Aboutceylon Online

ඉන්දියාවට සහනය ප්‍රාර්ථනා කරමින් විශේෂ ආශිර්වාද පූජා

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ ජනතාව අතර පවතින ගැඹුරු සම්බන්ධතාවය සහ දෙරට අතර පවතින පොදු බෞද්ධ උරුමය සංකේතවත් කරමින් ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයේ සංස්කෘතික අංශය වන ස්වාමි විවේකානන්ද සංස්කෘතික මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ආචාර්ය රේවන්ත් වික්‍රම් සිං මහතා 2021 අප්‍රේල් 24-26 දක්වා කුරුණෑගල දිස්ත්‍රික්කයේ කඳුරුවැව සහ බිංගිරිය ග්‍රාමයන්හි තෙදින ධර්ම යාත්‍රාවක නිරත විය. විශේෂයෙන්ම බක් පුන් පොහෝ දිනය නිමිත්තෙන් මෙම ධර්ම යාත්‍රාව ක්‍රියාත්මක කරන ලදී.

2021 අප්‍රේල් 24 වන දින කඳුරුවැව සහ බිංගිරිය ග්‍රාමයන්හි පූජනීය සංඝරත්නය සහ ජනතාව ශ්‍රී සුදර්ශනාරාමයේදී කොවිඩ්-19 වසංගතයෙන් ඉන්දියාවට සහනය ප්‍රාර්ථනා කරමින් විශේෂ ආශිර්වාද පූජාවක් පැවැත්වීය. මෙහිදී ආචාර්ය සිං මහතා මහා සංඝරත්නයට සහ එම ග්‍රාමයන්හි ජනතාවට සිය කෘතවේදීත්වය පළ කළේය. එදිනම ආචාර්ය සිං මහතා බිංගිරිය දේවගිරි රජමහා විහාරය ද වැඳ පුදා ගත් අතර මහා සංඝරත්නයේ ආශිර්වාදය ද ලබා ගත්තේය.

මහා සංඝරත්නයේ ආරාධනාව පරිදි ආචාර්ය සිං මහතා 2021 අප්‍රේල් 25 වන දින කඩිගමුව සහ පනාවැව යන ග්‍රාමයන්හි සංචාරයක නිරත විය. මෙම ග්‍රාමයන්හි මහා සංඝරත්නයේ ආශිර්වාදය ලබා ගත් එතුමා ප්‍රදේශයේ විහාරස්ථාන සහ පිරිවෙන් වැඳ පුදා ගත්තේය. බක් පුන් පොහොය දිනය වූ 2021 අප්‍රේල් 26 වන දින ස්වාමි විවේකානන්ද සංස්කෘතික මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂතුමා කඳුරුවැව ශ්‍රී සුදර්ශනාරාමයේ සර්වඥ ධාතු වන්දනා වැඩසටහනකට ද සහභාගී විය.

ප්‍රදේශයේ මහ සංඝරත්නය සහ ජනතාව ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය විසින් සංවිධානය කළ ධර්ම යාත්‍රාව සම්බන්ධයෙන් ප්‍රශංසා කළ අතර ශ්‍රී ලංකා‍වේ සහ ඉන්දියාවේ පූජ්‍ය පක්ෂය සහ ජනතාව අතර මෙවන් සමීප අන්තර්ක්‍රියා සංවිධානය කරන ලෙස ඉල්ලා සිටියහ.

2020 වර්ෂයේදී නව දිල්ලියේදී ධර්ම චක්‍ර දින සැමරුම් උත්සවය අමතමින් අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මැතිතුමා ප්‍රකාශ කළේ ලොව හමුවේ ඇති අසාමාන්‍ය අභියෝගයන්ට තිරසාර විසඳුම් සොයා ගත හැක්කේ බුදු දහමෙන් පමණක් බවයි. මෙම පරමාදර්ශයන් අතීතයට, වර්තමානයට මෙන්ම අනාගතයට ද එක සේ අදාළ වන බව අග්‍රාමාත්‍යතුමා අවධාරණය කළේය.

Scroll to Top