානියක් සිදුකෙරෙනවා.

උසස් අධ්‍යාපනය මිලිටරිකරණයට ලක්වීම ති‍්‍රවිධ හමාදා නිලධාරීන් පත්කිරිමෙන් සිදුවෙනවා. ආරක්‍ෂක අංශ වෙනුවෙන් උසස් අධ්‍යාපනය ලබාදීමට තිබෙන අයිතිය අපි පිළිගන්නවා. ඒ අධ්‍යයන කටයුතු සඳහා අදාළ අමාත්‍යාංශය විසින් යම් ආකාරයක ආයතන පිහිටුවීම ගැන අපිට ප‍්‍රශ්නයක් නැහැ.

මෙතන යෝජනා කරන්නේ ඒ ක්‍ෂේත‍්‍රයට අදාළ නොවන පොදු ක්‍ෂේත‍්‍රවලට ඇතුළත් වීමේ විශාල අවකාශයක් මෙයින් හදා දෙනවා. වෛද්‍ය විද්‍යාව, ඉංජිනේරු විද්‍යාව නීතිය, වාස්තු විද්‍යාව වගේ සියලූ විෂයයන් වලට මේ ව්‍යුහය හරහා ප‍්‍රවේශ වී අනෙක් සියලූ විෂයයන්වලටත් බලපාන ආකාරයට යොදා ගැනීත්‍ම් හැකියාව මේ පනතින් තිබෙනවා. තමන්ගේ විෂයයට පරිබාහිරව වෙනත් විශාල ක්‍ෂේත‍්‍රයකට ඇතුළත් වීමේ මෙවැනි බලයක් මිලිටරි රාමුව හරහා විවෘත කරන්නේ ඇයිද කියන ප‍්‍රශ්නය මතුවෙනවා.

උසස් අධ්‍යාපනය වෙනත් අර්ථයකින් පෞද්ගලීකරණය කිරීමටත් මේ පනත තුළින් පාර කැපෙනවා. සම්ප‍්‍රදායික විශ්වවිද්‍යාල පද්ධතිය තුළ පෞද්ගලීකරණයට තිබෙන බාධා මේ අලූත් ව්‍යුහයෙන් අහෝසි කෙරෙනවා. නිදහස් අධ්‍යාපනයට පටහැනිව ස්ථාපනය කරන මේ ව්‍යුහය පිහිටුවා ගැනීමට රජයේ මුදලූත් ලබාදෙනවා. රජය මැදිහත්වීමෙන් අධ්‍යාපනය සෘජුවම පෞද්ගලීකරණය කිරීමට මේ තුළින් හැකිවෙනවා.

2018 විශාල අරගල ප‍්‍රමාණයක් හරහා පරාජය කළ මේ පනත අකුරක්වත් වෙනස් නොකර වර්තමාන ආණ්ඩුව ඉදිරිපත් කිරීමෙන් මේ ආණ්ඩුව ජනතාවාදී නොවන බව සනාථ වෙනවා. මෙවැනි දේවල්වලින් පැහැදිලි වෙන්නේ කාලයක් තිස්සේ උසස් අධ්‍යාපනය නව ලිබරල්වාදය යටතේ අඛණ්ඩව ගෙනයාමට මේ ආණ්ඩුව කි‍්‍රයා කරන බවයි. 1980 ගණන්වල හඳුන්වා දුන් ප‍්‍රතිපත්තිය අනුව අධ්‍යාපනය පෞද්ගලීකරණය කිරීම අඛණ්ඩව සිදුකරන බව මෙයින් පැහැදිලි වෙනවා.

ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්තී‍්‍ර ආචාර්ය හරිනි අමරසූරිය

කොතලාවල පීඨය මගින් රාජ්‍ය සේවයටත් හමුදාමය මානසිකත්වයකින් යුතු උපාධිධාරීන් ඇතුළත් වීමේ අනතුරකුත් තියෙනවා.

