Aboutceylon Online

ප්‍රධාන ගංගා 6ක ගංවතුර තත්ත්වයක් – අරාබි මුහුදේ පීඩන අවපාතයක්

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

දිවයිනට ඇදහැලුණු අධික වර්ෂාවත් සමග ප්‍රධාන ගංගා ද්‍රෝණි 6 ක සුළු ගංවතුර තත්ත්වයක් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

ඒ, කැලණි ගඟ, ගිං ගඟ, නිල්වලා ගඟ, කළු ගඟ, කුඩා ගඟ හා අත්තනගලු ඔය ආශ්‍රිතවයි.

මේ වනවිට පහත්බිම් රැසක් ජලයෙන් යටව ඇතැයි, වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල කළමනාකරණ හා ආපදා කළමනාකරණ අංශයේ වාරිමාර්ග අධ්‍යක්ෂ එස්.ටී.සී. සුගීෂ්වර මහතා සඳහන් කළේ ය.

අත්තනගලු ඔයෙහි ජල මට්ටම දූනමලේ ජල මාපකයෙහි මීටර් 5 දශම 58 දක්වා ඉහළ යාම මත මහ ගංවතුර තත්ත්වයකට පත්ව ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව සදහන් කරයි.

පවතින තත්ත්වය සම්බන්ධයෙන් ගම්පහ දිස්ත්‍රික් වාරිමාර්ග ඉංජිනේරු චින්තක සුරවීර මහතා සදහන් කර සිටියේ, මෙම තත්ත්වය මත දී ඇලි ඔයද පිටාර යන බැවින් ජාඇල ප්‍රදේශයේ පහත් බිම් ජලයෙන් යටවිය හැකි බැවින් එම ප්‍රදේශයන්හි පදිංචිකරුවන් අවධානයෙන් සිටිය යුතු බවය.

කලූගඟ,කුරු ගඟ, නිරිඇලි ගඟ යන ගංගාවල ජල මට්ටම් ඉහළ ගොස් ඇති නිසා තවදුරටත් තද වැසි ඇතිවුව හොත් රත්නපුර දිස්ත‍්‍රික්කයේ ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයක පහත්බිම් ජලයෙන් යටවීමේ අවදානමක් ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.
කලූ ගඟෙ සහ කුරු ගඟේ ජල මට්ටම් 14දා පෙරවරුව වනවිට පැය විස්සක කාලයක් තුල අඩි නවයකින් ඉහළ ගොස් තිබුණි. නිරිඇලි ගඟේ ජලමට්ටම ද අඩි තුනකින් පමණ ඉහළ ගොස් තිබුණි.

මේ අතර, වාරිමාර්ග දෙපාර්තමේන්තුවට අයත් ජලාශ 10ක් මේ වනවිට වාන් දමමින් ඇතැයි, වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.එමෙන්ම අධික වර්ෂාවත් සමග ඇතිවූ ගංවතුර සහ නායයෑම් හේතුවෙන් පුද්ගලයින් තිදෙනෙකු මියගොස් තිබේ.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා පැවසුවේ, ගංවතුර හේතුවෙන් මාර්ග රැසක් තවදුරටත් ජලයෙන් යට වී ඇති බවය.කන්කසන්තුරය සිට මන්නාරම හරහා කොළඹ දක්වා මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 60 සිට 70 දක්වා වැඩිවිය හැකි බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ ය.

කොළඹ සිට ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය ද පැයට කිලෝමීටර් 55 සිට 60 දක්වා වැඩි විය හැකියි.

මේ අතර, නැගෙනහිර සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට සවස් කාලයේදී හෝ රාත්‍රි කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.රත්නපුර, කෑගල්ල, ගාල්ල, මාතර, නුවරඑළිය සහ කළුතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75 ක පමණ තරමත තද වැසි ඇති විය හැකියි.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තද සුළං සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි.

ගිනිකොන දිග අරාබි මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව අඩුපීඩන කලාපයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් තමිල්නාඩු සහ කර්ණාටක ප්‍රාන්ත සඳහා සුළි කුණාටු සහ අධික වර්ෂාපතනය සම්බන්ධයෙන් අනතුරු ඇගවීම් නිවේදන නිකුත් කර ඇති බව සඳහන් ය.

 

Scroll to Top