Aboutceylon Online

අයහපත් කාලගුණයෙන් පවුල් 11,796කට පීඩා – අදත් දිස්ත්‍රික්ක කිහිපයක මි.මී. 50ක වැසි

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 9 ක පවුල් 11, 796 ක් පීඩාවට පත්ව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

එම මධ්‍යස්ථානය පැවසුවේ , පුද්ගලයින් 46730 දෙනෙකු ඒ අතර වන බවයි.එසේම අයහපත් කාලගුණයෙන් පුද්ගලයින් 4 දෙනෙකු මියගොස් තිදෙනෙකු තුවාල ලබා ඇතැයි ද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ ය.

එසේම නිවාස 3 කට පූර්ණ හානිද නිවාස 636 කට අර්ධ හානිද සිදුව තිබේ.අයහපත් කාලගුණයෙන් එලෙස බලපෑම් එල්ලවී ඇත්තේ, කෑගල්ල, කොළඹ, ගම්පහ, මාතර, කළුතර, කුරුණෑගල ගාල්ල, පුත්තලම සහ මහනුවර යන දිස්ත්‍රික්කවලටයි.

මේ අතර පවතින වැසි තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 06 කට නිකුත් කර තිබූ නායයාම් අනතුරු ඇඟවීම් නිවේදනය තවදුරටත් ක්‍රියාත්මක වෙයි.ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ ජ්‍යෙෂ්ඨ භූ විද්‍යාඥ වසන්ත සේනාධීර මහතා ප්‍රකාශ කළේ , ගාල්ල, කළුතර, කොළඹ, කෑගල්ල, මාතර සහ රත්නපුර දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයකට මෙම අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙන බවයි

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

උතුරු සහ උතුරු මැද පළාත්වල වැසි වාර කිහිපයක් ඇතිවේ.

නැගෙනහිර සහ ඌව පළාත්වල ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රි කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

සබරගමුව පළාතේත් කළුතර, ගාල්ල, මාතර, නුවරඑළිය සහ මහනුවර දිස්ත්‍රික්කවලත්ඇතැම් ස්ථානවලට මි.මී. 50 ක පමණ තරමක තද වැසි ද ඇතිවිය හැක.

දිවයින හරහා සුළගේ වේගය විටින් විට පැ.කි.මී. (30-40) දක්වා වැඩි විය හැක. විශේෂයෙන්ම මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශ වලත්, උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් සුළගේ වේගය ක්ෂණිකව පැ.කි.මී. 50 දක්වා වැඩි විය හැක.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

ගිනිකොණ දිග අරාබි මුහුද ආශ්‍රිතව පැවති ටවුටේ’ සුළි කුණාටුව චණ්ඩ සුළි කුණාටුවක් දක්වා වර්ධනය වී, මැයි 15 වන දිනරාත්‍රී 11.30 ට පමණ උතුරු අක්ෂාංශ 14.4 ත් නැගෙනහිර දේශාංශ 72.7 ත් ආසන්නව ස්ථානගතව පැවතුනි. මෙම පද්ධතියඉදිරි පැය 06 තුල ඉතා චණ්ඩ සුළි කුණාටුවක්දක්වා වර්ධනය වී උතුරට බරව වයඹ දිශාවට ගමන් කරමින්, 18 වන දින සවස් කාලයේදී ඉන්දියාවේ ගුජරාටි වෙරළ තිරය හරහා ගමන් කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.

ඉහත මුහුදු ප්‍රදේශවල ධීවර හා නාවුක කටයුතු වල නොයෙදෙන ලෙස අවවාද කරනු ලැබේ.

 

Scroll to Top