අප්‍රේල් මාසයේ සිංහල අලුත් අවුරුදු උත්සව සමයත් සමග රට තුල තෙවැනි කොරෝනා රැල්ලක් ඇතිවීමේ අවධානම අවබෝධකරගත හැකිව තිබුණත්, රජය විසින් මේ පිළිබඳව කිසිදු අවධානයක් යොමු නොකරමින් ඉතාම අපරීක්ෂාකාරී ලෙස සිංහල හින්දු අලුත් අවුරුද්ද සැමරීමට මහජනයා යොමුකිරීමට කටයුතු කළ බව ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය අනුරුද්ධ ප්‍රදීප් කර්ණසූරිය මහතා පවසයි.
අළුත් අවුරුදු උදාවත් සමග, තෙවන රැල්ලක් පිළිබඳ ඉඟි දසතින් මතුවුණත්, වසංගත රෝග විශේෂඥයින් ඇතුලු වෘත්තිකයින් අනතුරු ඇඟවූවත්, රජය විසින් ජනතාව නිදහසේ රැස්වීම සහ සංචරණය තව තවත් දිරිමත් කරන කිරීමට කටයුතු කළ බව පෙන්වා දෙන කර්ණසූරිය මහතා, මිලියන විසි දෙකක් පමණ වන ජනගහනයෙන් ලක්ෂ දහයකට ආසන්න ප්‍රමාණයකට (බස්නාහිර පලාතේ පමණක්) කෝවිඩ් ප්‍රතිශක්තිකරණ එන්නතේ පළමු මාත්‍රාව පමණක් ලබා දී ඇති රටක, විදේශ ආගමනයන් 100% විවෘතව තබා ඇති අවස්තාවක එවන් ක්‍රියා පිළිවෙතක් අනුගමනය කිරීම කෙතරම් අමනෝඥකමක්දැයි දැන් පැහැදිලි වෙමින් පවතින බවද පෙන්වා දෙයි.
කථිකාචාර්යවරයා මේ අදහස් පළකර සිටියේ, වර්තමානයේ රට තුළ කෝවිඩ් වසංගතය සීග්‍රයෙන් පැතිරයාම තුල ආණ්ඩුව විසින් එය පාලනය කිරීම සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ග මෙන්ම ගෙනඇති සහ ගනු ලබන තීන්දු තීරණවල ගැටළුකාරීත්වය සම්බන්ධයෙන් දැනුවත් කිරීම වෙනුවෙන් 43 වන සේනාංකය විසින්, සංවිධාන කර තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් පළකල අනුරුද්ධ ප්‍රදීප් මහතා,
Covid 19 වෛරසය ලෝකය පුරා වසංගතයක් ලෙසින් පැතිරීයාමත් සමග, ශ්‍රී ලංකාව රටක් වශයෙන් එයට මුහුණදීම සඳහා දීර්ඝ කාලීන සහ කෙටිකාලීන උපාය මාර්ග නිර්ණය කරගැනීම සහ ක්‍රියාවට නැංවීම අවශ්‍යතාවයක් බවට පත්විය. මේ ක්‍රියාවලිය මෙහෙයවන්නා වන රජය විසින් පළමු සහ දෙවන කෝවිඩ් රැල්ලෙන් පසු 2021 අප්‍රේල් මස ආරම්භය වන විට රට තුල කොරෝනා ව්‍යාප්තිය පිළිබඳ පහත කරුණු නිරාවරණය කරගෙන තිබිය යුතුව තිබුණි.
- ඒ වනවිට රටේ කොරෝනා රෝගීන්ගේ ව්‍යාප්තිය
- රෝගීන් සංඛ්‍යාවේ ඉහල පහල යෑම් පිළිබඳ ප්‍රවණතාව.
- ලොව පුරා (විශේෂයෙන් අසල්වැසි ඉන්දියාවේ) කොරෝනා ව්‍යාප්තියේ ප්‍රවණතාව
- ශ්‍රී ලංකාව තුල ඇති විය හැකි තෙවන රැල්ලකට පෙර සූදානම.
ඉහත කාරණා පිළිබඳ රජයට නිවැරදි දත්ත සහ තොරතුරු තිබුණායැයි අනුමාන කලහොත්, අප්‍රේල් මස මුල වන විට, ඉදිරියේදී එළැඹෙන උත්සව සමයත් සමග රට තුල තෙවැනි කොරෝනා රැල්ලක් ඇතිවීමේ අවධානම අවබෝධකරගත හැකිව තිබුණි. එසේ නම් ඒ පිළිබඳ ගතහැකිව තිබූ පියවරයන් කවරේද?
- කොරෝනා ව්‍යාප්තිය අවම කිරීම සඳහා ජනයා ඒකරාශීවීම් අවම කිරීම සහ ප්‍රභල ලෙස මහජනයාදැනුවත් කිරීම.
- සමාජය තුල කොරෝනා ව්‍යාප්තිය ඉක්මනින් හඳුනාගැනීම සඳහා, ඒ වන විටත් අඩු කර තිබූ PCR පරීක්ෂණ ප්‍රමාණය වැඩි කිරීම.
- රෝහල් සහ රෝහල් උපකරණ (දැඩි සත්කාර ඒකක, ඔක්සිජන්) ආදිය සූදානම් කිරීම
කොරෝනා වසංගතය ආරම්භවූ දා පටන් නිසි තීරණ නිසි වේලාවට නොගැනීම නිසා රට බලවත් අවධානමට ලක්වූ බවට අපට මතක තිබේ. එමෙන්ම, ලෝක සෞඛ්‍ය අර්බුධයක් වූ Covid19 වසංගතයට මුහුණ දීම සඳහා, ඒ පිළිබඳ විශේෂඥ දැණුම සහිත වෛරසවේදීන්, වසංගත රෝග විශේෂඥයින්, කායික රෝග විශේෂඥයින්, ප්‍රජා වෛද්‍ය විශේෂඥයින් ඇතුළු වෛද්‍ය කණඩායම්, අනෙකුත් ක්ෂේත්රවල පිළිගත් විශේෂඥයින් සහ සබුද්ධික දේශපාලන නායකත්වයක් සහිත මධ්‍යගත සංවිධානයක් මුල සිටම දක්නට නොලැබුණි.
ඒ වෙනුවට වරින් වර විවිධ පුද්ගලයින්, සමහර විට මේ ක්‍රියාවලියට අදාල නොවන වෙනත් විෂයන්හී විශේෂඥයින්, මාධ්‍ය හරහා ජනතාව අමතමින් විවිධ අදහස් ප්‍රචාරය කරණු පෙනෙන්නට තිබේ.