Aboutceylon Online

කාලගුණයෙන් අනතුරු ඇඟවීමක් – දිස්ත්‍රික්ක කිහිපයකට ගිගුරුම් සහිත වැසි

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

ගිනිකොණ දිග අරාබි මුහුදු ප්‍රදේශයේ පැවති අඩුපීඩන කලාපය පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී ඇති බැවින් කන්කසන්තුරය, සිට මන්නාරම හරහා කොළඹ දක්වා වන මුහුදු ප්‍රදේශවල නැවත දැනුම් දෙන තුරු ධීවර සහ නාවුක කටයුතුවල යෙදීමෙන් වැළකී සිටිය යුතු බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

දැනට එම මුහුදු ප්‍රදේශවල ඉතා තද සුළං ඇතිවන නිසා ධීවර හා නාවුක කටයුතුවල නිරත පිරිස් වහාම ගොඩබිමට හෝ ආරක්‍ෂිත ස්ථානයක් කරා ගමන් කළ යුතු බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

එමෙන්ම කොළඹ සිට ගාල්ල හරහා හම්බන්තොට දක්වා මුහුදු ප්‍රදේශවල ද තද සුළං ඇතිවිය හැකි බැවින් ධීවර හා නාවුක කටයුතුවල යෙදීමේදී අවදානයෙන් කටයුතු කළ යුතු බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් පැවසීය.

දැනට පවතින පීඩන අවපාතය ගැඹුරු පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී උතුරට බරව වයඹ දිසාවට ගමන් කරමින් 18 වැනිදා උදෑසන කාලයේදී ගුජරාටි සහ පකිස්තානු වෙරළ තීරයට ඇතුළුවනු ඇතැයි පුරෝකථනය කර ඇත.

අද (15) සිට ක්‍රමයෙන් මෙහි බලපෑම අඩුවී යනු ඇතැයි ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ එම ප්‍රකාශකයා කීවේය.

එසේ වුවත්  අද (15) සහ හෙට (16) දිනවල උතුරු, උතුරුමැද, වයඹ, මධ්‍යම, ඌව සහ නැගෙනහිර පළාත්වල පැයට කිලෝමීටර 50, 60 පමණ වේගවත් තද සුළං ඇතිවිය හැකි අතර සෙසු පළාත්වල පැයට කිලෝමීටර 40, 50 පමණ වේගවත් සුළං ඇතිවිය හැකි බව ද ඔහු පැවසීය.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

උතුරු සහ උතුරු මැද  පළාත්වල වැසි වාර කිහිපයක් ඇතිවේ.

නැගෙනහිර සහ ඌව  පළාත්වල ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රි කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

සබරගමුව පළාතේත් ගාල්ල, මාතර, නුවරඑළිය  සහ කළුතර දිස්ත්‍රික්ක වලත් ඇතැම් ස්ථානවලට මි.මී. 75 ක පමණ තරමක තද වැසි ද ඇතිවිය හැක.

දිවයින හරහා සුළගේ වේගය විටින් විට පැ.කි.මී. (40-50) දක්වා වැඩි විය හැක. විශේෂයෙන්ම උතුරු, උතුරු මැද සහ වයඹ  පළාත්වල සුළගේ වේගය ක්ෂණිකව පැ.කි.මී. (50-60) දක්වා වැඩි විය හැක.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

මේ අතර ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසුවේ ඇතැම් ප්‍රදේශවලට ඇදහැලුනු වර්ෂාවේ අඩුවක් දක්නට ලැබුණද, ගංගාවල ජල මට්ටම ඉහළ යාම හා පහත් බිම් ජලයෙන් යටවීම තවදුරටත් දක්නට ලැබෙන බවයි.

කැලණිගග, කලුගඟ, ගිං ගග හා නිල්වලා ගග මෙන්ම මා ඔය සහ අත්තනගලු ඔය මේවනවිට ඇත්තේ ගංවතුර අවදානමකයි.

මේ දිනවල ඇදහැලෙන අධික වර්ෂාවත් සමග පන්නල ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ග‍්‍රාම සේවා වසම් දෙකකට අයත් පවුල් 42 ක් පමණ අවතැන්වී ඇති බව පන්නල ප‍්‍රාදේශීය ලේකම් සමන්ත වික‍්‍රමරත්න බණ්ඩාර මහතා පවසයි.

නාලවලාන සහ මාහරගම යන ග‍්‍රාමසේවා වසම්වල අවතැන්වූ ජනතාව ආරක්ෂිත ස්ථාන කරා යොමු කිරීමටත් ඔවුනට අවශ්‍ය පිසූ ආහාර ඇතුඵ සහන සැපයීමට කටයුතු කරන ලෙස අදාල නිළධාරීන්ට උපදෙස් ලබාදුන් බවද ඒ මහතා කියයි.

දැඩි වර්ෂාවත් සමග  ඌරාපොල රුවන්වැල්ල මාර්ගයේ සපුගස්තැන්න ප්‍රදේශයේ කන්දක් නාය ගොස් විශාල ගල් සහිත පස්කන්දක් මාර්ගය හරහා ඇද වැටීම හේතුවෙන් වාහන ධාවනය සම්පූර්ණයෙන්ම ඇන හිට ඇති බව අත්තනගල්ල සහකාර ප්‍රාදේශීය ලේකම් සමීර ජයවර්ධන මහතා පැවසීය.

අදාල අංශ දැනුවත් කොට පස් කන්ද ඉවත් කිරීමට පියවර ගන්නා බවත් පවතින දැඩි වර්ෂා තත්වය හේතුවෙන් එම ප්‍රදේශය දැඩි අනතුරු දායක තත්වයක පවතින බවද සහකාර ප්‍රාදේශීය ලේකම් වරයා වැඩිදුරටත් කියා සිටියේය.

Scroll to Top