ජාතික ජන බලවේගයේ ආචාර්ය අනුර කරුණාතිලක

anura-karunathilaka

විශ්වවිද්‍යාල ක්‍ෂේත‍්‍රය නියාමනය වෙන්නේ 1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනත සහ එයට එකතු කළ සංශෝධන මගින්. විශ්වවිද්‍යාල සහ උසස් අධ්‍යාපන ක්‍ෂේත‍්‍ර ගොඩනගල තියෙන්නේ ලංකාවේ අලූතින් පාඨමාලා හැදෙනකොට සහ වෙනස් කරනකොට ගුණාත්මකභාවය ඉහළ දමමින් පවත්වාගෙන යාමට.

ඊට අදාල නියාමන කි‍්‍රයාවලියක් පීඨයේ සිට සිදුකෙරෙනවා. අවසානයේ තීන්දුව ගන්නේ විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිසමේ ඒ ඒ විෂය කමිටු සහ ඉන් පසුවත් තත්වාරක්‍ෂණ කමිටුවල අනුමැතියෙන් පසුවයි. මෙයින් කියවෙන්නේ ආයතනික ව්‍යුහය තුළ පුළුල් සහ විමර්ශනාත්මක කි‍්‍රයාවලියක් පවතින බවයි. යම් යම් අඩුපාඩුකම් මැද්දේ වුණත් ප‍්‍රජාතන්ත‍්‍රවාදී සාකච්ඡුාවක් ඇතිවන පරිපාලන ව්‍යුහයක් විශ්වවිද්‍යාල පද්ධතියේ තියෙනවා. නමුත් කොතලාවල ආරක්‍ෂක විද්‍යා පනත මගින් මෙය සම්පූර්ණයෙන්ම බැහැර කෙරෙනවා.

උසස් අධ්‍යාපන අමාත්‍යාංශය සහ විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිසමෙන් බැහැරව ආරක්‍ෂක අමාත්‍යාංශය යටතේ නව උසස් අධ්‍යාපන අවකාශයක් මේ පනතෙන් බිහි කරනවා. මෙය ආරක්‍ෂක අංශවලින් පරිබාහිරව සිදුකිරීම නිසයි මේ රටේ ජනතාවගේ විශේෂ අවධානය යොමුකළ යුත්තේ. මේ තුළ ඕනෑම උපාධියක් සම්බන්ධයෙන් ආරක්‍ෂක කටයුතුවලට සෘජුව සම්බන්ධ නැති පාඨමාලා නිර්මාණය කෙරෙනවා. විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිසමට පත්කරන අය දේශපාලන පත්වීම් වෙන්න පුළුවන්.

නමුත් ඔවුන් පත් කරන්නේ විශ්වවිද්‍යාල සහ පරිපාලනය සම්බන්ධයෙන් යම් දැනුමක් සහ අත්දැකීම් සහිතවයි. නමුත් කොතලාවල ආරක්‍ෂක පීඨයේ පාලනයට පත් කරන්නේ මෙවැනි කිසිදු අධ්‍යාපනය සම්බන්ධ අවබෝධයක් තිබෙන අය නෙවෙයි. එවැනි පිරිසක් වෛද්‍ය, ඉංජිනේරු, කළමනාකරණ ආදී සියලූ පාඨමාලාවල ගුණාත්මක තත්වයන් තීරණය කරන්න හැකියාව ලැබෙනවා. ඒ වගේම මුදල් අය කිරීම තීරණය කිරීමේ බලයත් හිමි වෙනවා.

රජය මැදිහත් වෙලා මහජන මුදල් යොදවමින් උසස් අධ්‍යාපනය පෞද්ගලීකරණය කිරීමේ අවස්ථා නිර්මාණය කෙරෙනවා. මෙයින් ලබන ලාභය ආයෝජනය කිරීමේ ක්‍ෂේත‍්‍ර පිළිබඳව තීරණය කිරීමේ බලයත් මේ ආයතනයට හිමි වෙනවා. මෙයින් කියවෙන්නේ ලාභය ඉලක්ක කරගත් ව්‍යාපාරයක් රජයේ මුදලින් ආරම්භ කරන බවයි.

