මෙරට තුළ දෛනික කොවිඩ් ආසාදිතයින් වාර්තා වීම ගතවූ දින 05 තුළ සියයට 54ක වර්ධනයක් පෙන්නුම් කරයි.
දිනෙන් දින ඉහළ යන මෙරට කොවිඩ් අවදානම තවදුරටත් තීව්ර කරමින් තුන්වන දිනටත් මෙරට දෛනික ආසාදිතයින් සංඛ්‍යාව ඊයේ (02) 1,891 සීමාව ඉක්මවා ගියේය.
ආසාදිතයින් 1,891 දෙනෙකු ඊයේ හඳුනාගත්තේ දෛනික වැඩිම ආසාදිතයින්ගේ වාර්තාව පස්වන දිනටත් අලුත් කරමිනි.
ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය පෙන්වා දෙන්නේ, කඩිනමින් රෝග පාලන වැඩපිළිවෙළකට යොමු නොවුනහොත් ඉන්දියාවේ පවතින ඛේදනීය තත්ත්වයට ශ්‍රී ලංකාවටද මුහුණදීමට සිදුවන බවය.
එම සංගමයේ සභාපතිනි, විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න මහත්මිය මේ සම්බන්ධයෙන් මෙලෙස අදහස් දැක්වීය.
“මේ අපිට අඩුම ගානේ තව සුමාන දෙකක් ඊටත් වැඩිවෙන්නත් පුළුවන්. අපි මේ ජීවන රටාවට අනුගත නොවුනහොත් රටක් විදියට අපිට ඉන්දියාවට වගේ ඉතාමත් ම අභාග්‍ය සම්පන්න තත්ත්වයකට පත්වෙන්න පුළුවන්. ගෙදර ඇතුළේම රෝගියෙක් ඉන්නවා නම් ගෙදර අනිත් අයත් රෝගියා ත් මුව ආවරණයක් පැළඳ සිටීම ඉතාමත් වැදගත්. සම්පූර්ණයෙන් ම ඉදිරි සුමාන දෙක තුන ඇතුළත ඉන්දියාවේ තත්ත්වයට අනිවාර්යයෙන් ම යන්න වෙනවා අපි මේ සම්බන්ධව සමාජයක් විදියට එක පිළිවෙතකට අනුගත වෙලා රෝගය පාලනය කිරීමට තීරණය කළේ නැත්නම්. “
මේ තත්ත්වය නිසා රටේ සියලු දෙනා සෞඛ්‍ය නීතිවලට අනුගතව කටයුතු කරන්නැයි ඇය ඉල්ලීමක් කරන්නීය.එසේ කටයුතු නොකළහොත් අනිවාර්යෙන්ම ඉන්දියාවේ තත්වයට පත්වන බවද ඇය කීවාය.
මේ අතර රාජගිරිය සහ නාවින්න ආයුර්වේද රෝහල්වල කොවිඩ් රෝගීන්ට ප්‍රතිකාර කිරීමට අවසර දී ඇතැයි රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා පවසයි.
පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය සහ සියලු පළාත් කාර්යාලය නැවත දැනුම් දෙනතුරු මහජනතාවට විවෘත නොකිරීමට තීරණය කර ඇතැයි කොමසාරිස් ජනරාල්වරයා පවසයි.
අලුත් අවුරුදු කොවිඩ් පොකුර මතු වීමෙන් පසු එම රෝගීන් සංඛ්‍යාව ඉහළ යෑම නිසා බොහෝ රෝහල් හා ප්‍රතිකාර මධ්‍යස්ථාන වල ඇඳන් සම්පූර්ණයෙන්ම පාහේ පිරී ගොස් ඇතැයි රෝහල් ආරංචිමාර්ග වලින් පැවසේ .
කොවිඩ් රෝගීන්ට ප්‍රතිකාර ලබාදෙන මධ්‍යම පළාතේ රෝහල් පහේ ඇඳන් 1200ම මේ වෙනවිට පිරී ගොස් ඇතැයි මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ වෛද්‍ය නිහාල් වීරසූරිය මහතා පැවසීය .
කොවිඩ් රෝගීන් ඉහළ යෑම නිසා අංගොඩ බෝවන රෝග විද්යායතනද රෝගීන්ගෙන් පිරී ඇතැයි එහි අධ්යක්ෂ වෛද්‍ය හසිත අත්තනායක මහතා පැවසීය .
කෙසේ වෙතත් අලුතින් රෝගීන් භාරගැනීමට කිසිදු බාධාවක් නැතැයි ද ඔහු කීය .
කෑගල්ල දිස්ත්‍රික්කයේ රෝගීන්ට ප්‍රතිකාර ලබා දෙන රෝහල්වල සියලු ඇඳන් මේ වන විට පිරි ගොස් ඇතැයි කෑගල්ල සෞඛ්‍ය සේවා අධ්යක්ෂ විසේසඥ වෛද්‍ය කුමාර් වික්‍රමසිංහ මහතා පැවසීය .