Aboutceylon Online

බස්නාහිර-වයඹ සියළු පාසැල්,පෙරපාසල් සහ පිරිවෙන් වසා දමයි

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

වහාම ක්‍රියාත්මක වන පරිදි බස්නාහිර සහ වයඹ පළාත්වල සියලු පාසල්, පෙරපාසල් සහ පිරිවෙන් තාවකාලිකව වසා දැමීමට තීරණය කර තිබේ.

අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා පවසන්නේ අප්‍රේල් 30 වනදා දක්වා එම තීරණය ක්‍රියාත්මක බවය.

රට තුළ පවතින කොවිඩ් වසංගත තත්ත්වය සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගෙන තිබේ.

කෙසේවෙතත් අනෙක් පළාත්වල පාසල් පෙර පරිදි හෙට (27) දිනයේ සිට ක්‍රියාත්මක බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේය.

මේ අතර රජයේ තීරණය අනුව යමින් බස්නාහිර සහ වයඹ පළාත්වල සියලුම කතෝලික පාසල් ද අප්‍රේල් 30වනදා දක්වා වසා දැමීමට තීරණය කළ බව කොළඹ අගරදගුරු නිල නිවස නිවේදනය කරයි.

පවතින අවදානම් තත්ත්වය සැළකිල්ලට ගනිමින් මධ්‍යම පළාතේ පාසල් විවෘත කරනවා ද නැද්ද සම්බන්ධයෙන් අද (27) දිනයේ දී තීරණයක් ගන්නා බව මධ්‍යම පළාත් සභාවේ ප්‍රධාන ලේකම් ගාමිණි රාජරත්න මහතා පවසයි.

සියඹලාණ්ඩුව සහ ඇතිමලේ නගර අවට පාසල් 06ක්, මොනරාගල නගරය අවට පාසල් 05ක් සහ බුත්තල නගරය අවට පාසල් 04 ඇතුලුව පාසල් 15ක් හෙට සිට සතියක කාලයක් වසා දැමෙන බව දිස්ත්‍රික් ලේකම් ගුණදාස සමරසිංහ මහතා පැවසීය.

මීට අමතරව, මිනුවන්ගොඩ, කලුතර, කොට්ටාව, මහනුවර ඇතුළු ප්‍රදේශ රැසක පාසල්වලින් කොවිඩ් ආසාදිත සිසුන්, ගුරුවරුන්, විදුහල්පතිවරුන් කොවිඩ් ආසාදිතයින් බවට හඳුනාගෙන තිබේ.

ලංකා ගුරු සංගයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පැවසුවේ, “සමස්ත වගකීම විදුහල්පතිවරුන්ට පවරලා අධ්‍යාපන අමාත්‍යාංශය අත හෝදගන්න තත්ත්වයක් තියෙන්නේ,”යනුවෙනි.

වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තීයවේදීන්ගේ ආයතනයේ සභාපති රවී කුමුදේෂ් මහතා සඳහන් කළේ, පාසල් දරුවන් නිවසේ තබා ඉගැන්වීමට අධ්‍යාපන අමාත්‍යාංශයට හැකියාව තිබිය යුතුම බවය.

Scroll to Top