ආරක්‍ෂක කටයුතුවලට සෘජුව සම්බන්ධ නොවන උපාධි පාඨමාලා මේ තුළ හඳුන්වා දීමෙන් අනාගතයේ මේ රටේ රාජ්‍ය සේවයටත් හමුදාමය මානසිකත්වයකින් යුතු පරිසරයක උපාධිධාරීන් ඇතුළත් වීමේ අනතුරකුත් තියෙනවා. මේ සම්බන්ධයෙන් විශ්වවිද්‍යාල ක්‍ෂේත‍්‍රයේ ආචාර්ය මහාචාර්යවරුන් මෙන්ම එයින් බාහිරව සිටින සියලූම විද්වතුන්ගේත් විෂය ප‍්‍රවීණයන්ගේත් අවධානය යොමුවිය යුතු බව අප මෙහිදී දැඩිව ප‍්‍රකාශ කරනවා.

ආණ්ඩුව පික් පොකට්කාරයාගේ දේශපාලනය කරමින් ඉන්නවා

– ජවිපෙ ජාතික සංවිධායක බිමල් රත්නායක

කොවිඞ් තත්වය තුළත් අප මෙම මාධ්‍ය හමුව පවත්වන්නේ ඉදිරිපත් කර තිබෙන කොතලාවල ආරක්‍ෂක පීඨ පනත පරාජය කිරීමේ ජන මතයක් ගොඩනැගීමඅත්‍යවශ්‍ය වී තිබෙන නිසයි. කොවිඞ් ප‍්‍රශ්නය මැද්දෙම ජනතාව තුළ අවශ්‍ය සංවාදයකට ඉඩ නොදී පෝට් සිටි කොමිෂන් සභා පනත සම්මත කර ගන්න එක පැත්තකින් ආණ්ඩුව කි‍්‍රයා කරනවා.

ඒ වගේම ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාල පනත අග‍්‍රාමාත්‍යවරයා ගෙනත් තියෙන්නේ ජනතාවගේ අවධානය යොමු නොවන පසුබිමකයි. මිනිස්සු තමන්ගේ සහ දරුවන්ගේ පණ බේරගන්න ඉතාම දුෂ්කර ලෙස කටයුතු කරමින් තිබෙනවා. ඒ අතර ආණ්ඩුව පික් පොකට්කාරයාගේ දේශපාලනය කරමින් ඉන්නවා. පික් පොකට් ගහන මිනිස්සු කෙනෙක්ගේ අවධානය වෙන පැත්තකට යනකං ඉඳලා ඒ වැඬේ කරන්නේ.

ගෝඨාභය රාජපක්‍ෂ මහත්තයාගේ ආණ්ඩුව පික් පොකට්කාරයාගේ දේශපාලනයට ඇවිත් ඉන්නේ. රටම කොවිඞ් ගැන අවධානය යොමු කරලා තියෙන වෙලාවක පෝට් සිටි පනත ගේනවා. කොතලාවල විශ්වවිද්‍යාල පනත ගේනවා. අඩු ගානේ ආණඩුවකට ආවට පස්සේ කටයුතු කළ යුතු ආකාරයත් පැත්තකට දාලා. අපි ජනතාවට කියනවා මේ පික් පොටක් දේශපාලනයට අහු වෙන්න එපා කියලා.
හැම ආන්ඩුවක්ම ජනතාවට කරුණු ඉදිරිපත් කරන්නේ අධ්‍යාපන අවස්ථා අහිමිවීම ගැනයි. උදාහරණයක් හැටියට උපාධියක් ලබාගන්න විශ්වවිද්‍යාලයට යන්න අවස්ථාවක් අහිමි වීම යොදා ගන්නවා.

