Aboutceylon Online

පිළියන්දල සහ බෙලිඅත්තේ පොදු වෙළෙඳපොළ වහයි

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

කොවිඩ් -19 ආසාදිතයින් පිරිසක් හඳුනාගැනිම හේතුවෙන් පිළියන්දල පොදු වෙළෙඳ පොළ නැවත දැනුම් දෙනතුරු වසා දැමීමට තීරණය කර තිබේ.

වෙළෙඳ පොළේ පුද්ගලයින් සඳහා සිදුකළ පී.සී.ආර් පරීක්ෂණවලදී ආසාදිතයින් 101 දෙනෙකු හඳුනාගැනිම හේතුවෙන් එම පියවර ගත් බව පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පැවසුවේය.

පසුගිය 07 වනදා  269 දෙනෙකු පී.සී.ආර් පරීක්ෂණ සඳහා යොමු කිරීමට සෞඛ්‍ය අංශ පියවර ගෙන තිබුණි.

පවතින තත්ත්වය හමුවේ පිළියන්දල පොදු වෙළෙඳ සංකීර්ණය ඊයේ(09) දිනයේ සිට නැවත දැනුම් දෙනතුරු වසා දැමීමට සෞඛ්‍ය බලධාරින් හා පිළියන්දල පොලීසිය එක්ව පියවර ගෙන තිබේ.

බෙලිඅත්ත නගරයේ   අවමඟුල් නිවෙසකින් කොවිඩ් රෝගීන් 6 දෙනෙකු හමු වී ඇති අතර  එම අවමගුලට ප්‍රදේශයේ  විශාල පිරිසක් සහභාගිවී ඇතැයි තොරතුරු හෙළිවීම නිසා  ආරක්ෂක පියවරක් ලෙස නගරයේ සියලු වෙළඳසැල්  හා පොදු වෙළෙඳපොළ වසා දැමීමට තීරණය කළ බව බෙලිඅත්ත ප්‍රාදේශීය සභාවේ සභාපති සිරිල් මුණසිංහ මහතා පවසයි.

මෙම අවමඟුලට සහභාගී වූ දික්වැල්ල ප්‍රදේශයේ පුද්ගලයකු ද කොවිඩ් ආසාදනයවීමෙන් මිය ගොස් ඇතැයි සභාපතිවරයා කීය .

මේ අතර පවතින තත්වය යටතේ බෙලිඅත්තේ ප්‍රදේශ කිහිපයක් වසා දැමීමට කටයුතු කරන්නැයි ප්‍රාදේශීය සභා ප්‍රධානීන් සෞඛ්‍ය අංශවලින් ඉල්ලීමක් කර ඇත.

අවමඟුල් උත්සවයේ කිහිපදෙනකුට කොරෝනා වැළඳී ඇති බව දැනගෙන සිටියද එය සෙසු අයට වසන් කර තිබූ බව පෙනී යන්නේ යයි එම සෞඛ්‍ය නිලධාරීහු වැඩිදුරටත් සඳහන් කරති .

මස්කෙලිය, නො(ර්)වුඩ් ප්‍රදේශයේ  පිහිටි ඇඟලුම් කර්මාන්ත ශාලාවක සේවකයින් 100 දෙනෙක් අතරින් 9දෙනෙක් කොවිඩ් -19 ආසාදිතයින් ලෙස හඳුනාගෙන තිබේ.

එම කර්මාන්ත ශාලාවේ සේවකයින් පිරිසක් හදිසියේ රෝගීවිම හේතුවෙන් සිදුකළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණවලදී එම ආසාදිතයින් හඳුනාගත් බව මස්කෙලිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පැවසුවේය.

මේ හේතුවෙන් ඇඟලුම් කර්මාන්ත ශාලාවේ සේවකයින් ඇතුළු ආශ්‍රිතයින් 280ක පමණ පිරිසක් ස්වයං නිරෝධායනයට ලක් කිරීමට මස්කෙලිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පියවර ගෙන තිබේ.

 

Scroll to Top