සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සමග පැවති දෙවන ටෙස්ට් තරඟයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 209ක් විශිෂ්ට ජයග්‍රහණයක් ලබාගෙන තිබේ.
තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව කඩුළු 07 ක් දැවී ලකුණු 493 ක් රැස්කර ගෙන සිටියදී සිය පළමු ඉනිම අත්හිටවූවා.
පිලිතුරු ලෙස බංග්ලාදේශයට පළමු ඉනිම සඳහා රැස්කර ගත හැකිවූයේ ලකුණු 251 ක් පමණයි. සිය දෙවන ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා පිළ කඩුළු 9 කට ලකුණු 194 ක් ලබා සිටියදී සිය ඉනිම අත්හිටවූවා. ඒ අනුව බංග්ලාදේශයට හිමිවූ ඉලක්කය ලකුණු 437 ක්.
කෙසේවෙතත් බංග්ලාදේශ කණ්ඩායමට සියලුදෙනා දැවී රැස්කරගත හැකිවූයේ ලකුණු 227 ක් පමණයි.
ශ්‍රී ලංකාව වෙනුවෙන් විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වූ ප්‍රවීන් ජයවික්‍රම බංග්ලාදේශ දෙවන ඉනිමේ කඩුළු 05 ක් දවා ගත්තේ ලකුණු 86 කටයි.
ඒ අනුව සිය මංගල ටෙස්ට් තරගයේදීම කඩුළු 11 ක් දවා ගැනීමට ඔහු සමත්වුණා. මෙම ජයග්‍රහණයත් සමග ශ්‍රී ලංකාව 1 ට 0 ක් ලෙස බංග්ලාදේශ තරගාවලිය ද ජය ගත්තා.
මෙම තරගය සැලකෙන්නේ ලෝක ටෙස්ට් ක්‍රිකට් ශුරතාවලියේ අවසන් තරගය ලෙසයි.
මෙවර ශූරතාවලියේ ශ්‍රී ලංකාවට හිමිවූයේ 08 වන ස්ථානයයි. ඒ, තරග 12 කදී ජයග්‍රහණ 02 ක්, ජය පරාජයෙන් තොරව අවසන්වීම් 04 ක් සහ පරාජයන් 06 ක් ලැබීම හේතුවෙන්.
ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවති දෙවැනි සහ අවසාන ටෙස්ට් තරඟයෙන් ජයග්‍රහණය කිරීම පිළිබඳ ශ්‍රී ලංකා ක්‍රිකට් නායක දිමුත් කරුණාරත්න ට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සුබ පැතුම් එක්කර තිබේ.
දුරකථන ඇමතුමක් ලබගනිමින් සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කර සිටියේ, ලබාගත් ජයග්‍රහණය පිළිබඳ කණ්ඩායමේ සියලුදෙනාට සුබ පැතුම් එක් කරන බවය.
සියලුදෙනාගේ ශක්තිය හා ධෛර්ය ක්‍රිකට් පිලට ලබාදෙන බවත්, තමන්ගේ යම් ඉටුවිය යුතු කාර්ය භාරයක් ඇත්නම් ඒ පිළිබඳ ව සඳහන් කරන ලෙසත් විපක්ෂ නායකවරයා මෙහිදී දිමුත් කරුණාරත්න ට පැවසීය.