ප‍්‍රශ්න විසඳීමට වඩා ප‍්‍රශ්න ගසා කන්න කි‍්‍රයා කරන පාලකයන්. කොතලාවල විශ්වවිද්‍යාල පනත ගන්න ඕනැත් මේ පසුබිම තුළ. උසස් පෙළ විභාගයෙන් පස්සේ ඉගෙන ගන්න ඉතාම සීමිත අවස්ථාවක් රාජ්‍ය පද්ධතියේ තියෙන්නේ.

මේ තත්වය තුළ මුදලට උගන්වන ආයතන වේගයෙන් බිහි කරමින් යනවා. මේ නිසා අපේ සමාජය තුළ රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතියත් මුදලට උගන්වන ආයතන පද්ධතියත් සමාන්තරව කි‍්‍රයාත්මක වෙනවා. පසුගිය කාලය පුරාම සල්ලිවලට උගන්වන ආයතන ගැන සාකච්ඡුාව විශාල වශයෙන් සිදුකෙරෙනවා. ඒ අතර මන්දගාමීව හෝ රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතිය පුළුල් වී තිබෙන බවත් කියන්න ඕනෑ. මේ තත්වයන් දිනා ගැනීමේ විශාල භූමිකාවක් තියෙන්නේ ශිෂ්‍ය ව්‍යාපාරයේ අරගල නිසයි. ඒ වගේම විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ අරගල නිසයි.

මුදලට උපාධි හෝ උසස් අධ්‍යාපන සහතික දෙන ආයතන කොපමණ පටන් ගත්තත් ඒවායේ ගුණාත්මකභාවය ගැන අවිශ්වාසයක් ජනතාව තුළ තිබෙනවා. මේවට සල්ලි පොම්ප කරන ව්‍යාපාරික පැලැන්තිවලටත් මේවා අතරමඟ කඩාගෙන වැටෙයිද කියන ප‍්‍රශ්නය තිබෙනවා. සයිටම් එකේ සිද්ධ වුණේ මේ තත්වය. මුදල් මත උගන්වන ආයතන පටන් ගන්නේම අධ්‍යාපනයේ ප‍්‍රමිතිය අඩු කරන්නම තමයි. බඳවා ගැනීමේ ඉඳලාම සයිටම් එකේ තිබුණේ මේ තත්වය බව අපි දැක්කා. එයට ඇතුළත් කර ගන්නා සිසුන්ගේ ගුණාත්මකභාවයත් අඩුයි. ආචාර්යවරුන්ගේ ගුණාත්මකභාවයත් අඩුයි.

මේ ගුණාත්මකභාවය අඩු නොකර පෞද්ගලික උපාධි දෙන ආයතන පවත්වාගෙන යන්න බැහැ. එහෙම ප‍්‍රමිතියක් රකිනවා නම් ලෝකයේ ඉහළම විශ්වවිද්‍යාලවල ආචාර්යවරුන් ගෙන්ව ගන්න කියලා අපි අභියෝග කරනවා. හමුදාවල් තුළින් කවදාවත් ඒගොල්ලන්ගේ උසස් අධ්‍යාපනයට අවස්ථා පෞද්ගලික අංශයෙන් පුළුල් කරන්න කියලා ඉල්ලලා නැහැ. අද ශ‍්‍රී ලංකා යුද හමුදාවේ වෛද්‍ය බලකාය යන්නේ කොහොමද? රාජ්‍ය විශ්වවිද්‍යාලවලින් වෛද්‍ය උපාධි ලබා ගන්නා අය බදවාගෙන. හමුදාව යටතේ තිබෙන විශ්වවිද්‍යාලයකින් සියලූම විෂයන්ට උපාධි ලබා දෙන එක හමුදා අවශ්‍යතාවයක් වෙන්න බැහැ.

