ඉදිරි ක්‍රීඩා සංගම් නිලවරණවලට තරග වදින පුද්ගලයන් ක්‍රීඩාවේ දියුණුව වෙනුවෙන් සංකල්ප නොව ක්‍රියාකාරී සැලැස්මක් ඉදිරිපත් කිරීම අනිවාර්ය කරන නීති සකසන බව ක්‍රීඩා හා තරුණ කටයුතු ඇමැති නාමල් රාජපක්ෂ මහතා පවසයි.
නාමයෝජනා දුන් ඇතැම් අය එකිනෙකාට ඇඟිල්ල දිගු කරනවා හැර තමන් තනතුරට පත් වී ක්‍රීඩාවේ සංවර්ධනය වෙනුවෙන් දියත් කරන වැඩපිළිවෙළ කුමක් ද යන්න ඉදිරිපත් කිරීමට අපොහොසත්ව ඇතැයි රාජපක්ෂ මහතා සඳහන් කළේය.
ගමේ ප්‍රාදේශීය සභාවට පත්වන පුද්ගලයා ගම සංවර්ධනය කරන ආකාරය කලින් පවසා ඡන්ද ලබා ගැනීම සාමාන්‍ය තත්ත්වයක් වුවද ක්‍රීඩා සංගමයට පත්වන පුද්ගලයා ක්‍රීඩාවේ දියුණුව වෙනුවෙන් කරන වැඩපිළිවෙළ ඉදිරිපත් කිරීමට අපොහොසත්වීම කනගාටුවට කරුණක් බව ද ඒ මහතා පැවසීය.
“මරණාධාර සමිතියක වුණත් වැඩපිළිවෙළක් තියෙනවා. හැමෝම කියන්නේ අපට දුන්නොත් කරනවා කියලයි. හැබැයි කරන විදිහ කියන්නේ නෑ. බොහෝ අයට ක්‍රියාකාරී සැලැස්මක් නෑ. මගේ ළගට සංකල්ප නම් ගේන්න එපා” ඇමැතිවරයා සඳහන් කළේය.
“ක්‍රිකට් පමණක් නොවෙයි. මා කියන්නේ හැම සංගමයකටම. නිලතලවලට පත්වෙන්න දිස්ත්‍රික් ඡන්දයක් බලාපොරොත්තු වෙනවා නම් දිස්ත්‍රික්කයේ ක්‍රීඩාව නංවන සැලැස්ම ඉදිරිපත් කළ යුතුයි. ක්‍රීඩා සංගම් ප්‍රධානීන් ජාතික මට්ටමේ කුමන සැලැස්මක් දියත් කරන්නේද කියා පැවසීම ඉතාම වැදගත්. ක්‍රීඩාව හදන සැලැසුම් ප්‍රසිද්ධියේ දැන ගත යුතුයි.
ක්‍රීඩාව සංවර්ධනය කරන්න හැංගිලා බෑ. විනිවිදභාවයෙන් නිලධාරීන් කටයුතු කිරීම වැදගත්” ඇමැතිවරයා සඳහන් කළේය.
ක්‍රීඩා පනතින් ඇමැතිවරයාට අසීමිත බලතල හිමිව තිබුණ ද ඇතැම් තීන්දු තීරණ ගැනීමේදී වඩාත් සාධාරණ විය යුතු බව රාජපක්ෂ මහතා අවධාරණය කළේය. “බලතල තිබුණාට ඇමැතිවරයා සියලු දේට ඇඟිලි ගැසීම අනුමත කරන්න බෑ. ජාතික මට්ටමේ ක්‍රීඩා කණ්ඩායමක් තේරීමේ බලතල ක්‍රීඩා පනතින් තියෙන්නේ ඇමැතිවරයාට.
ඒත් එහෙම කණ්ඩායම් තේරීම මා විසින් කිරීම අසාධාරණයි. ඒ සඳහා ඒ ක්‍රීඩාව පිළිබඳ හසළ අත්දැකීම් ඇති වෙනම විද්වත් මණ්ඩලයක් සිටිය යුතුයි.
ඇමැතිවරයා කළ යුත්තේ ක්‍රීඩාව ප්‍රවර්ධනයට අවශ්‍ය තීන්දු ගැනීම පමණයි. ග්‍රාමීය ක්‍රීඩා පිටි 344ක් හදන්න තීරණය කළා. සෑම ප්‍රදේශීය ලේකම් කොට්ඨාසයකටම රුපියල් ලක්ෂ 50ක් දී ක්‍රීඩා පිටි සංවර්ධනය කිරීමට තීරණයක් ගත්තා.
ජාතික ක්‍රීඩා සභාව සහ බහුවිධ අංශවල පළපුරුදු වෘත්තිකයන්ගෙන් සමන්විත ජාතික උසස් දක්ෂතා කමිටුව සමඟ එක්ව වැඩසටහන් ක්‍රියාවට නංවා තිබෙනවා. මේ වගේ දේවල් තමයි ඇමැතිවරයා කළ යුත්තේ.
ක්‍රීඩාවට හෝ ක්‍රීඩා පරිපාලනයට ඇඟිලි ගැසීම් නොකල යුතු බව මා අත්දැකීමෙන් දන්නවා” ඇමැති නාමල් රාජපක්ෂ මහතා පැවසීය.