ආරක්ෂක අවශ්‍යතාවයක් වෙන්න බැහැ. ඒ නිසා මේ දේ අපි පැහැදිලිව තේරුම් ගන්න ඕන. මෙතන තියෙන්නේ ජෝන් කොතලාවල මොඩල් එක නෙවෙයි, ලලිත් කොතලාවල මොඩල් එක.

ති‍්‍රවිධ හමුදාවේ අවශ්‍යතාවයකටවත් අධ්‍යාපන අවශ්‍යතාවයකටවත් ගේන පනතක් නෙවෙයි මේක. මුදලට උපාධි ලබා දෙන ආයතන සම්බන්ධව විවිධ ගැටලූ ඇති වුණා. මේ ගැටලූවලට උත්තර ලබා දෙන්න වර්තමාන ආණ්ඩුව පෞද්ගලික අංශය වෙනුවට ආරක්ෂක අමාත්‍යංශය යටතේ මූලිකවම මේ උපාධි විකුණන ආයතනය පටන් ගන්න යනවා. මේ ආණ්ඩුව ලලිත් කොතලාවල විශ්වවිද්‍යාල මොඩල් එක ගේන්න හදන්නේ කැමා කිට් එකේ ඔතලා. පොඩි දේශපේ‍්‍රමී හැඩයකිනුත් එක්ක. හැබැයි මේක ආරක්ෂක වුවමනාවක්වත් උසස් අධ්‍යාපන වුවමනාවක්වත් නෙවෙයි බිස්නස් වුමනාවක්.

උසස් අධ්‍යාපනය පිළිබද ප‍්‍රශ්නයෙන් දරුවන් සහ දෙමාපියන් හෙම්බත් වෙලා ඉන්නේ. මෙය ව්‍යාපාරික අවස්ථාවක් කර ගන්න ති‍්‍රවිධ හමුදාව යොදා ගෙන බිස්නස් මොඩල් එක හදලා දෙන්න යන්නේ. ලංකාවෙ උසස් අධ්‍යාපනයට වෙන් කරන මුදල් බරපතළ ලෙස කපා හරිමින් තියෙන්නේ. මේ නිසා රාජ්‍ය අංශයේ උසස් අධ්‍යාපන අවස්ථා හැකිළෙමින් යනවා.

ජෝන් කොතලාවල මුදල් අයකරන ආයතනය ස්ථාවර වුනාට පස්සේ තවත් ඒවා එනවා. මේවාට වැඩි හරියක් ඇමති පුත්තු දාන්න ඉඩක් හදාගන්නවා. අද පාර්ලිමේන්තුවෙ ඉන්න කලින් හිටපු මැති ඇමතිවරුන්ගේ දූ පුතුන් අති බහුතරයක් විදේශ රටවල ඉගෙන ගත් අය. මේ උපාධි ආයතන පටන් ගන්නේ ලංකාවේ දේශපාලඥයන්ගේ දරුවන් යවන්න නෙවෙයි. ලංකාවේ සල්ලිකාරයන්ගේ දරුවන් යවන්නත් නෙවෙයි.

ඒ අය යවනවා නම් අඩුම ගානේ මේ ආයතනවල ප‍්‍රමිතිය ගැනවත් ටිකක් හිතයි. නමුත් මේ තැන්වලට යවන්නේ මේ රටේ මහජනතාවගේ යම් සීමිත පිරිසකගේ දරුවන්. මේ පටන් ගන්න ආයතනවල මුලදී මිල අඩු කරලා පෙන්වයි. ඇති හැකි අයගේ දරුවන්ට නෙවෙයි අධ්‍යාපන අවස්ථා අහිමි වන සාමාන්‍ය ජනතාවගේ දරුවන් වෙනුවෙන් තවත් මේ අවස්ථා පුළුල්කර ජාවාරම්කරුවන්ට ලබා දෙනවා. ප‍්‍රශ්නවලට විසදුම් හැම කෙනාටම සාධාරණ වෙන්නේ නැහැ.

සමහර විසදුම් පාලකයන්ටත් ධනකුවේරයන්ටත් හොදයි. හැබැයි ජනතාවට හොද නෑ. උදාහරණයක් හැටියට පෝට් සිටියට පක්ෂව ලංකාවේ ව්‍යාපාරිකයෝ බොහෝ දෙනෙක් කතා කරනවා. ඒ ඇයි? ඔවුන්ට බදු නැතිව, කම්කරු නීති නැතිව බිස්නස් කරන්න. ඒ විසදුම මේ රටේ සාමාන්‍ය ව්‍යාපාරිකයන්ට හොද වෙන්නේ නැහැ. කැළෑ ඉඩම් සමාගම්වලට දීමත් එහෙමයි. පාලකයන්ට සහ ධනකුවේරයන්ට හරි යන විසදුම් මේ රටේ මහජනතාවට හරි යන විසදුම් වෙන්නේ නැහැ.

තව උදාහරණයක් හැටියට විෂ පොල්තෙල් ගත්තොත් කොම්පැනිකාරයන්ට ලාබ, පාලකයන්ට කොමිස් මහජනතාවට පිළිකාව. ක්ෂුද්‍ර මූල්‍ය ණය ගත්තොත් කොම්පැනිකාරයන්ට ධන නිධාන. ඉහළ කළමනාකරුවන්ට පැකේජ්. ණය ගන්න අයට මරණය. පාලක පංතිය විවිධ සළුපිළි අන්දලා ගේන විසදුම් දිහා විශේෂයෙන් මධ්‍යම පංතියේ දෙමවුපියන් වැඩිම අවධානය යොමු කරන්න කියලා ඉල්ලනවා.

කොතලාවල ආරක්ෂක පීඨ පනත ගේන්නේ දේශපේ‍්‍රමයකුත් තවරලා, ආරක්ෂක අංශත් පටලවලා හමුදාව පෙන්වපු ලණුවක් දෙන්න හදන්නේ. ඒ ලණුව කන්න එපා කියලා අපි දෙමාපියන්ට මතක් කරනවා. රනිල් මෛත‍්‍රී ආණ්ඩුව ගෙනාපු මේ පනත එක වෙලාවක ජනතාව පරාජයක කළා. එය වහාම හකුළා ගන්න කියල අපි බලකරනවා.

අනික් පැත්තෙන් උසස් අධ්‍යාපන අවස්ථා පුළුල් කරන්න කියලත් බලකරනවා. ඒ වගේම ආරක්ෂක අංශවලටත් අපි පෙන්වා දෙන්නේ ඔබේ දරුවන්ට මේ වගෙන් අවස්ථාව ලැබෙන්නේ නැති බව. හමුදාව පාවිච්චි කරලා කොම්පැනිකාරයන්ට ලාභ ගන්න අවස්ථාවල් උදා කරන්න එපා කියල ඉහළ හමුදා නිලධාරින්ට අපි අවධාරණය කරනවා. ති‍්‍රවිධ හමුදාව වෙන අයගේ ව්‍යාපෘතිවලට කඬේ යැවීම නවත්වා ගන්න කියලා අපි ඉහළ නිලධාරින්ට අවධාරණය කරනවා.

කැස්බෑවේ මොකක්ද වුණේ කියලා අපි දැක්කා. අන්තිමේ උත්තර බ`දින්න වුණේ හමුදාපතිට. මේවගේ තත්වයකට පත් නොවෙන්න කියලා අපි සියලූ දෙනාගෙන් ඉල්ලා සිටිනවා. පිළිකාවක් වගේ උසස් අධ්‍යාපන පද්ධතිය විනාශ කරන කටයුතුවලට හවුල් නොවෙන්න කියලා අපි සියලූදෙනාටම අවධාරණය කරනවා.

Scroll to Top